රට තුළ විවිධාකාරයේ දේශපාලනික ගැටලු ගණනාවක්‌ මතුව ඇති මොහොතක රටේ දේශපාලන පක්‍ෂ සියල්ලත්, විවිධ බහුජන සංවිධානත් විවිධ මතවාදයන් දරමින් සිටින බවක්‌ පෙනේ. යම් යම් මතයන් අතර එකඟතාවක්‌ තිබුණද, ඒ එකදු ආයතනයක්‌ හෝ එක්‌ පෙරමුණකට ගොනු නොවී වෙන් වෙන්ව සටන් වදින්නේ රජයට එරෙහිවය. මේ පිළිබඳවත් රට තුළ මතුව ඇති ඉහත කී විවිධ දේශපාලනික අර්බුදයන් ගැනත් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් හා ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වාත් සංවාදයකට එක්‌ වූයේ මෙලෙසිනි.

අය වැය සහන සුපිරි ධනවතුන්ට පමණයි!
- එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රි කබීර් හෂීම්

ප්‍රශ්නය - ලබන වර්ෂය සඳහා රජය ඉදිරිපත් කර ඇති අය වැය සම්බන්ධව ඔබේ සහ ඔබ පක්‍ෂයේ ස්‌ථාවරය කුමක්‌ද?

පිළිතුර - අයවැයකින් ප්‍රධාන වශයෙන් සම්පත් බෙදාහැරීම හා ආදායම් ප්‍රතිව්‍යාප්තිය යන ඉලක්‌කයන් දෙක රජයක්‌ විසින් සපුරාගත යුතුයි. 2013 වර්ෂය සඳහා ඉදිරිපත් කළ අයවැයෙන් ඒ අරමුණු සිහින බවට පත්කර තිබෙනවා.

මෙය සුළුතරයක්‌ පොහොසත් කරන බහුතරයක්‌ හිඟමනට තල්ලුකරන අයවැයක්‌ බව කිව යුතුයි. අමාත්‍යාංශ හතරකට පමණක්‌ අයවැයෙන් 45% ක මුදල් ප්‍රමාණයක්‌ වෙන්කරන අතර මානව සංවර්ධනය වෙනුවෙන් ඉතා සොච්චම් මුදල් ප්‍රමාණයක්‌ වෙන්කර තිබෙනවා. මහජනතාවට ලැබෙන ප්‍රතිපාදන විශාල වශයෙන් අඩුකර තවත් පැත්තකින් සමාගම් හා රේසින් කාර් ගෙන්වන ධනවතුන්ට බදු සහන දී සාමාන්‍ය ජනතාව පාවිච්චි කරන භාණ්‌ඩවල බදු වැඩිකර තිබෙනවා. මෙය සාමාන්‍ය රටවැසියා කබලෙන් ළිපට තල්ලු කිරීමක්‌ බව කිව යුතුයි.

ප්‍රශ්නය - මෙවර අයවැයෙන් රාජ්‍ය සේවකයන්ට රුපියල් 1500 ක දීමනාවක්‌ මෙන්ම විශ්‍රාමිකයන්ට, ගොවියන්ට සහන ලබාදී තිබෙනවා. විපක්‍ෂය ඇයි මේ හොඳ පැත්ත ගැන කතා නොකරන්නේ?

පිළිතුර - එහෙම කතා කරන්න තරම් හොඳ පැත්තක්‌ මේ අයවැයේ නැහැ. සෑම ක්‌ෂේත්‍රයකම ජනතාව මුළාකර තිබෙනවා.

ගොවි ජනතාවට කිසිදු සහනයක්‌ ලැබී නැහැ. අඩුම වශයෙන් ගොවි ජනතාවට බැංකුවකින් සහන පදනමකට ණයක්‌වත් ලබාගත හැකි ක්‍රමවේදයක්‌ සකසා දී නැහැ. ඒ නිසා අද ගොවි ජනතාවට බැංකුවලින් සියයට විස්‌සක විසිපහට (20%-25%) පොලියකට ණය ගැනීමට සිදුව තිබෙනවා. මෙය බලවත් අසාධාරණයක්‌ බව කිව යුතුයි.

එක්‌සත් ජාතික පක්‍ෂ ආණ්‌ඩු පැවැති සමයේ රාජ්‍ය බැංකුවලට අමතර වෙනත් බැංකු පද්ධතියක්‌ නිර්මාණය කර එමගින් ගොවීන්aට, සුළු කර්මාන්තකරුවන්ට සහන පොලියට ණය ගැනීමේ ක්‍රමවේදයක්‌ ස්‌ථාපිත කර තිබුණා.

එම වැඩපිළිවෙළ තුළින් දේශීය වශයෙන් පුංචි මිනිසුන්ට තමන්ගේ ආර්ථිකය ශක්‌තිමත් කරගෙන ඉදිරිය ගැන විශ්වාසයෙන් වැඩකරගෙන යැමට හැකි වුණා. නමුත් අද ඒ සියල්ල විනාශ කර දමා සුපිරි ධනවතුන්ට පමණක්‌ සහන ලබාදී තිබෙනවා.

ප්‍රශ්නය - මෙවර ඉදිරිපත් කරන ලද අය වැය විසර්ජන පනත ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට පටහැනි බව එක්‌සත් ජාතික පක්‍ෂය ප්‍රකාශ කර තිබුණා. කුමන සාධක පදනම් කරගෙනද එවැනි චෝදනාවක්‌ කරන්නේ?

පිළිතුර - මුදල් අමාත්‍යාංශය මුදල් ලබා ගැනීම හා මුදල් වියදම් කිරීම කළ යුත්තේ පාර්ලිමේන්තුවේ අනුමැතිය ඇතිවයි. විසර්ජන පනත මගින් මුදල් වෙන්කිරීම් කර තිබුණත් ඒවායෙහි ගැටලු තිබෙනවා. ඒ මුදල් කුමන අංශවලට වියදම් කරනවාද කියා පැහැදිලිතාවක්‌ නැහැ. එමෙන්ම ඒ සඳහා පාර්ලිමේන්තු අනුමැතිය ලබාගෙන නැහැ. මේ පසුබිම තුළ අධිකරණය පෙන්වා දෙන්නේ එහි සංශෝධනයක්‌ කර පාර්ලිමේන්තුවේ සම්මත කර ගන්නා ලෙසයි.

නමුත් ආණ්‌ඩුව එයට කැමැති නැහැ. පාර්ලිමේන්තුවට ඇඟිලි ගැසීමට අධිකරණයට බලයක්‌ නැති බව ආණ්‌ඩුව ප්‍රකාශ කරනවා. එය පිළිගත හැකියි. එහෙත් ව්‍යවස්‌ථාවට අනුව ආණ්‌ඩුව යම් වරදක්‌ සිදුකරනවා නම් ඒ වරද නිවැරැදි කරගන්නා ලෙස පාර්ලිමේන්තුවට උපදෙස්‌ දීමට අධිකරණයට බලයක්‌ තිබෙනවා.

ප්‍රශ්නය - අධිකරණය හා ව්‍යවස්‌ථාදායකය අතර පවතින මේ ගැටුම්කාරී තත්ත්වය රටේ ඉදිරි ගමනට අවාසිදායක විය හැකිද?

පිළිතුර - පැහැදිලිවම ව්‍යවස්‌ථාදායකය හා අධිකරණය අතර ගැටුමක්‌ පැවතිය යුතු නැහැ. ආණ්‌ඩුව පැත්තෙන් සිදුව ඇති වරද වහා නිවැරැදි කර නොගත්තොත් තවත් ප්‍රශ්න ගණනාවකට ඉදිරියේදී මුහුණ දීමට සිදුවනු ඇති.

ප්‍රශ්නය - රටේ අධ්‍යාපනයට අවම වශයෙන් 6% ක මුදල් ප්‍රතිපාදනයක්‌ වෙන්කළ යුතු බවට ඔබේ පක්‍ෂයත්, විශ්වවිද්‍යාල ආචාර්ය සංගමයත් හඬනැඟුවා. නමුත් මෙවර අයවැයෙන් ඒ ඉල්ලීම ඉටුවී නැහැ නේද?

පිළිතුර - මානව ප්‍රාග්ධනය දියුණු කිරීම සඳහා රජය දක්‌වන උත්සාහය හා අනුගමනය කරන ක්‍රමවේදය සම්බන්ධව ගැටලු රැසක්‌ මතුව තිබෙනවා.

අධ්‍යාපනයට 6% ක්‌ ලබාදිය යුතු බවට වන ඉල්ලීම අපේ පක්‍ෂයේ හෝ ආචාර්යවරුන්ගේ සංගමයේ ඉල්ලීමක්‌ම නොවෙයි. යුනෙස්‌කෝ සංවිධානය සමගද ඒ පිළිබඳව එකඟතාවකට පැමිණ තිබෙනවා.

එහෙත් එකවරම අධ්‍යාපනයට 6% ක්‌ වෙන්කිරීම ඕනෑම රජයකට අභියෝගයක්‌ බව කිව යුතුයි. නමුත් ඒ වැඩපිළිවෙළ තුළ ප්‍රගතියක්‌ තිබිය යුතුයි. වත්මන් පාලනය යටතේ එවැන්නක්‌ දක්‌නට නැහැ.

එදා එක්‌සත් ජාතික පක්‍ෂ ආණ්‌ඩුව යටතේ ආරම්භ කළ නිදහස්‌ අධ්‍යාපන ක්‍රමවේදය දිගින් දිගටම ශක්‌තිමත් කිරීම නිසා එහි ප්‍රතිලාභ තවමත් රටට ලැබෙනවා. නමුත් ලංකාවට මෙන්ම ලෝකය තුළ ඇති අභියෝග වර්තමානය වනවිට වෙනස්‌ වී තිබෙනවා. ඒ හා සමානව අපේ අධ්‍යාපන ක්‍රමවේදය වෙනස්‌ කරන්න අවශ්‍ය ආයෝජනය ආණ්‌ඩුව කර නැහැ.

මේ වන විට ගණිතය, විද්‍යාව, ඉංග්‍රීසි වැනි විෂයයන් සමත් වන ශිෂ්‍ය සංඛ්‍යාව ග්‍රාමීය පළාත්වල විශාල අඩුවීමක්‌ ක්‍රමයෙන් දක්‌නට ලැබෙනවා. ඒ තත්ත්වය වෙනස්‌ කර සමත්වන සිසුන්ගේ සංඛ්‍යාව වැඩිකර ගැනීමට පසුගිය කාලේ රජය ගත් පියවර කුමක්‌ද? ඒ පාසල් වල ගුණාත්මකභාවය වැඩි කිරීමට පියවර ගන්නවා වෙනුවට රජය සිදුකළේ විෂයයන් සමත්වන ලකුණු ප්‍රතිශතය අඩු කිරීමයි. එය රටකට හොඳ දෙයක්‌ නෙමෙයි.

තවත් පැත්තකින් 8 වසරේ සිට පාසල් හැර යන සිසුන් ප්‍රමාණය මේ වනවිට වැඩිවී තිබෙනවා. එවැනි තත්ත්වයක්‌ උද්ගතව ඇත්තේ දරුවන්ට හා දෙමාපියන්ට මෙරට අධ්‍යාපන ක්‍රමය පිළිබඳව කිසිදු විශ්වාසයක්‌ නැතිකමයි. අද මේ රටේ රැකියාවට ගැළපෙන අධ්‍යාපන ක්‍රමයක්‌ නැහැ.

මේ වන විට රට තුළ උගතුන්ගේ විරැකියා ප්‍රතිශතය වැඩිවී තිබෙනවා. නිදහස්‌ අධ්‍යාපනය කියන වචනය අද ගමට සීමා වී තිබෙනවා. බොහෝ පාසල් වල දරුවන්ගෙන් මුදල් එකතු කරනවා. රජයෙන් අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබාදෙන්නේ නැහැ.

රජය අය වැය මගින් අවශ්‍ය මුදල් ප්‍රතිපාදන වෙන්කර දෙනවා නම් පාසල් සංවර්ධන සමිතියට හෝ ආදිශිෂ්‍ය සංගම්වලට දරුවන්ගෙන් මුදල් එකතු කිරීම අවශ්‍ය වන්නේ නැහැ. මේ තත්ත්වය තවදුරටත් මෙහෙම ගියොත් රාජ්‍ය පාසල් ඉදිරියේදී ජාත්‍යන්තර පාසල්වලට සමවී නිදහස්‌ අධ්‍යාපනය පෞද්ගලිකකරණය කරා යොමුවිය හැකියි.

ප්‍රශ්නය - ජාත්‍යන්තර පාසල් සහ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල මුලින්ම මේ රටට හඳුන්වා දුන්නේ එක්‌සත් ජාතික පක්‍ෂ ආණ්‌ඩුව නේද?

පිළිතුර - ඔව්. එය ඇත්තක්‌ නමුත් එදා එය සිදුකළේ නිසි ප්‍රමිතියකට අනුවයි.

ප්‍රශ්නය - අද ප්‍රමිතියක්‌ නැතැයි කියන්නේ කොහොමද?

පිළිතුර - එක්‌සත් ජාතික පක්‍ෂ රජය එදා රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ආරම්භ කර එය නිසි ප්‍රමිතියකට හා නිදහස්‌ අධ්‍යාපනයට කිසිදු හානියක්‌ නොවන ආකාරයට පවත්වාගන ගියා. පසුව එහි සංශෝධන පවා අපේ රජය සිදුකළා.

නමුත් අද හතු පිපෙනවා මෙන් රට පුරා පෞද්ගලික වෛද්‍ය විද්‍යාල හා ජාත්‍යන්තර පාසල් හැම තැනම ආරම්භ වෙනවා. මේවට ඇතුළත් වීමේ සුදුසුකම් මුදල් අයකිරීම්, පාඨමාලා වැනි කරුණු සම්බන්ධව නිශ්චිත ප්‍රමිතියක්‌ නැහැ. මේ හදන්නේ ආණ්‌ඩුව නිදහස්‌ අධ්‍යාපනය විනාශ කර දමා එයිනුත් මුදල් ඉපයීමට බව පැහැදිලියි. මේ විනාශය වහා නතර කර නිදහස්‌ අධ්‍යාපනය ආරක්‍ෂා කර දීමට සියලු බලවේග පෙළගැසිය යුතුයි.

ප්‍රශ්නය - ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 13 වැනි සංශෝධනය යළි සංශෝධනය කිරීමට ආණ්‌ඩුවේ අවධානය යොමුව තිබෙනවා. මේ ක්‍රියාමාර්ගයට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය සහ එක්‌සත් ජාතික පක්‍ෂය අතර පසුගිය දිනවල සාකච්ඡා පැවතුණා. මෙහි අරමුණ නැවත වෘත්තීය අරගලයකට යැමද?

පිළිතුර - ආණ්‌ඩුව සහ ආචාර්යවරුන්ගේ සංගමය අතර මීට මාස කිහිපයකට ඉහත දී දිගින් දිගටම සාකච්ඡා පැවැතුණා. එහිදී ඇති වූ එකඟතා තවමත් ආණ්‌ඩුව පැත්තෙන් ඉටුවී නැහැ. අධ්‍යාපනය හා උසස්‌ අධ්‍යාපනය නඟාසිටුවීම සඳහා ආණ්‌ඩුව විධිමත් ක්‍රියාමාර්ග වෙත යොමුවී නැහැ. අද වනවිට අපේ විශ්වවිද්‍යාල පද්ධතිය කඩා වැටිලා. එක්‌සත් ජාතික පක්‍ෂය මේ රටේ නිදහස්‌ අධ්‍යාපනයේ මුර දේවතාවන් ලෙස හැඳින්විය හැකියි. අපි ඇතිකළ නිදහස්‌ අධ්‍යාපනයට හානියක්‌, තර්ජනයක්‌ වෙනවා නම් සියලු බලවේග සමග එක්‌ව එය ආරක්‍ෂා කර ගැනීම අපේ යුතුකමක්‌ හා වගකීමක්‌ ලෙස සලකා අපි කටයුතු කරනවා.

මෙරට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් සම්බන්ධව පැහැදිලි ප්‍රශ්නයක්‌ තිබෙනවා. ඇතැම් විශ්වවිද්‍යාලවල පෞද්ගලික අංශයේ ආරක්‍ෂක ප්‍රධානීන්ගේ වැටුපටත් අඩු වැටුපක්‌ ආචාර්යවරු ලබනවා. මෙය ෙ€දනීය තත්ත්වයක්‌. මෙය වෙනස්‌ විය යුතුයි.

මේ අනුව ආචාර්යවරුන්ගේ ප්‍රශ්න හා නිදහස්‌ අධ්‍යාපනය ආරක්‍ෂා කර එය දියුණු කිරීමට ආණ්‌ඩුව තවදුරටත් පියවර නොගන්නේ නම් ආචාර්යවරු ප්‍රමුඛ සියලු බලවේග ඒකරාශී කරගනිමින් පුළුල් ව්‍යාපාරයකට එක්‌සත් ජාතික පක්‍ෂය යොමු වෙනවා.

ප්‍රශ්නය - එක්‌සත් ජාතික පක්‍ෂයේ අභ්‍යන්තර අර්බුදයට විසඳුමක්‌ නොමැතිව දෙසැම්බර් මස 01 වැනිදා පැවැත්වීමට සූදානම් වන සම්මේලනය සාර්ථක වෙයි කියා ඔබ හිතනවාද?

පිළිතුර - අභ්‍යන්තර අර්බුදය සමථයකට පත්කර සම්මේලනය පැවැත්වීම අපේ අරමුණයි.

ප්‍රශ්නය - සම්මේලනයට ඇත්තේ තව දින කීපයක්‌ පමණයි. කොහොමද මේ අර්බුදය සමථයකට පත් කරන්නේ?

පිළිතුර - රනිල් වික්‍රමසිංහ නායකතුමත්, සජිත් ප්‍රේමදාස නියෝaජ්‍ය නායකතුමත් දරදඬු ප්‍රතිපත්ති වලින් ඉවත් වී දෙදෙනාම එක්‌ මතයකට පැමිණ පක්‍ෂය ජයග්‍රහණය කරා ගෙන යැමට සම්මේලනයේ දී අත්වැල් බැඳගනු ඇතැයි අප තරයේ විශ්වාස කරනවා. ඒ අරමුණ ඉටුකර ගැනීම සඳහා අපි වගේම පක්‍ෂයේ අනෙකුත් වගකිව යුතු සියලු දෙනාම කටයුතු කරනු ඇතැයි මා විශ්වාස කරනවා.

ප්‍රශ්නය - ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 13 වැනි සංශෝධනය යළි සංශෝධනය කිරීමට ආණ්‌ඩුවේ අවධානය යොමුව තිබෙනවා. මේ ක්‍රියාමාර්ගයට එජාපයේ එකඟත්වයක්‌ තිබෙනවාද?

පිළිතුර - 13 වැනි සංශෝධනය නෙවෙයි, සමස්‌ත ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවම සංශෝධනය කළ යුතු බව අපේ ස්‌ථාවරයයි.

ප්‍රශ්නය - අගවිනිසුරුතුමියට දෝෂාභියෝගය ඉදිරිපත් කිරීමෙන් පසු ව්‍යවස්‌ථාදායකය සහ අධිකරණය අතර උද්ගතව තිබෙන අර්බුදය ඔබ දකින්නේ කොහොමද?

පිළිතුර - ව්‍යවස්‌ථාදායකය සහ අධිකරණය අතර ගැටුම රටට යහපත් දෙයක්‌ නොවෙයි. ආණ්‌ඩුවට පක්‍ෂපාතී තීන්දු දෙනතාක්‌ හොඳයි. අපක්‍ෂපාතී තීන්දු දීම නිසා මෙවැනි තත්ත්වයක්‌ ඇතිවුණා. එය වහා සමථයකට පත්කර අධිකරණයේ ස්‌වාධීනත්වය ආරක්‍ෂා කළ යුතුයි.

සාකච්ඡා කළේ - පියසේන දිසානායක

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.