වම්ඉවුර

නීති වෘත්තියේ සර්ව බලධාරි ආඥදායකත්වය

මෙම වසරේ ලලිත් ඇතුලත්මුදලි අනුස්‌මරණ දේශනය ඉකුත් බ්‍රහස්‌පතින්දා පැවැත්විණි. ආරාධිත දේශකයා වූයේ මීට සති දෙක තුනකට පෙර අප මේ ලිපියේ උපුටා දක්‌වා ලද විනිසුරුවරුන්ගේ ආචාරධර්ම පිළිබඳව බැංගලෝර් මූලධර්ම සම්පාදනය කිරීමේ ජාත්‍යන්තර කමිටුවේ සභාපති වූ සී. ජී. වීරමන්ත්‍රී මහතාය. මෙම දේශනයේ සුවිශේෂත්වයන් දෙකක්‌ විය. ඉන් පළමු වැන්න වූයේ මෙම දේශනය විනිශ්චයකාරවරුන්ගේ ආචාර ධර්ම ගැන වුවත් මේ රටේ ප්‍රසිද්ධ නීතිඥයින් කිසිවෙක්‌ එම දේශනයට සහභාගි නොවී සිටීමයි. මෙවන් මොහොතක සී. ජී. වීරමන්ත්‍රී වැනි අයෙක්‌ අධිකරණයේ හැසිරීම කුමක්‌ විය යුතුද යන්න ගැන දේශනයක්‌ පවත්වන විට හරිනම් මුළු ශාලාවම නීතිඥයින්ගෙන් පමණක්‌ පිරී යා යුතුය. නමුත් වීරමන්ත්‍රී මහතා දැනට උද්ගත වී ඇති අර්බුදය සම්බන්ධයෙන් කුමක්‌ කියාවිද යන්න නොදන්නා නිසා නීතිඥයින් එම අවස්‌ථාව මගහැර ගිය බව මට හැඟේ. දෙවැනි සැලකිය යුතු කරුණ නම් වීරමන්ත්‍රී මහතා අධිකරණ සේවා කොමිසමේ ලේකම්වරයාට මහමග පහරදීම ගැන සඳහනක්‌ කළ ද අගවිනිසුරුවරියට එරෙහිs දොaෂාභියෝගය ගැන වචනයක්‌ වත් කීවේ නැත. ඒ ගැන වචනයක්‌වත් නොකීමෙන් ද ඔහු ඒ ගැන යම් අදහසක්‌ පළ කළා යෑයි අයකුට තර්ක කළ හැක.

ලලිත් ඇතුලත්මුදලි අනුස්‌මරණ දේශනය සංවිධානය කළ කමිටුවේ සාමාජිකාවන් වූ සාගරිකා දෙල්ගොඩ මහත්මිය දේශනය අවසානයේදී ස්‌තුති කතාව කරමින් ලංකාවේ සෑම ක්‍ෂේත්‍රයකම දේශපාලනයේ මෙන්ම අධිකරණයේ ද තත්ත්වයේ බාලවීම ගැන සඳහන් කළාය. ඇය කියා සිටි පරිදි අද අගවිනිසුරුවරියට එරෙහි චෝදනා වශයෙන් ජනමාධ්‍යයේ සාකච්ඡා වන චෝදනා වීරමන්ත්‍රී මහතා වැනි අය ලංකාවේ ශේ්‍රෂ්ඨාධිකරණයේ සිටි සමයේ කිසිදාක විනිශ්චයකාරවරයකුට එරෙහිව එල්ල කළ හැකි චෝදනා නොවූ බවයි. එමෙන්ම අපි අධිකරණයේ ස්‌වාධීනත්වයට එරෙහිව ගනු ලබන පියවරවලට විරුද්ධ විය යුතු වුවත් සත්‍ය තත්ත්වය වන්නේ නීති වෘත්තියේම නියෑළී ඇතැම් අයගේ ක්‍රියා හෝ අතපසු කිරීම් නිසා අධිකරණය ගැන මහජන විශ්වාසය පලුදු වී ඇති බවයි. විනිශ්චයකාරවරුන් දොaෂාභියෝගයට ලක්‌ කිරීමේ ක්‍රියා පටිපාටිය ද ජාත්‍යන්තර ප්‍රමිතීන්වලට අනුකූල නැති බවද දෙල්ගොඩ මහත්මිය කියා සිටියාය. බොහෝ නීති වෘත්තිකයන් මේ අවස්‌ථාව මගහැරියේ දෙල්ගොඩ මැතිනිය කී ආකාරයේ කතා ඇසීමට සිදුවේවිය යන බිය නිසා විය හැක.

මේ රටේ නීති ක්‍ෂේත්‍රය තුළ පවතින සංස්‌කෘතිය අප ප්‍රශ්නයට ලක්‌ කළ යුතුය. උසාවිය සම්බන්ධව ඕනෑම නීතිඥවරයකුගෙන් මේ රටේ අධිකරණයේ කුමක්‌ හෝ ප්‍රශ්නයක්‌ තිබෙනවාදැයි ඇසුවොත් ඔවුන් කියන්නේ අධිකරණය තරම් පිරිසිදු නිවැරදි ආයතනයක්‌ ලංකාවේ තබා මුළු විශ්වයේවත් නැති බවයි. පෞද්ගලිකව නමුත් ඔවුන් වෙනස්‌ මතයක්‌ කියනු ඇත. නීති වාත්තියේ කිසිවෙක්‌ ප්‍රසිද්ධියේ අධිකරණය විවේචනය කරන්නේ නැත. ලංකාවේ බොහෝ දෙනෙක්‌ නොදැන සිටිය ද මේ රටේ නීති වෘත්තිය තුළ ක්‍රියාත්මක වන්නේ දේශපාලනඥයකුට සිහිනයකින්වත් සිතා ගැනීමට නොහැකි තරම් ප්‍රබල ආඥදායකත්වයකි. මෙවැනි ආඥදායකත්වයක්‌ ක්‍රියාත්මක වන බව පිටස්‌තරයින්ට යන්තම් හෝ පෙනෙන්නේ අග්‍රවිනිශ්චයකාරවරයකු සම්බන්ධයෙන් මතභේදයක්‌ පැන නැගුණු අවස්‌ථාවල පමණි. නැතිනම් සියල්ල තිබෙන්නේ ජනතාවට කිසිවක්‌ නොපෙනෙන ආකාරයටය.

මේ ආඥදායකත්වයේ යාන්ත්‍රණය නිදහස ලැබීමටත් පෙර සිටම පැවැත්විණි. 1947 ව්‍යවස්‌ථාවේද නිල බලයෙන්ම අධිකරණ සේවා කොමිසමේ සභාපති වූයේ අගවිනිසුරුවරයාය. ඒ සම්ප්‍රදාය 1978 ව්‍යවස්‌ථාවේද අනුගමනය කර තිබෙන නිසා මහාධිකරණයේ සිට පහළට සියලුම විනිශ්චයකාරවරුන්ගේ පත් කිරීම, මාරු කිරීම හා විනය කටයුතු සම්බන්ධයෙන් ආඥදායක බලයක්‌ අගවිනිසුරුවරයාට ලැබේ. ශේ්‍රෂ්ඨාධිකරණයේ හා ඇපල් උසාවියේ විනිසුරුවරුන් පත් කළ හැක්‌කේ ජනාධිපතිවරයාටය. විශ්‍රාම යැමට පෙර ඔවුන්ව සේවයෙන් ඉවත් කළ හැක්‌කේ පාර්ලිමේන්තුවේ දොaෂාභියෝග ක්‍රියාදාමයකින් පමණි. ඒ අනුව ශේ්‍රෂ්ඨාධිකරණයේ හා ඇපල් උසාවියේ විනිශ්චයකාරවරුන් පත් කිරීමටවත් ධුරයෙන් පහ කිරීමටවත් අගවිනිසුරුවරයාට නොහැකි වුවත් මේ ජ්‍යෙෂ්ඨ විනිශ්චයකාරවරුන්ගේ නිවාඩු යැම, විදේශ සංචාරවලට යැම, ඔවුන් අසන නඩු මොනවාද යන්න තීරණය කිරීම හා වෙනත් එදිනෙදා කටයුතු සියල්ලම පාලනය කරන්නේ අගවිනිසුරුවරයාය. ඒ ආකාරයට බලන කල ශේ්‍රෂ්ඨාධිකරණයේ සිට මහෙස්‌ත්‍රාත් උසාවිය දක්‌වා සියලුම විනිශ්චයකාරවරුන්ගේ එදිනෙදා ජීවිත පාලනය කරන්නේ අග්‍රවිනිශ්චයකාරවරයාය. කිසිදු විනිශ්චයකාරවරයකුට අග්‍රවිනිශ්චයකාරවරයා තරහා කරගෙන අධිකරණය තුළ පැවතිය නොහැක. ශේ්‍රෂ්ඨාධිකරණයේ හෝ ඇපල් උසාවියේ වුවත් විනිශ්චයකාරවරයෙක්‌ අගවිනිසුරුවරයා තරහා කරගතහොත් ඔවුන්ගේ එදිනෙදා ජීවිත ඉතා අසීරු වනු ඇත. අගවිනිසුරුවරයකුගෙන් අඩන්තේට්‌ටම්වලට ලක්‌වුවහොත් කිසිදු විනිශ්චයකාරවරයකුට පැමිණිල්ලක්‌ ඉදිරිපත් කිරීමට වෙන කිසිම බල අධිකාරියක්‌ ද නැත. රටේ ජනාධිපතිවරයා හෝ ඇමැතිවරයෙක්‌ කාට හෝ හිරිහැර කළොත් එයට එරෙහිව නැගී සිටීමට ඕනෑ තරම් ක්‍රම ඇත. විපක්‍ෂයේ දේශපාලනඥයින් හා ජනමාධ්‍ය ඒ ගැන අවධානය යොමු කරන අතර අදාළ කාරණය උසාවියට වුවත් ගෙන යා හැක. නමුත් විනිශ්චයකාරවරයකුට අධිකරණය තුළින් එල්ල වන අඩන්තේට්‌ටම්වලට කිසිවකුගෙන් හවුහරණක්‌ නැත. ජ්‍යෙෂ්ඨ විනිශ්චයකාරවරුන්ට මේ රටේ සාමාන්‍ය ගැමියකුට තිබෙන ඇතැම් මූලික අයිතීන් නැත. ඔවුන් සියලු දෙනාම අගවිනිසුරුවරයාගේ හොඳ හිත මත පමණක්‌ ර¹ පවතී.

මේ අනුව නීති වෘත්තියේ ඉහළ සිට පහළට ක්‍රියාත්මක වන්නේ කිසිදු සීමාවක්‌ නැති ආඥදායකත්වයකි. සියල්ලන්ටම ඉහළින් සිටින්නේ අගවිනිසුරුවරයාය. අගවිනිසුරුවරයාව තරහා කරගතහොත් විනිශ්චයකාරවරුන්ට පැවතිය නොහැක. එමෙන්ම විනිශ්චයකාරවරුන් තරහා කරගතහොත් නීතිඥවරුන්ට තම වෘත්තිය කළ නොහැක. විශ්වවිද්‍යාලයක්‌ තුළ හෝ රෝහල් පද්ධතියක්‌ තුළ තම ප්‍රධානියා සමග අමනාපයක්‌ ඇති ආචාර්යවරයකුට හෝ වෛද්‍යවරයකුට කෙසේ හෝ පැවතිය හැක. නමුත් විනිශ්චයකාරවරුන් තරහා කරගත් නීතිඥවරයකුට එම වෘත්තියේ තවදුරටත් පැවතිය නොහැක. සාමාන්‍ය මිනිසුන් පවා හොයන්නේ අදාළ විනිශ්චයකාරවරයාගේ හොඳ හිත දිනාගෙන සිටින නීතිඥවරුන්ය. මේ ක්‍රමය ක්‍රියාත්මක වන්නේ ඒ ආකාරයටය. යුක්‌තිය සාධාරණ ලෙස පසිඳලීමට විවාදය හා විරුද්ධ මත අතිශයින්ම වැදගත් වන මේ වෘත්තිය තුළ සැබවින් පවතින්නේ ඒකාධිකාරි, ආඥදායක, බය පක්‍ෂපාත සංස්‌කෘතියකි. කිසිවකුත් මොනම හේතුවකටවත් අග්‍ර විනිශ්චයකාරවරයාව අභියෝගයට ලක්‌ කරන්නේ නැත. එම ධුරය දරන තාක්‌ කල් අග්‍රවිනිශ්චයකාරවරයාට කිසිදු වරදක්‌ කළ නොහැකි බව නීති වෘත්තියේ සාමාන්‍ය පිළිගැනීම වේ. නමුත් අගවිනිසුරු ධුරය ඒ පුද්ගලයාට නැති වූ විගස ඔහුව කෙල පිඬක්‌ සේ ඉවතලා අලුතින් පත්වන අග්‍රවිනිශ්චයකාරවරයා වටා සියලුදෙනාම රැස්‌වේ. රටේ ජනාධිපතිවරයා සිතන්නේ කුමක්‌ද යන්න ගැන නීති වෘත්තිය සත පහකට තකන්නේ නැත. ඔවුන්ගේ එකම ප්‍රශ්නය වන්නේ අග්‍රවිනිශ්චයකාරතුමා සිතන්නේ කුමක්‌ද යන්න පමණි. 1997 ශිරාණි බණ්‌ඩාරනායක මහත්මිය මුල් වරට ශේ්‍රෂ්ඨාධිකරණයට පවත්වන විට නීති වෘත්තියේ විශාල පිරිසක්‌ ඒ පත්වීමට එරෙහිව නැගී සිටියහ. එතරම් නීතිඥයින් ගණනක්‌ ඇයගේ පත්වීමට එරෙහි වූයේ එදා සිටි අග්‍රවිනිශ්චයකාරවරයා ඒ ගැන නොසතුටින් සිටි නිසාය. එකල සිටි අග්‍රවිනිශ්චයකාරවරයා ජනාධිපතිනියට වෙනත් නම් දෙකක්‌ යෝජනා කර තිබුණත් ජනාධිපතිනිය හිතුමතයට පත් කළේ ශිරාණි බණ්‌ඩාරනායකය. ශිරාණි බණ්‌ඩාරනායකට එරෙහිව නැගී සිටි නීතිඥවරුන්ට ඇයගේ පත්වීම ගැන සැබවින්ම ප්‍රශ්න තිබුණු බව ඔවුන් කී දේවල්වලින් පැහැදිලි විය. නමුත් ඔවුන්ට සැබවින්ම තිබුණු මේ ප්‍රශ්න වුවත් අගවිනිසුරුවරයාගේ අනුමැතිය නැතුව ඔවුන් කිසිදාක විවෘත උසාවියේ ප්‍රකාශ කර සිටින්නේ නැත. යම් හෙයකින් එදා සිටි අග්‍රවිනිශ්චයකාරතුමා ශිරාණි බණ්‌ඩාරනායකගේ පත්වීම අනුමත කළේ නම් එක නීතිඥවරයෙක්‌වත් ඇයට විරෝධය ප්‍රකාශ කර සිටින්නේ නැත.

මේ ක්‍රමය ක්‍රියාත්මක වන හැටි ශිරාණි බණ්‌ඩාරනායක මහත්මිය හොඳින් දනී. එතුමිය දැන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට යන විට "අගවිනිසුරුතුමියට ජයවේවා·", "දොaෂාභියෝගයට භංග වේවා·" යනාදිය කියමින් බෙරිහන් දීමට නීsතිඥවරුන් සිටින්නේ ඇය අග්‍රවිනිශ්චයකාර ධුරය දරන කල් පමණක්‌ බව ඇය හොඳින් දනී. එම තනතුරෙන් ඉල්ලා අස්‌වුවහොත් ඇයට කුමක්‌ සිදුවේදැයි ඇයවත් දන්නේ නැත. බැරිවෙලාවත් ඊළඟට පත්වන අග්‍රවිනිශ්චයකාරවරයා ඇය සමග අමනාපයෙන් පසුවන අයෙක්‌ වුවහොත් ඇයගේ ස්‌වාමිපුරුෂයා වෙනුවෙන් පෙනී සිටීමට නීතිඥයකුවත් සොයා ගැනීමට අසීරු වනු ඇත. මුළු නීති වෘත්තියම ඇයව අමතක කොට අලුත් අග්‍රවිනිශ්චයකාරවරයා වටේ එකතුවනු ඇත. අග්‍රවිනිශ්චයකාරවරයා ඉදිරියේදී වෙනස්‌ වන විට සිදුවන ක්‍රියාදාමය හොඳින් නිරීක්‍ෂණය කරන්නැයි මම සියලුම පාඨකයන්ට ආරාධනය කර සිටිමි. නීතිඥයන්ගේ පැත්තෙන් ගත්කල ඔවුන් අධිකරණයට මේ ආකාරයට ප්‍රශ්න කිරීමකින් තොරව අනුකූලතාවය දැක්‌වීමට ප්‍රධානම හේතුව වන්නේ විනිශ්චයකාරවරුන්ගේ හොඳහිත නැතුව ඔවුන්ට තම වෘත්තීය කරගෙන යැමට නොහැකි නිසා බව අපි කීවෙමු. එයට තවත් හේතුවක්‌ වන්නේ බොහෝ ජ්‍යෙෂ්ඨ නීතිඥයින් එක මසක්‌ තුළ හම්බකරන මුදල බොහෝවිට ජ්‍යෙෂ්ඨ විනිශ්චයකාරවරයෙකු අවුරුද්දකට හම්බකරන ගණනට වඩා වැඩිය. පෞද්ගලික ආයතනයක නම් ප්‍රධානියාට හැම විටම තම සේවකයන්ට වඩා ආදායමක්‌ තිබුණත් උසාවියේ ප්‍රධානියා විනිශ්චයකාරවරයා වුවත් මුදල් ගරන්නේ ඔහුට යටින් සිටින නීතිඥවරුන්ය. මේ වෙනසද තමන්ගේ හිතේ වැඩකරන නිසා බොහෝ නීතිඥයින් විනිශ්චයකාරවරුන්ට ලැබෙන්නේ මුදල් නොව ගරුත්වය පමණක්‌ නිසා කිසිදු ප්‍රශ්න කිරීමකින් තොරව එම ගරුත්වය ලබාදීමට ඉදිරිපත් වනවාද විය හැක.

අගවිනිසුරුවරයාගේ සම්පූර්ණ ආධිපත්‍යය යටතේ පවතින මේ ආඥදායකත්වය යටතේ නීතිඥවරුන් පරම්පරා ගණනාවක්‌ම කටයුතු කර ඇති නිසා ඔවුන් බොහෝ දෙනෙක්‌ මෙය පීඩනයක්‌ හැටියට සලකන්නේ නැතුවා විය හැක. එය නීති වෘත්තීය තුළ පවතින "ක්‍රමය" වෙයි. නීති වෘත්තීය තුළ පවතින්නේ ආඥදායකත්වයක්‌දැයි නීතිඥවරයකුගෙන් ඇසුවොත් ඔහු එකහෙළාම එය ප්‍රතික්‌ෂේප කිරීමට ඉඩ ඇත. එම ක්‍ෂේත්‍රය තුළ ආඥදායකත්වයක්‌ පවතිනවාද නැත්ද යන්න තීරණය කළ යුත්තේ පිටස්‌තරයින්ය. එකම නීතිඥවරයා අග්‍රවිනිශ්චයකාර ධුරය දරන්නේ කවුද යන්න මත තම ස්‌ථාවරය වෙනස්‌ කර ගන්නා ආකාරයෙන් එම වෘත්තීය තුළ පවතින තත්ත්වය කුමක්‌ද යන්න නිරීක්‍ෂණය කළ හැක. මා මෙය නීති වෘත්තියට කරන විවේචනයක්‌ නොවේ. තනි පුද්ගලයකුට ඒ පවතින ක්‍රමයට ඇතුළත් අරගල කළ නොහැක. එය වෙනස්‌ කළ යුත්තේ පිටිනි. ඒ අනුව මා පහත දැක්‌වෙන පියවර නිර්දේශකර සිටිමි.

1. අධිකරණ සේවා කොමිසමේ සභාපති ධුරයට නිලබලයෙන්ම අගවිනිසුරුවරයාව පත් කිරීමේ සම්ප්‍රදාය අතහැරිය යුතුය. අ.සේ.කො. වත්මන් සංයුතිය සම්පූර්ණයෙන්ම වෙනස්‌ කොට අද එංගලන්තයේ ක්‍රියාත්මක වන ආකාරයට හැම විටම නීති වෘත්තියෙන් පිටස්‌තර පුද්ගලයකු අධිකරණ සේවා කොමිසමේ සභාපතිත්වයට පත් කළ යුතුය. අධිකරණ සේවා කොමිසමේ සෙසු සාමාජිකයන් හැටියට විශ්‍රාමික හෝ සේවයේ නියුතු විනිශ්චයකාරවරුන් සිටිය හැකි වුවත් එහි නීති වෘත්තියෙන් පිට පුද්ගලයන් කීප දෙනෙකුද සිටිය යුතුය. වර්තමානයේදී අධිකරණ සේවා කොමිසමට ඇත්තේ (අගවිනිසුරුවරයා එහි සභාපති වන නිසාය.) කිසිවකුටත් ප්‍රශ්න කළ නොහැකි අත්තනෝමතික බලයකි. මේ අත්තනෝමතික බලය පාවිච්චි කොට විනිශ්චයකාරවරුන්ට නොයෙක්‌ හිරිහැර කිරීම් පිළිබඳ චෝදනා හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාට එරෙහිව සම්පාදනය කරන ලද දොaශාභියෝගයේත්, අගවිනිසුරු ශිරානි බණ්‌ඩාරනායකට එරෙහි වත්මන් දොaෂාභියෝගයේත් අඩංගුවේ. අධිකරණ සේවා කොමිසමේ සභාපතිත්වය නිලබලයෙන්ම අගවිනිසුරුවරයාට හිමි වීමට කිසිදු හේතුවක්‌ නැත. එය අධිකරණයක්‌ නොව හුදෙක්‌ම පරිපාලන ඒකකයක්‌ පමණි.

2. අධිකරණය සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිසමට ඇති අත්තනෝමතික බලය අවසන් කොට එයින් අසාධාරණයට ලක්‌වන විනිශ්චයකාරවරුන්ට පාර්ලිමේන්තුවට පැමිණිලි කළ හැකි ක්‍රියාදාමයක්‌ ඇති කළ යුතුය. මේ සඳහා ශේ්‍රෂ්ඨාධිකරණයේ සිට මහෙස්‌ත්‍රාත්වරුන් දක්‌වා සියලුම විනිශ්චයකාරවරුන්ගේ පැමිණිලි ගැන සොයා බැලීමට අධිකරණය සම්බන්ධ ස්‌ථාවර කමිටුවක්‌ තිබිය යුතුය.එය පොදු ගිනුම් කාරක සභාව නැතිනම් පොදු ව්‍යාපාර කාරක සභාව ක්‍රියාත්මක වන ආකාරයට ක්‍රියාත්මක විය යුතුය. වර්තමානයේ අධිකරණය සම්බන්ධයෙන් මෙවැනි කිසිදු අධීක්‍ෂණයක්‌ නොමැති අතර එය ප්‍රජාතන්ත්‍රවාදයේ හා සාධාරණත්වයේ මුරදේවතාවා වනවා වෙනුවට අද අත්තනෝමතික බලයේ තෝතැන්නක්‌ බවට පත්වී ඇත.

3. ශේ්‍රෂ්ඨාධිකරණයට ඇත්තේ පුදුමාකාර බලයකි. අපේ ව්‍යවස්‌ථාවට අනුව පළාත් සභාවල සමගාමි ලැයිස්‌තුවේ යම්කිසි විෂයකට අදාළ පනතක්‌ පිළිබඳ නීතියක්‌ පළාත් සභාවක්‌ මගින් සම්පාදනය කරන්නේ නම් එම නීතියට පාර්ලිමේන්තුවේ අනුමැතිය තිබිය යුතු බව කියවේ. මෙවැනි එක්‌තරා පනතක්‌ වයඹ පළාත් සභාව විසින් පාර්ලිමේන්තුවට යොමුකරන ලදුව ඒ සඳහා පත්කරන ලද කාරක සභාවක්‌ එහි ව්‍යවස්‌ථාවට පටහැනි වගන්ති ඇති නිසා ඒ පිළිබඳ උපදෙස්‌ ගැනීමට ශේ්‍රෂ්ඨාධිකරණයට යවන්නැයි කියා ජනාධිපතිට නිර්දේශ කරන ලදි. එම කටයුත්ත සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව පැත්තෙන් වෙන කිසිවක්‌ සිදුවූයේ නැත. ඊට වසර ගණනාවකට පසු මෙකී පළාත් සභා පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව විසින් අනුමත කළා යෑයි ශේ්‍රෂ්ඨාධිකරණයට එක්‌තරා පුද්ගලයකු වාර්තාවක්‌ සැපයුවාය යන පදනම මත ශේ්‍රෂ්ඨාධිකරණය පවසා සිටියේ එම පනත් කෙටුම්පතට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබුණු බවයි. අදාළ පනතට පාර්ලිමේන්තුවේ අනුමැතිය නොලැබී තිsබියදීත් ශේ්‍රෂ්ඨාධිකරණය එම අනුමැතිය ලැබුණා යෑයි කියන නිසා එම පනත සම්පූර්ණයෙන්ම නිත්‍යානුකූල විය. ශේ්‍රෂ්ඨාධිකරණය තාර කලු නොව සුදු යෑයි කිවහොත් නීතිය වන්නේ එයයි. මෙවන් බලයක්‌ තිබෙන තැනක යම් අයෙක්‌ සිටින අවුරුදු ගණන සීමා කළ යුතුය. අවුරුදු 60 ට අඩු කිසිවෙක්‌ ශේ්‍රෂ්ඨාධිකරණයට පත් නොකිරීමෙන් පරිපාලනමය වශයෙන් යම් සීමාවක්‌ ඇතිකළ හැක. එවිට අවුරුදු 65 දී ඔවුන් විශ්‍රාම ගත යුතු නිසා ධුර කාලය ඉබේටම සීමාවේ. එසේ නැත්නම් ශේ්‍රෂ්ඨාධිකරණයට පත්වන ඕනෑම කෙනකු අවුරුදු පහකට පසු විශ්‍රාම යෑවීමට ව්‍යවස්‌ථාව වෙනස්‌ කළ යුතුය. කිසිවකුටත් අවුරුදු පහකට වඩා ශේ්‍රෂ්ඨාධිකරණයේ සේවය කිරීමට ඉඩ නොතැබිය යුතුය.

4. පනත් කෙටුම්පත්වල ව්‍යවස්‌ථානුකූල භාවය සම්බන්ධයෙන් ශේ්‍රෂ්ඨාධිකරණයට තීන්දු දීමට ඇති බලය අහෝසි කළ යුතුය. ශේ්‍රෂ්ඨාධිකරණයට මෙවැනි බලතල පිරිනමා ඇති හැම රටකම විශේෂයෙන්ම ඇමරිකාවේ හා ඉන්දියාවේ එය පිළිලයක්‌ වී ඇති ආකාරය අපි කලින් පෙන්වාදී ඇත්තෙමු.

මෙවැනි විධිවිධාන ව්‍යවස්‌ථාවට ඇතුල්කර තිබෙන්නේද මතවාදයන්ට මෝඩ ලෙස වහල්වීම නිසාය. මේ ව්‍යවස්‌ථාමය ප්‍රතිපාදනය ලෝකයට හඳුන්වා දුන් ඇමරිකාවත් කටයුතු කරන්නේ එයට එරෙහිවය. මේ තත්ත්වයන් හදාරා බලා අපද තීන්දුවක්‌ ගත යුතුය. මෙයට ඇති විසඳුම වන්නේ පාර්ලිමේන්තුව විසින් පනත් කෙටුම්පත්වල ව්‍යවස්‌ථානුකූල භාවය විමසමින් "බැඳීමක්‌ නොමැති" අදහස්‌ විමසීමක්‌ සඳහා පමණක්‌ ශේ්‍රෂ්ඨාධිකරණයට යොමු කිරීමයි. එවිට ශේ්‍රෂ්ඨාධිකරණයේ ඇති නීතිමය නිපුනත්වයෙන් අලුත් නීති සම්පාදනය කිරීමේදී පාර්ලිමේන්තුවට ප්‍රයෝජනයක්‌ වනවා පමණක්‌ නොව ශේ්‍රෂ්ඨාධිකරණයේ අදහසට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ප්‍රතිචාර දැක්‌වීමෙන් වැදගත් සාකච්ඡාවක්‌ද ඇතිවේ. මෙවැනි අවස්‌ථාවල ශේ්‍රෂ්ඨාධිකරණයත් පාර්ලිමේන්තුවත් අතර ඇති වන්නේ සතුරු ආකල්පයක්‌ නොව රටේ යහපාලනය ඇති කිරීමට සහයෝගයෙන් කටයුතු කරන වාතාවරණයකි.

5. යම් පනතක්‌ සම්මත කිරීමෙන් පසු උසාවිය එම පනත නිර්වචනය කළ යුත්තේ එය සම්පාදනය කිරීමෙන් පාර්ලිමේන්තුවේ අදහස වූයේ කුමක්‌ද යන්න ගැන සැලකිල්ලට ගෙනා බව කියන විධි විධානයද ව්‍යවස්‌ථාවට ඇතුළත් විය යුතුය. කලින් දක්‌වන ලද "බැඳීමක්‌ නැති" අදහස්‌ දැක්‌වීමේ ක්‍රියාවලිය තුළින් පාර්ලිමේන්තුවේ අදහස වූයේ කුමක්‌ද යන්න ගැන උසාවියටද අවබෝධයක්‌ ලැබේ.

සී. ඒ. චන්ද්‍රප්‍රේම

 

 
Powered By -


    සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.