ස්‌කෝලෙට යක්‌ බෙරයක්‌ ගන්නත් නාට්‍ය පෙන්නුවා
ගාමිණී හෙට්‌ටිආරච්චි අතීතාවර්ජනය

ස්‌ටැන්ලි අලස්‌ හෙට්‌ටිආරච්චි සහ සෝමා හෙට්‌ටිආරච්චි පවුලේ හයවැනි පුතා හැටියට ගාමිණී චන්ද්‍රකීර්ති හෙට්‌ටිආරච්චි නමින් එදා මම අපේ පවුලේ සාමාජිකත්වය ගත්තා. අක්‌කලා තුන්දෙනයි, අයියලා දෙන්නටයි පස්‌සේ ඉපදුණු මට පස්‌සේ නංගියි මල්ලිලා දෙදෙනෙක්‌ පසුකාලීනව අපේ පවුලේ සාමාජිකයන් වුණා. රාජගිරිය අවට තියෙන නාවල තමයි මගේ ගම වුණේ. තාත්තා කොළඹ හැඳුණු වැඩුණු කෙනෙක්‌ නිසා සුළු ජාතිකයන්ගේ සමාගම්වල තමයි රැකියාව කළේ. මට මතකයි මම පුංචි කාලේ තාත්තා හොඳ දක්‍ෂ ක්‍රිකට්‌ ක්‍රීඩකයෙක්‌. ඒ නිසාම තාත්තා නෝස්‌ට්‌ ක්‌වින්ස්‌ ක්‌ලබ්වල සෙල්ලම් කළා. විවේකයක්‌ ලද හැම මොහොතකම තාත්තා සුදු අධිරාජිතයන්ට විරැද්ධව අපිත් එක්‌ක කතා කළා. ඒ නිසා ධර්පාලතුමාගේ අදහස්‌ තමයි තාත්තා තුළ අපි දැක්‌කේ. තාත්ත ගේ තිබුණු ඒ අදහස්‌වල ප්‍රතිඵලයක්‌ හැටියට අපි ඉස්‌කෝලේ යද්දි පොපිමල් ගන්න එපා කියලා කිව්වා. ඒකට හේතුව හැටියට තාත්තා කිව්වේ අධිරාජ්‍යවාදීන් වෙනුවෙන් සටන් කරපු අය වෙනුවෙනුයි ඒ පොපිමල් විකුණන්නේ ඒ නිසා ඒවා ගන්න එපා කිව්වා. ඒනිසා ගුරුවරුන්ගෙන් ගුටිකාපු අවස්‌ථාත් තිබුණා. මට මතකයි ඒ කාලේ ක්‍රියාකාරී දේශපාලනයෙත් තාත්තා යෙදිලා හිටියා. ඒ නිසා අපේ පවුල තුළ දේශපාලන වටපිටාවක්‌ නිර්මාණය වෙලා තිබුණා. ගමේ තිබුණු දේශපාලන රැස්‌වීම් සංවිධානය කළේ තාත්තා. ඒවා බලන් ඉඳලා ගමේ යාළුවෝ ටික එකතුකරගෙන පරණ ග්‍රෑම ෙෆෝන් එකක්‌ අරන් කතා පවත්වමින් ගේ වටේ පෙළපාලි ගියා මට අද වගේ මතකයි.

අපේ අම්මා ගෙවිලියක්‌. ඒ නිසා ගෙදර දොර වැඩ වගේම අපේ දහදෙනාගේ වැඩත් එක්‌ක තමයි ඇය කාර්ය බහුල වෙලා හිටියේ. මගේ ගම නාවල වුණාට අපේ ගෙදර තියෙන පළාතට කියන්නේ තුඩුව කියලා. ඉස්‌සර ගේ එක පැත්තක කැලෑව අනෙක්‌ පැත්තේ වෙල් යාය. දියවන්නා ඔයත් ගෙදර කිට්‌ටු නිසා ඉස්‌කෝලේ ගිහින් ගෙදර දුවන්නේ කැලෑ පැනලා ගඩාගෙඩි කාලා වෙලේ නටලා දියවන්නාවෙන් නාන්න යන්න බලාගෙන. ඒ කාලේ ගමේ යාළුවෝ ටික එකතුකරගෙන එල්ලේ ගහනවා, ක්‍රිකට්‌ ගහනවා, ගුඩු සෙල්ලම් කරනවා. අද කාලේ වගේ නෙමෙයි ලොකු වතු තිබුණු නිසා ඇති තරම් සෙල්ලම් කරන්න ඉඩ තිබුණා.

මගේ ලොකු අක්‌කා වේදිකා නාට්‍යය බලන්න දැකවූයේ පුදුමාකාර ආසාවක්‌. එයාගේ තනිවට එක්‌කන් ගියේ මාව. ඒනිසා වේදිකා නාට්‍යය බලන්න මාව කාලයාගේ ඇවෑමෙන් පෙළඹුණා. දෙවැනි අක්‌කාට චිත්‍රපට පිස්‌සුවක්‌ තිබුණා. සමහර දවසට අම්මලාට නොකියා දෙවැනි අක්‌කා මාවත් එක්‌කරගෙන අලුතින් එන ෆිල්ම් බලන්න යනවා. මුලින් මුලින් මේ දේවල් වලට යන්න අකමැත්තක්‌ දැක්‌වුවත්, පසුකාලීනව වේදිකා නාට්‍ය වගේම චිත්‍රපට බලන්න යන්න මමත් හුඟක්‌ ආසා කළා. ඒ අතරේ ගමේ සංවිධානය වුණු වෙසක්‌ නාට්‍ය බලන්නත් ගියා. මේ දේවල් නිසා වෙන්න ඇති අද මම කලාකරුවෙක්‌ දක්‌වා මෙහෙයවන්න ඇත්තේ. බාප්පලා, මාමලා සංගීතයට ගොඩක්‌ ආස කළා. ඒකාලේ ග්‍රැමෙෆෝන් තැටිවලින් තමයි සිංදු ඇහුවේ. අලුතින් එන හැම තැටියක්‌ම බාප්පා අරන් ඇවිත් අපිත් එක්‌ක සිංදු අහනවා. මම ඉස්‌කෝලේ ගියේ කොළඹ නාලන්දා විද්‍යාලයට. ඉස්‌කෝලෙදි වැඩ නැති වෙලාවට යාළුවෝ ටික එකතුවෙලා සිංදු කියනවා. ඒ අතරට මම කියන්නේ පරණ සිංදු. ඒ නිසා ඉස්‌කෝලේ හැමෝම අතරේ පරණ ගීත කියන ගායකයෙක්‌ හැටියට මම ප්‍රසිද්ධ වෙලා හිටියා. බාප්පලා වගේම තාත්තත් විනෝදයට ගොඩක්‌ බර කෙනෙක්‌. ඒ නිසා පුංචි කාලේ ඉඳලම රංගනය ගායනය මේ හැමදේකම රසය විඳින්න මට අවස්‌ථාව උදාවුණා.

ඒ අතරේ දවසක්‌ එතකොට මම ඉස්‌කෝලේ සාමාන්‍ය පෙළ පන්තියේ ඉගෙන ගන්න කාලේ සෝමලතා සුභසිංහ මහත්මිය ඉස්‌කෝලේ නාට්‍ය හා රංගකලා ගුරුවරියක්‌ හැටියට ආවා. ඒ කාලේ අපේ ඉස්‌කෝලේ කලා කටයුතු සංවිධානය නොවුණු තරම්. ඒනිසා කිසිම ළමයෙක්‌ කලා විෂයන් උසස්‌ පෙළ පන්තිවලට යද්දී තෝරගත්තේ නැහැ. නමුත් මට ලොකු ආසාවක්‌ තිබුණා වේදිකා නාට්‍යයක රඟපාන්න. කොහොමහරි සෝමලතා සුභසිංහයන් ඉස්‌කෝලෙට ආවට පස්‌සේ අපේ ඉස්‌කෝලේ හිටියා එස්‌. ලියනගේ කියලා තව සර් කෙනෙක්‌. ඒ වෙනකොට වේදිකා නාට්‍ය ක්‍ෂේත්‍රයේ සෝමලතා සුභසිංහ මහත්මිය ප්‍රසිද්ධ නාමයක්‌ වුණා. ඇයට අපේ ඉස්‌කෝලෙට පත්වීම ලැබුණට ඒ වෙනකොට අපේ ඉස්‌කෝලෙට යක්‌ බෙරයක්‌වත් තිබුණේ නැහැ. කොහොමහරි සෝමලතා ගුරුතුමියටයි ලියනගේ සර්ටයි කියලා අපි නාට්‍යයක්‌ නිෂ්පාදනය කළා. ඒ තමයි මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ රත්තරන් හා එලවගින් මෙලොව ආවා නාට්‍යය නව නිෂ්පාදනය හැටියට පාසල් ළමුන් වෙනුවෙන් අපි නිර්මාණය කළා. ඒ නාට්‍යයේ එක දර්ශනයක්‌ බලන්න ඇවිත් හිටපු සරත් චන්ද්‍රයනුත් ධම්ම ජාගොඩත් නාමෙල් වීරමුණි කියන වේදිකා නාට්‍යය ඉතිහාසයේ දැවැන්තයන් මගේ රංගනයන් දැකලා ඔවුන් නිර්මාණය කරන අලුත් නාට්‍යය කිහිපයකට මට ආරාධනා කළා. ඒ අතරින් ධම්ම ජාගොඩගේ වෙස්‌මුහුණ වේදිකා නාට්‍යයේ මම රඟපෑවා. නමුත් මේ හැමදේම කළේ පාසල් වේදිකාවෙන් පිටත නිසා ඉස්‌කෝලෙට යක්‌ බෙරයක්‌ ගන්න විමල් කුමාරද කොස්‌තාගේ අභිරූපණ රංග ප්‍රසංගය විදුහල්පතිතුමාගේ අනුදැනුම ඇතිව ඉස්‌කෝලෙ වේදිකාවේ රඟදැක්‌වූවා. ඒ හරහා ඉස්‌කෝලේ ළමයිට වගේම විදුහල්පතිතුමාටත් ගුරුවරුන්ටත් කලාව ගැන ඇල්මක්‌ ඇතිවුණා. අවසානයේදී ඉස්‌කෝලෙට යක්‌බෙරයක්‌ ගන්න මුදලුත් ලැබිලා ඉස්‌කෝලේ ඇතුලේ කලාකාමී පරිසරයක්‌ ඇති කරන්නත් ඒ ප්‍රසංගය හේතුවුණා.

මම උසස්‌ පෙළට කළේ විද්‍යා විෂයන්. ඒ අතරේ 14න් පහළ ක්‍රිකට්‌ කණ්‌ඩායමේ සාමාජිකයෙක්‌ හැටියටත් මම සෙල්ලම් කළා. උසස්‌ පෙළ පන්තියේ ඉගෙන ගනිද්දී රුසියන් සාහිත්‍ය ගැන ලියවිලා තියෙන පොත පත කියවන්න ගත්තා. පියදාස සිරිසේනගේ දේශාභිමානය ඇතිවෙන පොත පත කියවන්න ගත්තා. ඒ හරහා කොමියුනිස්‌ට්‌ පක්‍ෂයේ පක්‌ෂ සාමාජිකයෙක්‌ වීම දක්‌වා ඒ කටයුත්ත මාව මෙහෙයවූවා. කාලයක්‌ කරාතෙ පුහුණුවත් මම ලැබුවා. ඉස්‌කොලෙදිත් ලංකා ජාතික ශිෂ්‍ය සංගම් ශාඛාවක්‌ පිහිටුවා ගත්තා.

කලාවට යොමුවීම තුළින්ම අද මට හොඳ බිරිඳක්‌ ලැබිලා තියෙවා. ඇය මට මුලින්ම මුණගැහුනේ ලයනල් වෙන්ඩ්ට්‌ ශිල්ප ශාලිකාවේදී. දෙමාපියන්ගේ ආශිවාර්දය මැද 1983 දී අපි විවාහ වුණා. ඇය අද නාට්‍ය හා රංගකලා ගුරුවරියක්‌. අපිට පුතෙක්‌ සහ දුවෙක්‌ ඉන්නවා. ඒ දෙන්නමත් කලාවට බොහොම ලැදිව වර්තමානයේදී කටයුතු කරනවා.

ජීවිතේ ගැන ආපස්‌සට හැරිලා බැලුවොත් පුංචි දුකකට තියෙන්නේ මම මේ ක්‍ෂේත්‍රය තුළ ජනප්‍රිය වෙන කාලෙදි ඒ දේ විඳින්න මගේ තාත්තා ජීවතුන් අතර හිටියේ නැහැ. ඒ හැරුණු කොට සාමාන්‍ය කෙනෙකුට වඩා මගේ ජීවිතේ සන්තෝෂයෙන් ගතකරන්න ලැබුණා. රේල්වේ ජීවිතේඳී සුන්දර මිනිසුන් කොටසක්‌ මුණගැහුණා. ජීවිතේ වැරදි තීරණ ගත්ත අවස්‌ථාත් තිබුණා. නමුත් ඒ ගැන තැවෙන්න අවශ්‍ය වුණේ නැහැ. බාධක නිසා ජීවිතේ බොහෝ දේවල් මග හැරුණා. නමුත් කළ දේවල් ගැන සතුටුවෙනවා. රැකියාවට ගිය මුල් කාලෙදි කලාවට සම්බන්ධ වීම තුළ මාව ඒ වෘත්තියට නොගැළපෙනවා යෑයි හිතපු කොටසක්‌ හිටියා. ඒ කාලේ උපක්‍රමශීලීව වගේම උපේක්‍ෂාවෙන් කටයුතු කළා. අද මට හිතෙනවා ඒ විදිහට හමුවුණු සමහර චරිත යම් ආකාරයකින් පෝෂණය කරන්න මම නිර්මාණය කළ සමහර නිර්මාණ ඉවහල් වුණා කියලා. ඒ නිර්මාණ අතර මුල්ම නිර්මාණය වුණේ බවලතා.

ලක්‌මිණි අතුකෝරල
ඡායා- සමන් අබේසිරිවර්ධන

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.