ඔසු සල්වල ඖෂධ හිඟයක්‌ ඇත්නම්
ඒ පිළිබඳ සොයා බලා වාර්තාවක්‌ දෙන්න

සෞඛ්‍ය ඇමැතිගෙන් නියෝගයක්‌

ඔසු සල්වල ඖෂධ හිඟව පවතින්නේ නම් ඒ පිළිබඳව සොයා බලා තමන්ට වාර්තාවක්‌ ලබාදෙන ලෙස සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා විළවුන් උපකරණ හා ඖෂධ අධිකාරියේ අධ්‍යක්‍ෂ වෛද්‍ය හේමන්ත බෙනරගම මහතාට උපදෙස්‌ දී ඇත.

හෘද රෝගීන් විසින් දිව යට තබා ගැනීම සඳහා භාවිත කරන ඖෂධයක්‌ හා ටීඑන්ටී නමැති ඖෂධය ඇතුළු ඖෂධ වර්ග 180 ක්‌ රට පුරා හිඟව පවතින බවට පසුගියදා දිවයින පුවත්පතේ ප්‍රවෘත්තිය පළවීමෙන් පසුව අවධානය යොමු කළ ඇමැතිවරයා මේ පිළිබඳව උපදෙස්‌ දී තිබේ.

පුද්ගලික අංශයේ ඔසුසල්වල කිසියම් ඖෂධයක්‌ හිඟව පවතින්නේ නම් එයට මැදිහත්වීම හා ඒ පිළිබඳව කරුණු සොයා බැලීමට සෞඛ්‍ය අමාත්‍යංශයට අයිතියක්‌ තිබේ. කිසියම් ඖෂධයක්‌ එම පුද්ගලික ඔසුසල්වල හිඟව පවතින්නේනම් ඊට මැදිහත්වී අවශ්‍ය විසඳුම් ලබා දීමට පියවර ගත හැකිය.

එමෙන්ම රජයේ ඔසුසැල්වල දැනට එවැනි ඖෂධ හිඟයක්‌ නොමැති අතර ටීඑන්ටී නමැති ඖෂධ තොග මාස 6 කට තරම් අවශ්‍ය ප්‍රමාණයන් වෛද්‍ය සැපයීම් අංශය සතුව පවතී. පුද්ගලික අංශයේ ඔසුසල්වල එම ඖෂධය නොමැතිනම් මාසයකට තරම් ප්‍රමාණවත් ඖෂධ වෛද්‍ය සැපයීම් අංශය විසින් රජයේ ඖෂධ නීතිගත සංස්‌ථාව හරහා පුද්ගලික ඔසු සල්වලට ලබාදීමට හැකියාව ඇති බව එම අංශයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය කමල් ජයසිංහ මහතා අමාත්‍යංශයට දැනුම් දී ඇත.

දැනට පුද්ගලික ඔසුසල්වල ටීඑන්ටී නමැති ඖෂධය නොමැතිනම් ඒවා වෛද්‍ය සැපයීම් අංශය සතුව තිබෙන තොගවලින් මාසයකට පමණ සෑහෙන ප්‍රමාණයක්‌ මුදාහැරීමට කටයුතු කරන ලෙසත්, රාජ්‍ය අංශයෙන් හෝ පුද්ගලික අංශයෙන් වේවා ඖෂධ ලබා ගන්නේ අපේ රටේ ජනතාව බැවින් ඒ සඳහා සොයා බලා අවශ්‍ය පියවර ගන්නා ලෙස අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා වෛද්‍ය සැපයීම් අංශයට වැඩිදුරටත් උපදෙස්‌ ලබාදී තිබේ. නමුත් රජයේ ඔසුසල්වල ඖෂධ වර්ග 180 ක හිඟයක්‌ නැති බවද, අත්‍යවශ්‍ය ඖෂධ සියල්ල අවශ්‍ය තරම් තොග පවතින බවද රාජ්‍ය ඖෂධ නීතිගත සංස්‌ථාව දැනුම් දී ඇත.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.