ඊයේ බණ්‌ඩාරපුලියන්කුලම හරස්‌ මාර්ගයේදී
යාල් දේවියේ අත්ට්‍රැක්‌ටරයක්‌ ගැටේ

ට්‍රැක්‌ටරයේ සිටි හත්දෙනා අනූනවයෙන් දිවි බේරා ගනිති


අනුරාධපුර විශේෂ -
පර්සි කුරුනේරු

කොළඹ කොටුවේ සිට වව්නියාව ඕමන්ත බලා ධාවනය වූ යාල් දේවි ශීඝ්‍රගාමී දුම්රියට අනුරාධපුර හා සාලියපුර අතර බණ්‌ඩාරපුලියන්කුලම දුම්රිය හරස්‌ මාර්ගයේදී හැපුණු අත්ට්‍රැක්‌ටරයක සිටි හත්දෙනකු ඊයේ (25 දා) දවල් අනූ නවයෙන් සිය ජීවිත බේරාගෙන ඇත.

දරුවන් සිව් දෙනකු කාන්තාවක හා තවත් පිරිමින් දෙදෙනකු මෙලෙස සිය ජීවිත බේරාගෙන තිබේ.

දුම්රියේ හැපුණු අත්ට්‍රැක්‌ටරයේ එන්ජිම ඇතුළු ඉදිරිපස කොටස සුණු විසුණු වී එහි එක රෝදයක්‌ ගැලවී විසි වී අසල වූ කුඹුරකට වැටී තිබූ අතර අනෙක්‌ රෝදය අනතුර සිදු වූ ස්‌ථානයට නුදුරින් විසි වී තිබිණි.

මෙම අනතුරින් දුම්රිය එන්ජිමේ වැකුම් නලයක්‌ කැඩීයැම නිසා දුම්රිය ධාවනය කිරීමට නොහැකි විය. මේ හේතුවෙන් වව්නියාව බලා ගමන් කිරීමට දුම්රියේ පැමිණි මගීහු බොහෝ දෙනෙක්‌ දුම්රියෙන් බැසවිත් බස්‌ රථවල නැගී වව්නියාව බලා ගමන් කළහ.

අනතුරුව අනුරාධපුරයේ සිට එම ස්‌ථානයට පැමිණි දුම්රිය දෙපාර්තමේන්තුවේ කාර්මික නිලධාරිහු කණ්‌ඩායමක්‌ දුම්රිය එන්ජිමේ වැකුම් නලය අලුත්වැඩියා කර පැයක පමණ කාලයකින් පසු දුම්රිය නැවත ධාවනය කිරීමට පියවර ගත්හ.

දුම්රියේ හැපුණු අත්ට්‍රැක්‌ටරයේ අනුරාධපුර සාලිය මාවත ප්‍රදේශයේ පදිංචි පිරිසක්‌, කොන්ක්‍රීට්‌ කණු තොගයක්‌ පටවාගෙන අනාරක්‍ෂිත දුම්රිය මාර්ගය හරහා ගමන් කිරීමට උත්සාහ කිරීමේදී මෙම අනතුරට මුහුණ පා ඇත.

තමන් දුම්රිය මාර්ගයට අත්ට්‍රැක්‌ටරය දැමීමට පෙර එම මාර්ගය දෙපැත්ත බලා අත්ට්‍රැක්‌ටරය පදවන විට නලාව නාද කර ගෙන එකවරම වංගුවෙන් දුම්රියක්‌ මතු වූ බවත් එම අවස්‌ථාවේ කිසිවක්‌ කර කියා ගත නොහැකි වූ තැන කුඩා ළමයින් සමග අත්ට්‍රැක්‌ටරයෙන් පැන ඈතට දුවගොස්‌ ජීවිත බේරාගත් බව අත්ට්‍රැක්‌ටරයේ ගමන් කළ අය "දිවයින"ට පැවසූහ.

වංගුවක්‌ සහිත ස්‌ථානයක පිහිටි මෙම අනාරක්‍ෂිත දුම්රිය හරස්‌ මාර්ගය අසලට පැමිණෙනතුරුම එය දර්ශනය නොවීම නිසා එම මාර්ගයේ නිතර අනතුරු සිදුවීමේ අවදානමක්‌ පවතින බව ප්‍රදේශවාසීහු පවසති.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.