බැංකු හරහා සිදුවිය යුත්තේ පොඩි මිනිස්‌සුන්ට
ණය ලබාදී කෝටිපතියන් බවට පත් කිරීමයි

ඇමැති ආචාර්ය සරත් අමුණුගම

සිරිල් විමලසුරේන්ද්‍ර

බැංකු හරහා සිදුවිය යුත්තේ කෝටිපතියන්ට සුඛෝපභෝගී ජීවිත ගත කිරීමට ආධාර දීම නොව නිර්මාණ ශක්‌තියක්‌ උනන්දුවක්‌ තිබෙන පොඩි මිනිසුන්ට ණය ආධාර ලබාදී ඔවුන් කෝටිපතියන් බවට පත් කිරීම යෑයි ජාත්‍යන්තර මූල්‍ය කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය ඇමැති ආචාර්ය සරත් අමුණුගම මහතා පෙරේදා (24 වැනිදා) මහනුවරදී මහජන බැංකු ශාඛා දෙකක්‌ විවෘත කරමින් පැවැසීය.

ධනවතුන් නැති කිරීම වෙනුවට තව තවත් ධනවතුන් ඇති කිරීමට කුඩා ව්‍යාපාර හා කර්මාන්ත සඳහා ආයෝජනය කිරීමටත් එමගින් ධනපතියන් ඇති කිරීමට බැංකු ඉදිරිපත් විය යුතු යෑයිද ආචාර්ය සරත් අමුණුගම මහතා පැවැසීය.

තවදුරටත් අදහස්‌ දැක්‌වූ ආචාර්ය සරත් අමුණුගම මහතා මෙසේද පැවැසීය. කලකට පහත වැටී තිබුණු මහජන බැංකුව දැන් ඉහළ තත්ත්වයකට පත්වී තිබෙනවා. වත්මන් සභාපති කරුණාජීව මහතාගේ සමයේ මහජන බැංකුව උසස්‌ තත්ත්වයකට පත්වී තිබීම ගැන අප සතුටු විය යුතුයි. මහජන බැංකුව ආරක්‍ෂා කර ගැනීමට රජය මුදල් දුන් කාලයක්‌ තිබුණා. නමුත් දැන් මහජන බැංකුව රජයට ණය මුදල් ලබා දෙනවා.

රජයට දේශීය හා විදේශීය වශයෙන් ණය ලබා ගැනීම අවශ්‍යයි. රජයේ වාර්ෂික වියදමට රුපියල් බිලියන 1700 අවශ්‍යයි. නමුත් ආදායම රුපියල් බිලියන 1200 යි. රජයේ පඩි නඩි ගෙවීම වැනි වියදමට රුපියල් බිලියන 500 ක්‌ අවශ්‍යයි. ණය ලබා නොගත හොත් මුදල් නෝට්‌ටු මුද්‍රණය කළ යුතුයි. එවිට සිදුවන්නේ මුදල් සංසරණය ඉහළ ගොස්‌ උද්ධමනය ඉහළ යැමයි. ඒ නිසා රජය පියවර ගන්නේ රටේ දළ නිෂ්පාදනය ඉහළ නැංවීමටයි.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ උපදෙස්‌ මත ක්‍රියාත්මක වන ආර්ථික සංවර්ධන ප්‍රතිපත්තිය අනුව දැන් රටේ උද්ධමනය පහත බැස තිබෙනවා. සියයට විස්‌සකට පමණ ඉහළ ගොස්‌ තිබුණු උද්ධමනය දැන් සියයට හතක්‌ පමණ දක්‌වා අඩුකර තිබෙනවා. එය ලබන වසරේදී සියයට 6.5 තරමට අඩු කිරීමට බලාපොරොත්තු වෙනවා.

සහල්, එළවළු වැනි පාරිභෝගික ද්‍රව්‍ය නිෂ්පාදනය ඉහළ ගොස්‌ තිබීමෙන් විදේශ විනිමය වැය වන්නේ නැති නමුත් සීනි, ළදරු කිරි පිටි සහ ඉන්ධන වෙනුවෙන් විදේශ විනිමය අවශ්‍ය වෙනවා. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා නිරතුරු කියා සිටින පරිදි දේශීය නිෂ්පාදනය නැංවීම කෙරෙහි ජනතාවගේ උනන්දුව අවශ්‍යයි. පැණි හකුරු නිෂ්පාදනයත්, එළවළු සහ පොල් වගාව කෙරෙහි උනන්දුව අවශ්‍යයි.

මුදල් ඉතිරි කිරීම කෙරෙහි උනන්දුව අවශ්‍යයි. අතීතයේදී පාසල් සිසුන් පවා කෑම සහ පාස්‌පොත් මගින් මුදල් ඉතිරි කිරීමට පුරුද්දක්‌ ඇති කරගෙන සිටියා. එම ඉතිරි කිරීමේ පුරුද්ද නැවත දැන් ඇතිකර ගත යුතුයි.

ආණ්‌ඩුවට වගකීම් රැසක්‌ තිබෙනවා. ජාතික වශයෙන් සංවර්ධනය මෙන්ම ලක්‍ෂ 13 ක්‌ පමණ රාජ්‍ය සේවකයන්ද ලක්‍ෂ 5 ක්‌ පමණ වූ විශ්‍රාමිකයන්ද වෙනුවෙන් රජය ජාතික ධනය වැය කරනවා.

මහජන බැංකුවේ සභාපති ඩබ්ලිව්. කරුණාජීව මහතා අදහස්‌ දක්‌වමින්, සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනියගේ නායකත්වයෙන් වූ රජයේ දූරදර්ශී අරමුණු ඇතිව කටයුතු කළ අමාත්‍යවරයකු වූ ටී. බී. ඉලංගරත්න මහතාගේ නිර්මාණයක්‌ වූ මහජන බැංකු මාතාව එදා මෙදා අතර ජාතියට උදාර සේවයක්‌ ඉටුකර තිබේ යෑයි පැවැසීය.

මහජන බැංකු මාතාව එක්‌තරා අවධියක විශාල අභියෝගයකට මුහුණදී තිබුණ නමුත් වර්තමානයේදී එම දයාබර මාතාව අතිශය දීප්තිමත් අවස්‌ථාවකට පත්වී සිටිනවා. එම සුවිශේෂී තත්ත්වය ඇති වූයේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ නිවැරදි මාර්ගෝපදේශකත්වයත් මහජන බැංකුවේ සේවක පිරිසගේ කැපවීමත් නිසයි.

මේ රටේ බැංකුවලදී තැනක්‌ ලැබුණේ චෙක්‌පත් අතේ තිබුණු පිරිසට පමණක්‌ වුවත් මහජන බැංකුව සාමාන්‍ය ජනතාවට බැංකු දොර විවෘත කළ බව පැවසූ සභාපති කරුණාජීව මහතා වර්තමානයේදී මහජන බැංකුව ජාත්‍යන්තර බැංකු පවා පිළිගන්නා තත්ත්වයකට පත්වී තිබේ යෑයි ද පැවැසීය.

මහජන බැංකුවේ මහනුවර නියෝජ්‍ය මහා කළමනාකාර බොනිපස්‌ සිල්වා, මහනුවර මහ දිසාපති ගාමිණි සෙනෙවිරත්න සහ මහනුවර මහජන බැංකුවේ සහකාර කළමනාකාර එස්‌. බී. රත්නායක යන මහත්වරු කතා කළහ.

මධ්‍යම පළාත් ආණ්‌ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, මහනුවර මහ නගරාධිපති මහින්ද රත්වත්තේ සහ මහනුවර මහ රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය ඩබ්. ජි. දිසානායක යන මහත්වරු මෙම අවස්‌ථාවට සහභාගි වූහ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.