කමු බොරළු!
පහ කරමු කබොක්‌ ගල් !


අපි සොබා දහමට විහිළු කළෙමු. එවිට සොබාදහම අපට අවවාද කළේය.

අපි සොබා දහමට ගල් ගැසු

වෙමු. එවිට සොබා දහම කෝපයට පත් විය.

අපි සොබා දහමට බෝම්බ ගැසුවෙමු. දැන් සොබා දහම සූදානම් වන්නේ අපට දඬුවම් කිරීමටය.

සුනාමි එයි. භූමි කම්පා හට ගනී. ගිනි කඳු පුපුරයි. ගංවතුර ගලයි. ගිනි කෑ මිනිහා අඟුරු පහ කළ යුතුය. බොරළු කෑ මිනිහා බොරළු කැට පහ කළ යුතුය. එහෙත් සොබා දහම විසින් දෙන ලද තීන්දුව එයට ඉඳුරාම වෙනස්‌ය. ගිනි කෑ මිනිහා ලෝදිය පහ කළ යුතු බවත් බොරළු කෑ මිනිහා කබොක්‌ ගල් පහ කළ යුතු බවත් ඒ තීන්දුවයි.

සොබා දහමට විහිළු කිරීම අන්තිම භයානක බව පෙන්වා දෙමින්, ජ"පුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සෙනවි එපිටවත්ත විසින් දෙන ලද සම්මුඛ සාකච්ඡාවක්‌ ඊයේ (25) ඉරිදා දිවයිනේ පළ විය. දේශපාලන භූමි කම්පා සහ වෘත්තීය සුනාමි කිහිපයකට හසුවීමෙන් පසුව වුවද අදටත් සාර්ථක ලෙස කෙළින් සිටින මහාචාර්ය එපිටවත්ත කීර්තිමත් භූගෝල විද්‍යාඥයෙකි. ලෝක විනාශය නියතයක්‌ බව අපගේ හැඟීමය. මනුෂ්‍යයා විසින් ලෝක විනාශය ඉක්‌මන් කරනු ලබන බව මහාචාර්ය එපිටවත්තගේ හැඟීමය.

පෘථිවියේ වයස අවුරුදු බිලියන හතරක්‌ හෝ හයකි. මනුෂ්‍ය වර්ගයා ශිෂ්ටත්වයට පත් වී තවම අවුරුදු දසදහසක්‌වත් නැත. ලෝකය අවසන් වශයෙන් විනාශ වූයේ අවුරුදු කෝටි දහයකට පමණ පෙරය. එතැන් පටන් ගත වූ අවුරුදු කෝටි දහය තුළ කිසිදු සතෙක්‌ නොකළ තරම් ලොකු විනාශයක්‌ පසුගිය අවුරුදු දෙසියය තුළ මනුෂ්‍යයා විසින් සොබා දහමට කරන ලද්දේය. මිනිහා කොළ අතු ඇඳගෙන දිගටම සිටියා නම් මීට යහපති. ඔහු වැඩිමනත් යමක්‌ කතා කර ගන්නට බැරිව, අකුරු නිර්මාණය කර ගන්නට බැරිව, යන්ත්‍ර සූත්‍ර සාදාගන්නට බැරිව මස්‌ පුළුස්‌සා කමින් ගල් ගුහාවල ජීවත් වූයේ නම් මීට යහපති.

ශිෂ්ටාචාරය ආරම්භ වන්නේ ගින්දර සහ රෝදය යන දෙක තමන්ට සාදා ගැනීමට මිනිසාට හැකිවූ දා සිටය. මේ රෝදයෙන් කරත්තයක්‌ සාදාගත් මනුෂ්‍යයා තිරිසන් සතකු ලවා එය අද්දවමින් ඉදිරියට යන අතර තමන් අත තිබූ ගිනි පන්දමෙන් පාර දෙපැත්ත ගිනි තැබුවේය. ඔහු ජනාවාස හැදීමට කැළය එළි කළේය. කෘෂිකර්මයට භූමිය ලබාගනු පිණිස වනය කැපීය. ලී බිස්‌නස්‌ සඳහා යෝධ ගස්‌ බිමට ඇද දැමුවේය. කෙසෙල් වැවීම සඳහා වන මැද මුඩු බිම් ඇති කළේය. තේක්‌ක සිටුවීම සඳහා බිම් ලබා ගැනීමට ඉතාම වටිනා කළුවර ගස්‌ කැපුවේය. දළ දෙක ලබා ගැනීමට අලි ඇතුන් මැරුවේය. නාසය මත ඇති අඟ ලබා ගැනීමට කඟවේනුන් මැරුවේය. මේවා කිසිදු තේරුමක්‌ නැති වැඩය. ඇත් දළ යනු· කැල්සියම් ගොඩකි. හරක්‌ ඇටකටුත්, වල් උරකුගේ අඟත්, ඇත් දළයත් තුළ ඇති කැල්සියම් සංයුතියේ වෙනසක්‌ නැත. එහෙත් ඇත් දළය යනු රත්තරන් තරමටම වටිනා බව විශ්වාස කරන්නා වූද, කඟවේනාගේ අඟ කුඩු කර ලබා ගන්නා ප්‍රොaටීන් සංයුතිය මගින් වාජීකරණ ගුණය ලැබෙන බවත් මනුෂ්‍යයා නමැති ගොන් හරකා විශ්වාස කරයි. ප්‍රොaටීන්වලින් වාජීකරණ ගුණය ලැබෙන්නේ නම් දිනපතාම සෝයා බෝංචි කිලෝවක්‌ අනුභව කර සෝයා අයීස්‌ක්‍රීම් එකක්‌ කා, සෝයා කිරි එකක්‌ බොන ලෙස යෝජනා කරමු. මන්දයත්· කඟවේන් අඟක කුඩු අවුන්සයක්‌ රත්තරන් අවුන්සයකටත් වඩා ගණන්ය. අනෙක අං කැබැල්ලක්‌ සඳහා කඟවේනකු මැරීම හෙණ ගහන අපරාධයකි.

පරිසරය රැක ගැනීමට මිනිසාට උවමනාවක්‌ ඇත්තේම නැත. පරමායුෂය අවුරුදු 100 කට අඩු වන අතර එසේ ජීවත්වන කාලය තුළ හැකි පමණින් පරිසරය උලා කෑමට මිනිසා සූදානම්ය. අප මේ කියන්නේ වන මැද හෝටල් තනන ඉකෝලොඡ් කාරයන්ටත් එක්‌කය. අද සිටින සමහර ඉකෝලොඡ්කාරයෝ අල්ලපු ඉඩමේ අක්‌කර දෙක තුනක දහස්‌පෙතියා පැළ වගා කරති. එහෙත් ඒවා දහස්‌පෙතියා නොව ගංජාය. මේ පැළ දෙක අතර එතරම් විශාල වෙනසක්‌ නැත.

සංවර්ධනය යනු ඛනිජ තෙල්වලින් වැඩකරන මෙෂිමකි. මේ මෙෂිම වැඩ කරන තරමට ඛනිජ තෙල් ඉවර වී එය පිළිස්‌සීම නිසා හටගන්නා කාබන් මොනොක්‌සයිඩ් සහ වෙනත් හරිතාගාර වායු- වායුගෝලයට එකතු වෙයි. ඛනිජ තෙල් නිධියක්‌ ඉවර වූ පසු එතැන ඇතිවන විශාල කුහරය තුළට පෘථිවි ස්‌ථර කඩා වැටී භූමි කම්පා හට ගනී.

මිත්‍රවරුනි, සූදානම් වෙන්නේ. ඔබ අප කවුරුත් ඉදිරියෙහි ඇත්තේ බොරළු අනුභව කර කබොක්‌ ගල් පහ කරන යුගයයි.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.