තෙල් පිරිපහදුවේ මියගිය සේවකයන් දෙදෙනාගේ
පවුල්වලට වන්දි මුදල් සහ රැකියා අවස්‌ථා


සචිත්‍ර ඇල්වලගේ සහ ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

සපුගස්‌කන්ද තෙල් පිරිපහදුවේ විෂ වායු මුදාහැරෙන යන්ත්‍රාගාරය ආශ්‍රිතව පසුගියදා සිදු වූ ගෑස්‌ කාන්දුවෙන් මියගිය සේවකයන් දෙදෙනා වෙනුවෙන් වන්දි මුදලක්‌ ගෙවීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්‌ථාවේ අධ්‍යක්‍ෂ මණ්‌ඩලය විසින් තීරණය කොට තිබේ. එහිදී මියගිය සේවකයන් දෙදෙනාගේ පවුල්වල සාමාජිකයන් වෙත රැකියා අවස්‌ථා 2 ක්‌ ලබාදීමටත් තීරණය කර තිබේ.

ඒ අනුව එම සේවකයන් දෙදෙනාගේ දරුවකුට හෝ භාර්යාවකට අදාළ රැකියා අවස්‌ථා හිමිවනු ඇත. පසුගිය 16 වැනිදා සිදු වූ මෙම අනතුරින් මියගිය වැඩ මූලික විල්µ්‍රඩ් විඡේසිංහ (56) සහ ධර්මසිරි පෙරේරා (56) යන මහත්වරුන් ඒ වන විට දැරූ තනතුරු මට්‌ටම් උසස්‌ කොට ඊට අනුකූලව වසර පහක වැටුප් හෝ ඔවුන්ගේ විශ්‍රාම කාලය තෙක්‌ ඉදිරි සේවා කාලයට අදාළ වැටුප්, වන්දි වශයෙන් එම පවුල් දෙකට ලබාදීමට ද තීරණය කර තිබේ.

ජාතික සේවක සංගමය ප්‍රමුඛ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්‌ථාවේ සියලු වෘත්තීය සමිති එක්‌ව ඉහත කරුණු පිළිබඳව ඛනිජ තෙල් කර්මාන්ත කටයුතු අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ අවධානයට යොමු කිරීමෙන් අනතුරුව සංස්‌ථා අධ්‍යක්‍ෂ මණ්‌ඩලය රැස්‌වී මෙම තීරණය ගෙන තිබේ.

ඊට අමතරව අදාළ අනතුරේදී විෂ වායු ආඝ්‍රාණය වීම හේතුවෙන් රෝගාතුර වූ සහ වැටීමෙන් තුවාල ලබා දැනට රෝහල්ගතව ප්‍රතිකාර ලබන සේවක මහත්වරුන් සඳහා ඛනිජ තෙල් නීතිගත සංස්‌ථාවේ වියදමින් සියලු වෛද්‍ය ප්‍රතිකාර හා පහසුකම් සැපයීමට ද තීරණය කර තිබේ. ගෑස්‌ කාන්දුව සිදු වූ අවස්‌ථාවේ එහි සිටි සියලුම සේවකයන් වෛද්‍ය පරීක්‍ෂණයකට ලක්‌කිරීමටත්, ජීවිත අවදානම ද නොතකා අදාළ ස්‌ථානයට ගොස්‌ අනතුරට ලක්‌ වූ පිරිස බේරා ගැනීමට ඉදිරිපත් වූ සේවක මහත්වරුන්ගේ ආදර්ශවත් ක්‍රියාව අගයා ඔවුන්ට විශේෂ ඇගයීම් තිළිණ ප්‍රදානය කිරීමටත් අධ්‍යක්‍ෂ මණ්‌ඩලය විසින් තීරණය කොට ඇතැයි වාර්තා වේ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.