බුත්තල දෙදරු මවක නිවස තුළ මරා දමලා

බඩල්කුඹුර - රවිඳු ගුණතිලක

බුත්තල නගරයේ බස්‌ නැවතුම්පොළ අසල පදිංචිව සිටි කාන්තාවක සිය නිවස තුළ මරා දමා තිබියදී පසුගිය 23 දා රාත්‍රි බුත්තල පොලිසිය මගින් සිරුර සොයාගෙන තිබේ.

මෙසේ මරා දමා ඇත්තේ දේවසිරිනාරායන සුනීතා (50) නමැති දෙදරු මවකි. රජයේ වෛද්‍යවරයකු සමඟ විවාහ වී සිටි මෙම කාන්තාව ඔහුගෙන් වෙන්වී තනිවම ජීවත් වී ඇති අතර දරුවන් දෙදෙනා රජරට විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලබති.

තම මව දින දෙකකින් කතා නොකළ නිසා ගෙදරට ගොස්‌ සොයා බලන ලෙස ඇයගේ පුතා විසින් බුත්තල නගරයේ පදිංචි ඔහුගේ මිතුරකුට දුරකථනයෙන් දැනුම් දී තිබේ. ඒ අනුව සිකුරාදා (23 දා) රාත්‍රි 11.00 ට පමණ මිතුරා නිවසට ගිය විටදී නිවසේ සාලය මැද ඇය මියගොස්‌ සිටිනු දැක පොලිසියට දැනුම් දී තිබේ. ඒ වන විටත් මළ සිරුර නරක්‌ වී ඇත.

මෙම මරණය පිළිබඳ මහෙස්‌ත්‍රාත් පරීක්‍ෂණය වැල්ලවාය වැඩබලන මහෙස්‌ත්‍රාත් මාලනී තෙන්නකෝන් මහත්මිය පැවැත්වූ අතර පශ්චාත් මරණ පරීක්‍ෂණය අම්පාර මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි එස්‌. ඒ. සෙනෙවිරත්න මහතා විසින් පවත්වන ලදී. ගෙල සිර කිරීමකින් මරණය සිදු වී ඇති බවට නිගමනය කර ඇත.

මොනරාගල සහකාර පොලිස්‌ අධිකාරි අනුර පුෂ්පකුමාර මහතාගේ උපදෙස්‌ පිට බුත්තල වැඩබලන පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රභාත් දිසානායක මහතා වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.