74 වියෑති කත කුඩු නඩුවෙන් නිදහස්‌

සරත් ධර්මසේන

හෙරොයින් මත්කුඩු ග්‍රෑම්ස්‌ 7.44 ක්‌ සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීම යන චෝදනා එල්ලවී සිටි 74 හැවිරිදි කාන්තාවක නිදොස්‌ කොට නිදහස්‌ කිරීමට දීර්ඝ නඩු විභාගයකින් පසුව කොළඹ මහාධිකරණ විනිසුරු ලලිත් ජයසූරිය මහතා ඉකුත් සතියේ තීරණය කළේය.

චෝදනාවට ඇය වරදකරු වූවා නම් ඇයට නීතියට අනුව නියම වන අනිවාර්ය දඬුවම මරණ දඬුවම හෝ ජීවිතාන්තය දක්‌වා සිර දඬුවමයි.

විනිසුරුවරයා ඇය නිදහස්‌ කිරීමට තීරණය කරමින් සඳහන් කළේ මෙවැනි නඩුවක දී ඉදිරිපත් වන සාක්‍ෂි සාධාරණ සැකයෙන් තොරව පිළිගත හැකි තත්ත්වයක තිබිය යුතු බවයි.

විශේෂයෙන්, යම් පුද්ගලයෙක්‌ ළඟ තිබී අත්අඩංගුවට ගත් මත් කුඩු නඩු භාණ්‌ඩයක්‌ වශයෙන් පරීක්‍ෂාවට භාජනය කිරීම සඳහා රජයේ රස පරීක්‍ෂකට යවන අවස්‌ථාව දක්‌වා වූ ක්‍රියාදාමය එක පිළිවෙළකට පැහැදිලිව සාක්‍ෂිවලින් ප්‍රකාශ විය යුතු නමුත් මේ නඩුවේදී එහි බිඳීමක්‌ ඇති බව තීන්දුවේ සඳහන් කර ඇත.

රජයේ රස පරීක්‍ෂකට අදාළ විෂය ගැන ඇති දැනුම, පළපුරුද්ද ඇතුළු සුදුසුකම් ඔහුගේ සාක්‍ෂියෙන් උසාවියට ඉදිරිපත් නොවීම ද විත්තියේ නීතිඥවරු පෙන්නා දුන් පරිදි නඩුවේ අඩුපාඩුවක්‌ යෑයි තීන්දුවේ වැඩිදුරටත් සඳහන් වේ.

බොරැල්ල කොටාපාර පදිංචි කන්දයියා මාසහාමි නඩුවේ විත්තිකාරියයි.

අධිනීතිඥ නන්දන මල්කුමාර මහතා විත්තියට පෙනී සිටියේය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.