ගිනි අවි යළි නොගන්නැයි බන්ධනාගාර නිලධාරීහු ඉල්ලති

නෝමන් පලිහවඩන

තමන්ට දුන් ගිනි අවි ආපසු ගැනීම වළක්‌වන ලෙස බන්ධනාගාර නිලධාරීහු බන්ධනාගාර සහ පුනරුත්ථාපන ඇමැති චන්ද්‍රසිරි ගජධීර ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටිති.

මේ පිළිබඳව පසුගිය සතියේ ඇමැතිවරයා සමඟ සාකච්ඡා කළ බව ද බන්ධනාගාර නිලධාරියෙක්‌ "දිවයින" ට ප්‍රකාශ කළේය.

වැලිකඩ, මැගසින් සහ ශ්‍රී ලංකාවේ සියලුම බන්ධනාගාරවල නිලධාරීන්ගේ පරිහරණය සඳහා රජය මගින් ගිනි අවි ලබාදුන් අතර මෙම ගිනි අවි ආපසු බාරදුන්නොත් බන්ධනාගාර නිලධාරීන් ඉතා අසීරු තත්ත්වයට පත්විය හැකි බව ද ඔවුහු පෙන්වා දෙති.

මෙම බන්ධනාගාරවල පාතාල සැකකරුවන් මෙන්ම කොටි සැකකරුවන් පවා සිටින අතර බන්ධනාගාරය තුළ කලබලයක්‌ සිදුවුවහොත් තමන් සතුව ගිනි අවි තිබිය යුතු බව ද බන්ධනාගාර නිලධාරීහු වැඩිදුරටත් පවසති.

මේ අතර ගිනි අවි පරිහරණය සිවිල් රාජකාරිවල යෙදී සිටින පුද්ගලයන්ට තහනම් බව ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කර තිබිණි. විශේෂයෙන් ටී. 56 වර්ගයේ තුවක්‌කු පරිහරණය කිරීම පිළිබඳව විශේෂ දැනුමක්‌ තිබිය යුතු බව ද ආරක්‍ෂක ලේකම්වරයා විසින් සඳහන් කර තිබිණි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.