ලොකු වැටුපක්‌ සහිත කොරියාවේ රැකියාවක්‌ දෙනවැයි කියා
ලක්‍ෂ 7 1/2 ක්‌ වංචා කළ දෙදෙනා අත්අඩංගුවට


බණ්‌ඩාරගම - බී. එස්‌. ජයසිංහ

ඉහළ වැටුපක්‌ ලබාගත හැකි රැකියාවක්‌ කොරියා රටෙන් ලබාදෙන බව පවසා වාද්දුව තල්පිටිය පදිංචිකරුවකුගෙන් රුපියල් හත්ලක්‍ෂ හැත්තෑදහසක්‌ වංචාකළ පුද්ගලයන් දෙදෙනකු පෙරේදා (24දා) අත්අඩංගුවට ගත් බව පානදුර විශේෂ අපරාධ විමර්ශන අංශය කියයි.

අත්අඩංගුවට පත් සැකකරුවන් අතර මෙම වංචාවේ ප්‍රධාන සැකකරුද වන බව පොලිසිය කියයි.

පැමිණිලිකරුවන් මිතුරකුගේ පියකු මාර්ගයෙන් දැන හඳුනාගත් ප්‍රධාන සැකකරුට මීට මාස කිහිපයකට පමණ පෙර මුදල් ලබා දුන්නත් රැකියාව හෝ මුදල් ද ලබානොදී ඔහු මගහරින බව පවසමින් මෙම සැකකරුවන්ට විරුද්ධව පැමිණිල්ලක්‌ දමා ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු මිතුරාගේ පියාගේ බැංකු ගිණුමට පැමිණිලිකරු ලබාදුන් මුදලින් රුපියල් ලක්‍ෂ දෙකක මුදලක්‌ද බැරවී ඇති බව පොලිස්‌ පරීක්‍ෂණ වලදී හෙළිවී ඇත.

ප්‍රධාන සැකකරු තංගල්ලේ පදිංචිකරුවකු බව පවසන පොලිසිය ඔහු මෙම වංචා කළ මුදල් උපයෝගි කර ගනිමින් දෙමහල් නිවසක්‌ ඉදිකරන බව පොලිසිය කියයි.

අනෙක්‌ සැකකරු මොරටුව පදිංචිකරුවෙකි.

පානදුර විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක ඉන්දුල ගිනිගේ මහතාගේ උපදෙස්‌ මත පොලිස්‌ සැරයන් (3455) සරත්චන්ද්‍ර (27945) හේරත් පොලිස්‌ කොස්‌තාපල් (12175) පෙරේරා (55351) ජයනන්ද (40354) සම්පත් (3024) සුධර්මා මහත්ම මහත්මීහු පරීක්‍ෂණ පවත්වති.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.