ඉනාමළුව රක්‌ෂිතයෙන් කැපූ තේක්‌ක දැව අත්අඩංගුවට

සීගිරිය - සරත් එරමිණිගම්මන

සීගිරිය ඉනාමළුව රජයේ තේක්‌ක රක්‌ෂිතයේ කපා ප්‍රවාහනයට සූදානම් කර තිබු ලක්‍ෂ පහකට ආසන්න වටිනාකමකින් යුත් තේක්‌ක දැව කඳන් පැටවූ ලොරි රථයක්‌ එහි රියෑදුරා සමඟ අත්අඩංගුවට ගැනීමට ඉනාමළුව වන සංරක්‌ෂණ හා සීගිරිය පොලිස්‌ නිලධාරීන් ඒකාබද්ධව සිදුකළ වැටලීමකදි හැකිවී තිබේ.

වන සංරක්‌ෂණ නිලධාරීන්ට ලද තොරතුරක්‌ මත 23 වැනි දින රාත්‍රියේ වැටලීම් සිදුකර ඇත. වැටලීම් සිදුකරන අවස්‌ථාවේ තවත් සැකකරුවන් කීප දෙනෙකු පලාගොස්‌ තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු පොළොන්නරුව, ජයන්තිපුර පදිංචිකරුවකු වන අතර ඡේ. සී. 4350 දරන ලොරි රථය මසකට රුපියල් ලක්‍ෂයක කුලී පදනම මත ලබාගත් එකක්‌ බව පරීක්‍ෂණවලින් අනාවරණය වී ඇත.

හබරණ ප්‍රදේශයේ උසස්‌ වන සංරක්‌ෂණ නිලධාරියකු හා දැව ජාවාරම්කරුවන් මෙම දැව ජාවාරම පිටුපස සිටින බවට පරීක්‍ෂණ අංශ අනාවරණය කරගෙන ඇත.

ඉනාමළුව වන සංරක්‌ෂණ හා සීගිරිය පොලිසිය පරීක්‍ෂණ සිදුකරයි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.