ගාල්ල, මාතර, රත්නපුර මහ වැස්‌සෙන් මරණ 6 ක්‌

චමින්ද සිල්වා, තුෂාරී කළුබෝවිල සහ සචිත්‍ර ඇල්වලගේ

පහළ වායුගෝලයේ කැළඹිලි තත්ත්වයක්‌ සමඟ ඇති වූ ආපදාවන්ගෙන් දින දෙකක්‌ ඇතුළත මරණ හයක්‌ සිදුවී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා ඊයේ (25 දා) "දිවයින" ට පැවසීය.

අකුණු සර වැදීමෙන් දඹුල්ලේ එක්‌ අයකු ද රත්නපුර ප්‍රදේශයේ එක්‌ අයකු ද මෙසේ මියගොස්‌ ඇති අතර නෙළුව, දෙල්ලව ඇළෙහි සපත්තු පාලම මතින් එගොඩ වීමට උත්සාහ කළ තිදෙනකු ද ජල පහරට ගසාගෙන ගොස්‌ මරුමුවට පත් වී තිබේ.

මාතර පස්‌ගොඩ අමුණක්‌ උඩින් ගමන් කිරීමට යැමේදී තවත් පුද්ගලයකු ජල පහරට හසුව මියගොස්‌ තිබේ.

හම්බන්තොට පවුල් 330 ක පුද්ගලයන් එක්‌දහස්‌ තුන්සියයක්‌ විපතට පත් වී ඇති අතර නිවාස 333 ක්‌ ජල ගැල්මෙන් හානියට පත් වී ඇති බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානය පවසයි.

අධික වර්ෂාව හේතුවෙන් නෙළුව - කොස්‌මුල්ල මාර්ගය, දෙල්ලව - තවලම මාර්ගය, තවලම - උඩුගම මාර්ගය, කඹුරුපිටිය - මුලටියන මාර්ගය, අකුරැස්‌ස - විල්පිට මාර්ගය ජලයෙන් යට වී තිබිණි.

මොනරාගල දිස්‌ත්‍රික්‌කයේ වැල්ලවාය, තණමල්විල ප්‍රදේශවලට ඇදහැළුණු ධාරානිපාත වර්ෂාවෙන් වැව් තුනක්‌ කැඩී ගොස්‌ නිවාස 193 කට හානි සිදු වී තිබේ. ඉන් නිවාස 08 ක්‌ සම්පූර්ණයෙන් හානි වී ඇත.

මීට අමතරව වැල්ලවාය හා තණමල්විල ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාස දෙකේ කුඹුරු අක්‌කර දෙදහසකට අධික ප්‍රමාණයක්‌ විනාශ වී ඇති බව ආපදා කළමනාකාර මධ්‍යස්‌ථානය පවසයි.

මෙම වර්ෂාවෙන් හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ ප්‍රදේශ රැසක්‌ ජලයෙන් යට වී තිබූ අතර සූරියවැව, වෙහෙරපැලැස්‌ස, මහගල්වැව, කපුකිණිස්‌සයාය, රන්මුදුවැව ආදී ප්‍රදේශ කිහිපයක මාර්ග ජලයෙන් යට වී තිබිණි.

අධික වර්ෂාව නිසා නිල්වලා ගඟ පිටාර මට්‌ටමට පැමිණ තිබිණි. එමෙන්ම අකුරැස්‌ස - පස්‌ගොඩ මාර්ගයේ වාහන ගමනාගමනයට ඊයේ (25 වැනිදා) වන විටත් බාධා එල්ල වී තිබිණි. දැඩි වර්ෂාව හේතුවෙන් පරදුව, කද්දුව යන ප්‍රදේශයන්හි පහත් බිම් රැසක්‌ ද යට වී තිබිණි.

කෙසේ වෙතත් ඊයේ (25 වැනිදා) අ.පො.සදහවල් වන විට හම්බන්තොට, මාතර, ගාල්ල දිස්‌ත්‍රික්‌කවලට ඇදහැළුණු ධාරාණිපාත වර්ෂාවේ අඩුවක්‌ පැවැති අතර පීඩාවට පත් ජනතාව තම නිවෙස්‌ සුද්ධ පවිත්‍ර කර නැවත නිවෙස්‌ වෙත යමින් සිටි බව ද කොඩිප්පිලි මහතා පැවසීය.

මේ වසරේ ගෙවී ගිය මාස කිහිපයට අකුණු අනතුරුවලින් පුද්ගල මරණ 47 ක්‌ පිළිබඳ ඊයේ (25 වැනිදා) වන විට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට වාර්තා වී ඇතැයි කාලගුණ විද්‍යාඥ චන්ද්‍ර රොද්‍රිගෝ මහතා ඊයේ (25 වැනිදා) පැවසීය.

පසුබිම් වාර්තා - නයන ඉහළගෙදර - මොනරාගල, දඹේගොඩ ජිනදාස - වැල්ලවාය, මාපා තිලකසූරිය - සියඹලාණ්‌ඩුව, ලලිත් චාමින්ද, එස්‌. කේ. කළුආරච්චි - ගාල්ල, සමන් උපුල් පිනිදිය - අකුරැස්‌ස සහ රොෂාන් ගුණසේකර - සූරියවැව
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.