රෝහල් අධ්‍යක්‍ෂකට මරණ තර්ජනය කළ
සැකකරුවන් අල්ලන්නැයි කරාපිටිය රෝහල්
වෛද්‍යවරුන් අද පෙරවරුවේ වැඩ වැරුමක

ගාල්ල - එස්‌. කේ. කළුආරච්චි, ගාල්ල විශේෂ - ලලිත් චාමින්ද

ගාල්ල කරාපිටිය රෝහලේ අධ්‍යක්‍ෂවරයා වෙත මරණීය තර්ජන එල්ල කිරීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් වහා අත්අඩංගුවට ගන්නැයි බලකරමින් කරාපිටිය රෝහලේ වෛද්‍යවරුන් අද (23 වැනිදා) පෙරවරුවේ සිට වැඩ වර්ජනයක්‌ ආරම්භ කිරීමට නියමිතය.

කරාපිටිය රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා වෙත මරණීය තර්ජන එල්ල කිරීමේ සිද්ධියෙන් පසුව රැස්‌වූ රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරුන් පිරිසක්‌ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය අද (23 වැනිදා) පෙරවරු 8.00 සිට ආරම්භ කිරීමට තීරණය කළ බැව් කරාපිටිය රෝහලේ වෛද්‍ය ප්‍රශාන් කුරේ මහතා සඳහන් කළේය.

රෝහල් අධ්‍යක්‍ෂවරයාට පීඩනයකින් තොරව රාජකාරි කරගෙන යැම සඳහා ඒ මහතාගේ නිවසට හා ඒ මහතාට සන්නද්ධ පොලිස්‌ නිලධාරීන්ගේ ආරක්‍ෂාව ලබාදිය යුතු බවද වෛද්‍ය ප්‍රශාන් කුරේ මහතා අවධාරණය කළේය.

මෙම වර්ජනය පෙරවරු 8.00 සිට දහවල් 12.00 දක්‌වා සංකේත වැඩ වර්ජනයක්‌ ලෙස මුලින් ක්‍රියාත්මක කරනු ලබන අතර විසඳුම් නොලැබුණ හොත් අඛණ්‌ඩ වැඩ වර්ජනයකට යැමට සිදුවන බවද වෛද්‍ය ප්‍රශාන් කුරේ මහතා අවධාරණය කළේය.

පෙරේදා (21 වැනිදා) රාත්‍රී දිගින් දිගටම රෝහල් අධ්‍යක්‍ෂවරයාගේ දුරකථනයට ඇමතුම් ලබාදෙමින් රෝහලේ අධ්‍යක්‍ෂ ධුරයෙන් වහාම ඉවත් විය යුතු බවත් එසේ නොමැති නම් අධ්‍යක්‍ෂවරයා හා ඔහුගේ දියණිය ඝාතනය කරන බවටත් තර්ජනය කර ඇතැයි කරාපිටිය රෝහලේ අධ්‍යක්‍ෂවරයා විසින් පොලිස්‌පතිවරයා වෙත හා සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම්දී තිබේ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.