කෝට්‌ටේ හිමිවරුන් ඝාතනයේ සැකකරු යළි රිමාන්ඩ්

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

කෝට්‌ටේ රාජමහා විහාරස්‌ථානයේ වැඩ විසූ භික්‌ෂූන් වහන්සේලා දෙනමකගේ ඝාතනයට සම්බන්ධ හර්ෂ මංජු ශ්‍රී මහකීර්ති පෙරේරා හෙවත් නිලමේ නමැත්තා පසුගියදා වැලිකඩ බන්ධනාගාරයේදී සිදුවූ කලහකාරී සිද්ධියේදී මියගොස්‌ ඇති බව බන්ධනාගාර නිලධාරීහු නුගේගොඩ මහෙස්‌ත්‍රාත් අජිත් එම්. මාසිංහ මහතාට 16 වැනිදා දන්වා සිටියේය.

මෙම ඝාතන සිද්ධියේ සෙසු සැකකරු වන තණමල්විල පදිංචි සුරේෂ් චානක නමැත්තා අධිකරණයට ඉදිරිපත් කළ අවස්‌ථාවේ එම බන්ධනාගාර නිලධාරීහු එසේ මහෙස්‌ත්‍රාත්වරයාට දන්වා සිටියේය. එම සැකකරු මෙම මස 30 වැනිදා දක්‌වා තවදුරටත් රක්‌ෂිත බන්ධනාගාරයේ රඳවා තැබීමට නියම විය.

2012/03/20 වැනිදා රාත්‍රී 9.45 ට පමණ කෝට්‌ටේ රාජ මහා විහාරයේ වැඩ විසූ පණ්‌ඩිත පිටිගල ජිනසිරි හා බොරලැස්‌ගමුවේ ගුණරතන යන හිමිවරුන් දෙනම ඉතා අමානුෂික අන්දමින් ඝාතනය කිරීම සම්බන්ධයෙන් මොවුන්ට එරෙහිව චෝදනා නගා තිබුණි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.