කොළඹ ඩෙංගු මඩින්න ඇති උනන්දුව
අනුරාධපුරේ වකුගඩු රෝගීන් ගැන නැහැ

තලාව එප්පාවල - රත්න බී. ඒකනායක

අද සායනයෙන් බෙහෙත් ගත් වකුගඩු රෝගියා ඊළඟ දවසේ සායනයට යනවිට දකින්නට නෑ. සොයා බලනවිට මරණයට පත්වී ඇති බව දැන ගන්න ලැබෙනවා. සිරිපුරෙන් පටන් ගෙන පදවිය කැබිතිගොල්ලෑව, මැදවච්චිය හරහා රඹෑව දක්‌වා එන ගම් තීරුවේ වකුගඩු රෝගීන් බහුලයි. එක ගෙදර රෝගීන් හතර පහ හය සිටින තැන් තියෙනවා. කොළඹ ඩෙංගු රෝගය මඩින්න දක්‌වන උනන්දුව කැපවීම වියදම අනුරාධපුරයේ වකුගඩු රෝගය මැඩීමට නෑ. අනුරාධපුරයේ මිනිසුන්ගේ ජීවිත අඩුමනාවෙන් සලකන්නේ ඇයි? උතුරු නැගෙනහිරට සමීප සම්බන්ධ යාබද ගම්වල වකුගඩු රෝගය බහුල ලෙස ව්‍යාප්තවන්නේ ඇයි? මේ ආදී වශයෙන් වකුගඩු රෝගය පිළිබඳ තොරතුරු රැසක්‌ අනාවරණය වූ විද්වතුන්ගේ වැඩමුළුවක්‌ අනුරාධපුර ගොඩගේ මාවතේ පිහිටි ක්‍රිස්‌මින් හෝටලයේදී පැවැත්විණ.

මෙම විද්වත් රැස්‌වීමට අනුරාධපුරයේ සේවයේ නියුතු රජයේ කළමනාකරණ මට්‌ටමේ නිලධාරීන් වෛද්‍යවරුන් නීතිවේදීන් ආචාර්ය මහාචාර්යවරුන් ඉහළ ටම්ටමේ ව්‍යාපාරිකයන් සහභාගිවී සිටියහ. මෙම වැඩමුළුවේ අරමුණ වූයේ ඔවුන්ගේ අත්දැකීම් අවබෝධයෙන් පර්යේෂණයන් හරහා රජරට වකුගඩු රෝගය මැඩලීම සඳහා රජයේ ප්‍රමුඛ හා කඩිනම් මැදිහත්වීමක්‌ ඇති කරවීමයි.

රජරට වකුගඩු රෝගයේ මුලාරම්භයේ සිටම එම විෂයට බද්ධවී කටයුතු කළ වෛද්‍ය ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ පාලිත බණ්‌ඩාර මහතා මෙහිදී කරුණු පැහැදිලි කිරීමක්‌ කළේය.

2002 දී පදවියේ ප්‍රාදේශීය ලේකම්වරයාගේ වාර්තාවක්‌ පදනම් කරගෙන තමයි රජරට පැතිරෙන හේතු රහිත වකුගඩු රෝගය ගැන රජයේ සහ වෛද්‍ය අංශවල අවධානය යොමු වුණේ ආරම්භයේදී අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයෙන් වකුගඩු රෝගීන් හඳුනා ගත්තේ ජනගහණයෙන් 4.2% ක්‌ පමණයි. නමුත් මේ වන විට අනුරාධපුර දිස්‌ක්‍රික්‌කයේ ජනගහණයෙන් 15.5% කට වකුගඩු රෝගය සෑදී තිබෙනවා.

රසායනික පොහොර හා කෘෂි රසායන අධික ලෙස භාවිතා කිරීම හේතුවෙන් යම් යම් විෂකාරකයන් ශරීර ගතවීම නිසා කල්යා මේදී වකුගඩු අකර්මන්‍ය තාවයට පත්වන්නේදැයි සොයාබැලීමත් වැදගත් වන බවට කෘෂිකර්ම සහකාර අධ්‍යක්‍ෂ පතිරණ මහතා මෙහිදී කරුණු විස්‌තර කළේය.

ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් දැනටමත් රජරට අහේතුක වකුගඩු රෝගය පිළිබඳව පර්යේෂණ පවත්වන්නට කණ්‌ඩායම් දහයක්‌ යොදවා තිබෙනවා. ඔවුන් විසින් සොයාගත් කරුණු අනුව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන්ද දැනටමත් ලංකාණ්‌ඩුව දැනුවත් කර තිබෙනවා. විෂ සහිත රසායනික පොහොර සහ විෂ සහිත කෘමිනාශක හා වල්නාශක කෘෂිකර්මයට නොයොදන ලෙස දැනුවත් කළත් අපේ රටේ ගොවීන් බහුතරය නොදැනුවත්කමට හෝ විෂ සහිත කෘෂිරසායන පාවිච්චි කරනවා. බඩඉරිඟු ගසේ සහ කරලේ පණුවන් වඳකිරීමට යොදන එක්‌ කෘෂි රසායනිකයක විෂ පවත්නා බව සනාථවී තිබෙනවා. මේ නිසා මෙරටට ආනයනය කරනු ලබන රසායනික පොහොර වර්ග සහ කෘමිනාශක හා වල්නාශක පුලුල් පර්යේෂණයකට යොමුකොට සැබෑ තත්ත්වය රටට විශේෂයෙන් කෘෂිකාර්මික ප්‍රදේශවල ගොවි ජනතාවට පහදා දිය යුතුයි. මෙය ජාතික වගකීමක්‌ පිටරටින් මේවා එවූ පලියට බාර නොගෙන අපේ රටේ විද්වතුන් විසින් මේවා නැවත සමීක්‍ෂණය කරල විෂ රහිත රසායනික පොහොර හා තෙල්වර්ග පමණක්‌ රටට බාර ගැනීමේ වැඩපිළිවෙළක්‌ යෙදිය යුතුයි.

තවත් කීප දෙනෙක්‌ මෙහිදී කරුණු ඉදිරිපත් කළහ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.