විපක්‍ෂය දිවි නැඟුම විවේචනය කරන්නේ
අන්ධයින් අලියා ගැන කිව්වා වගෙයි

ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්‍ෂ



අද රටේ ආයෝජනයන් කඩාවැටෙමින් තිබෙනවා

රවි කරුණානායක (එජාප)





කුරහන් පාටින් ඇඳගෙන ඉන්න
මේ ආණ්‌ඩුව කුරහන් පවා ආනයනය කරනවා

දයාසිරි ජයසේකර (එජාප)




අපි අධිකරණයට පයින් ගසලා නැහැ

ඇමැති මහින්ද අමරවීර





කුෂාන් සුබසිංහ සහ අකිත පෙරේරා

"දිවි නැඟුම" වැඩපිළිවෙළ සම්බන්ධව විපක්‍ෂය විසින් කරනු ලබන විවේචන අන්ධයින් විසින් අලියකු අතගා කරනු ලබන විවේචන වැනි යෑයි ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තුවේදී පෙරේදා (24 වැනිදා) පැවැසීය.


අයවැය කාරක සභා අවස්‌ථාවේදී ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයේදී පිළිතුරු කථාව කරමින් ඇමැතිවරයා එසේ කීය.

වේත්‍රධාරී අනිල් පරාක්‍රම සමරසේකර මහතා විසින් සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව එදිනට නියමිත ලිපි ලේඛන, පෙත්සම් ආදිය ඉදිරිපත් කිරීමෙන් පසුව වාචික පිළිතුරු අපේක්‍ෂිත ප්‍රශ්නවලට ඇමැතිවරුන් පිළිතුරු සැපයීමෙන් අනතුරුව සභාවේ කටයුතු ආරම්භ විණි.

ආර්ථික සංවර්ධන අමාත්‍යංශ වැය ශීර්ෂ විවාදය ආරම්භ කරමින් කොළඹ දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී රවී කරුණානායක (එජාප) -

රටේ ආයෝජනයන් අද කඩාවැටෙමින් තිබෙනවා. රජය වෙනත් ලෝකයක්‌ ජනතාවට පෙන්වමින් සිටිනවා. මේ රටේ අභියෝග ගණනාවක්‌ තිබෙනවා. යුද්ධය නිමා කර වසර තුනහමාරක්‌ ගතවුණත් එහි ප්‍රතිලාභ ජනතාවට ලැබිලා නැහැ. රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම අතපත ගාලා පමණයි. පෞද්ගලික අංශයට වැටුප් වැඩි කිරීමක්‌ ගැන සඳහන් කරලාවත් නැහැ. 2002-2004 එජාප පාලනයේදී මේ රටේ ඇඟලුම් කර්මාන්ත ශාලා 674 ක්‌ තිබුණා. ඒත් අද වන විට එම ශාලා ප්‍රමාණය 125 දක්‌වා අඩුවෙලා. රුපියල් දහයක්‌ සාක්‌කුවට දාලා රුපියල් නවසීයක්‌ම පික්‌පොකට්‌ ගහන ආණ්‌ඩුවක්‌ මේක. සමෘද්ධිලාභීන්ගේ පවා ජල බිල්පත් වැඩි කර තිබෙනවා. ආයෝජනවලදී සමහර ආයතනවල අඩු තක්‌සේරු යටතේ ඉඩම් ලබාදී තිබෙනවා. මේ අයවැයට පවා නෛතික ප්‍රශ්නයක්‌ තිබෙනවා.

ජාතික භාෂා සහ සමාජ ඒකාබද්ධතා ඇමැති වාසුදේව නානායක්‌කාර -

රවී කරුණානායක මහතා කොම්පැණි වෙනුවෙන් කතා කළා. රජය මැදිහත්වීම් කළ යුතු සමාගම්වලට මැදිහත් වෙනවා. ඉඩම් අඩු තක්‌සේරුවට විවිධ අයට ලබාදී නැහැ. එහෙම කරලා තිබෙනවා නම් ඔහුට උසාවි යන්න තිබුණා. ආර්ථික සංවර්ධනය කියන්නේ සමාජය ප්‍රසාරණය කිරීමක්‌ පමණක්‌ නොවෙයි තුලිත ආර්ථික සංවර්ධනයක්‌ ඇති කිරීමයි රජයේ අරමුණ. පුළුල්ම තලයේ ආර්ථික සංවර්ධනය දිවි නැඟුමේ අර්ථයයි. මෙහි පහළම තලය වන්නේ අඩු ආදායම්ලාභීන් නඟාසිටුවීමයි. එජාපය කාලේ ආර්ථිකය සංවර්ධනය කරනවා කියලා කළේ මුදල් ඉතිරි කිරීම පමණයි. ඒත් අපි ඒ මුදල් මේ රටේ සම්පත් බවට පත්කර තිබෙනවා. ලෝකයට අපේ රටේ විශේෂත්වය නොදැක සිටි නොහැකි තත්ත්වයට ගෙන ඒමට රජය කටයුතු කරනවා. රජයේ ආදායම් වැඩි කරන යෝජනා විපක්‍ෂය විසින් ඉදිරිපත් කළේ නැහැ. එජාපයේ හාම්පුතුන් රටට අටවපු උගුල තමයි ජී. එස්‌. පී. එජාපය ඒත් ඒ ගැන බොරු පම්පෝරි ගහනවා.

නියෝජ්‍ය කාරක සභා සභාපති සී. මුරුගේසු මහතා මූලාසනයට පැමිණේ.

පත කළ මන්ත්‍රී එස්‌. සුමන්දිරන් (ද්‍ර.ජා.ස.) -

මේ රටේ දුප්පත්කම තුරන් කරනවා නම් කවුරු කළත් ඒ ගැන අපි සතුටුවෙනවා. රටේ ජනගහනයෙන් 50% ක්‌ පමණම දිවි නැඟුමෙන් සහනාධාර ලබනවා නම් ආණ්‌ඩුව කියන විදිහට දරිද්‍රතාවයෙන් පෙළෙන්නේ 10% ක්‌ කියන කාරණාව අපට පිළිගන්න බැහැ. මේ අයවැයෙන් 2/3 ක පමණ වන මුදලක්‌ වෙන්කොට තිබෙන්නේ මේ පාර්ලිමේන්තුවෙන් පිටත සිටින පිටස්‌තර පුද්ගලයකුටයි. ඉතින් කොහොමද පාර්ලිමේන්තුව උත්තරීතර වෙන්නේ. පාර්ලිමේන්තුවට මුදල් පිළිබඳ බලය හිමිවී තිබුණත් දැන් විධායකය විසින් තමයි මුදල් බෙදා දෙන්නේ.

පාරිභෝගික සුබසාධන කටයුතු ජ්‍යෙෂ්ඨ ඇමැති එස්‌. බී. නාවින්න -

කෘෂිකර්මයට බැඳුනු ජීවිත සඳහා දිවි නැඟුමේ ආශිර්වාදය ලැබී තිබෙනවා. කෘෂිකාර්මික රටක්‌ වශයෙන් ඒ ගැන මහින්ද චින්තනයේ විශේෂයෙන් සඳහන් කර තිබෙනවා. නිදහසින් පසුව මේ රටේ සම්මත කර ගත් අණ පනත් රැසක්‌ තිබෙනවා. කුඹුරු ගොවි පනත එවැනි එකක්‌. ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා විසින් ඉදිරිපත් කර තිබෙන දිවි නැඟුම පනත ද එවැන්නක්‌.

වරාය හා මහා මාර්ග නියෝජ්‍ය ඇමැති රෝහිත අබේගුණවර්ධන -

දිවි නැඟුම පනත මේ පාර්ලිමේන්තුවට ගේන කොට ඊට විරුද්ධව උසාවි ගිය කෙනෙක්‌ තමයි සුමන්දිරන් මන්ත්‍රීවරයා. ඒත් අද ඔහුගේ කතාවේදී දිවි නැඟුම ගැන මොකුත් කිව්වේ නැහැ. ඔහු පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරයකු විදිහට තම යුතුකම ඉටු කළාද කියන ගැටලුව ඔහුගේ කතාවේ තිබෙනවා. උතුරේ මිනිසා නැගී සිටිනවාට සුමන්දිරන්ලා කැමැති නැහැ. ඒ අයට ඕනේ උතුරේ මිනාහාව ජාත්‍යන්තරයට විකුණන්නයි. කොළඹ ඉන්න අය කොහොමද උතුරේ ජනතාව ගැන දන්නේ. සම්බන්ධන් මන්ත්‍රීතුමා නම් දන්නවා උතුර ගැන. හැබැයි සුමන්දිරන්ලා ඉන්නේ කොළඹ. ඉතින් උතුරේ මිනිස්‌සු ගැන සුමන්දිරන්ලා දන්නේ කොහොමද?

විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග (එජාප) -

මන්ත්‍රීවරු විදිහට අපිට තවමත් ලැබෙන්නේ විමධ්‍යගත මුදල් විදිහට රුපියල් ලක්‍ෂ 50 යි. ඇමැතිවරුන්ට නම් ඕන තරම් ලැබෙනවා. මම ඉල්ලීමක්‌ කරනවා. මුදල් ප්‍රමාණය වැඩි කරන්න කියලා. ඒ මුදල් ටිකවත් නිසි කලට ලැබෙන්නේ නැහැ. මේ ගැන සලකලා බලන්න එහෙම නොවුණොත් එය විශාල අසාධාරණයක්‌.

සම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය ඇමැති ඩග්ලස්‌ දේවානන්දා -

යුද්ධයෙන් හානියට පත් ප්‍රදේශ ජනාධිපතිතුමාගේ උපදේශකත්වය ඇතිව බැසිල් රාජපක්‍ෂ මහතාගේ නායකත්වයෙන් ගොඩනැගෙමින් තිබෙනවා.

කුරුණෑගල දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී ශාන්ත බණ්‌ඩාර (එජනිස) -

විපක්‍ෂයේ අය හැමදාම මෙතනට ඇවිල්ලා අරවා මේවා කතා කරලා යනවා. ඇතුලේ තියෙන ප්‍රශ්නවත් ඒ අයට ලිහාගන්න බැරිවෙලා.

කෘෂි ආර්ථිකය වගේම අපේ සංචාරක කර්මාන්තයත් ශීඝ්‍ර ලෙස වර්ධනය වෙමින් තිබෙනවා. 2010 වෙනකොට අපේ සංචාරකයන්ගේ පැමිණීම මිලියන 2.5 දක්‌වා වෙන්න ඕනෑ කියල ඉලක්‌කයක්‌ තිබෙනවා. එය ඉක්‌මවා යන්න පුළුවන් වේවි.

ගම්පහ දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී රුවන් විජයවර්ධන (එජාප) -

මේ අයවැයෙන් ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයට විශාල මුදලක්‌ වෙන්වෙලා තිබෙනවා. ඒ වගේම සෑම අමාත්‍යාංශයකම විශාල වැඩ කොටසක්‌ සිදුවී තිබෙනවා. විශාල ව්‍යාපෘති ආරම්භ කර තිබෙනවා. ඒවායේ සාර්ථක භාවය කෙතරම්ද කියලා මම දන්නේ නැහැ. එම සහන ජනතාව වෙත ළඟා වෙලා තියෙනවාද කියලා ප්‍රශ්නයක්‌ තිබෙනවා. අද තරුණයන් විශාල ලෙස රට හැරලා ඔස්‌ටේ්‍රලියාවට යනවා. නූතන ලෝකයේදී ශ්‍රී ලංකාව චන්ද්‍රිකා තාක්‍ෂණයට අන්තර්ගත වීම ගැන මා සතුටුයි. ඒත් මට ප්‍රශ්නයක්‌ තිබෙනවා ආණ්‌ඩුව මේ ව්‍යාපෘතියට අනුමැතිය දාලා තියෙනවා කියන එක.

නැවත පදිංචි කිරීම් නියෝජ්‍ය ඇමැති විනයාගමූර්ති මුරලිදරන් -


මා කැමතියි සුමන්දිරන් මහතාට පිළිතුරු දෙන්න. ඔහු මන්ත්‍රීවරුන්ට කතා කරන්න දන්නේ නැහැ. ආර්ථික සංවර්ධන ඇමැතිතුමාට යම් දර්ශනයක්‌ තිබෙනවා. මේ රටේ ආර්ථිකය දියුණු කරන්න.

ග්‍රාමීය වශයෙන් කලාපීය සහ ජාතික වශයෙන් අනෙක්‌ අමාත්‍යාංශද හොඳින් කළමනාකරණය කරමින් ඔහු හොඳින් වැඩ කරනවා.

දිවා විවේකයෙන් පසුව ඒ. එච්. එම්. අස්‌වර් මහතාගේ මූලාසනයෙන් යුතුව සභාව යළි රැස්‌විය.

ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන -

රටේ ආර්ථිකය ශක්‌තිමත් කිරීම සඳහා ආර්ථික සංවර්ධන අමාත්‍යංශයට විශාල වගකීමක්‌ පැවරුණා. ආර්ථිකය ශක්‌තිමත් කිරීමේදී පවුල හා පුද්ගලයා නගාසිටුවීම වෙනුවෙන් අපි කටයුතු කරනවා. ගම නැගුම සඳහා 2006 වසරේ සිට මේ දක්‌වා ව්‍යාපෘති ලක්‍ෂ එකහමාරකට ආසන්න ප්‍රමාණයක්‌ වෙනුවෙන් රුපියල් මිලියන හතළිස්‌ තුන්දහස්‌ හාරසිය අසූ එකක්‌ වැය කර තිබෙනවා. ක්‍රිස්‌ ගෲප් එකට ලබාදී ඇති ඉඩම නාගරික සංවර්ධනයට අයත් එකක්‌. මේ වෙනුවෙන් විදේශික ආයෝජකයන් ආයෝජනය කරනවා. රට සංවර්ධනය කර ඇති බව මැතිවරණ ප්‍රතිඵල වලින් පෙනෙනවා. අපි රටට වැඩක්‌ කළේ නැති නම් මේ විදිහට අපිව ජනතාව පත් කරන්නෙ නැහැ. ශ්‍රී ලංකාව සංචාරයට සුදුසු රටක්‌ බවත් ලංකාවේ සංචාරය කරන ලෙසත් විදෙස්‌ රටවල් තමන්ගේ පුරවැසියන්ට යෝජනා කරනවා. ශ්‍රී ලංකාව හොඳම සංචාරක මධ්‍යස්‌ථානයක්‌ ලෙස අවධානයට ලක්‌ වෙලා තිබෙනවා.

කළුතර දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී අජිත් පී. පෙරේරා (එජාප) -

රටේ උත්තරීතර බලය ජනතාව සතුයි. එම බලය ව්‍යවස්‌ථාදායකය විධායකය සහ අධිකරණය යන අංශ වලට විමධ්‍යගත කර තිබෙනවා. ඒක මේ ආණ්‌ඩුව තමන්ගේ බලය තවදුරටත් වැඩි කර ගන්න හැදුවා මිස බෙදා දෙන්න පෙළඹුණේ නැහැ. 13 වැනි සංශෝධනය අහෝසි කරන ලෙස ආණ්‌ඩුවේ සුළු පක්‍ෂ හරහා යෝජනා ගෙන එන්න ක්‍රියා කරන්නේ ඒ අභිමථාර්ථයෙන්. ශ්‍රී ලංකාවෙන් ගුවන්ගත කිරීමට හැදූ චන්ද්‍රිකාවේ චයිනා සැට්‌ 12 නම් නමක්‌ සඳහන් කර තිබෙනවා. මේ චන්ද්‍රිකාව චීනයේද ශ්‍රී ලංකාවේද? ආණ්‌ඩුවට මෙයින් කැළලක්‌ ඇති වෙලා තිබෙනවා.

පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන ඇමැති ජගත් පුෂ්පකුමාර -

දිවිනැගුම වැඩසටහන යටතේ පොල් පැළ ලක්‍ෂ 60 ක්‌ වගා කරන්න හැකි වුණා. එය බිම් ප්‍රමාණයෙන් අක්‌කර අනූහත්දහසක්‌ ඉක්‌මවනවා. අරලියගහ මන්දිරය දැක බලා ගන්න එන පාසල් දරුවන්ගේ අඩුපාඩු සම්පූර්ණ කිරීමට ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය ක්‍රියා කළා.

කුරුණෑගල දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී දයාසිරි ජයසේකර (එජාප) -

ගාමිණී දිසානායක මහතාගෙන් ලද ආභාෂය බැසිල් රාජපක්‍ෂ මහතාගේ වැඩපිළිවෙළ තුළ දක්‌නට ලැබෙනවා. බැසිල් ඇමැතිතුමාට හිමිවිය යුතු තැන මේ කැබිනට්‌ මණ්‌ඩලයේ හිමි වී තිබෙනවා. රටට අවශ්‍ය කරන බිත්තර ප්‍රමාණය අපිට අපේ රටේ නිෂ්පාදනය කර ගන්න හැකි වෙලා නැහැ. බඩ ඉරිඟු, උඳු, මෑ, අර්තාපල්, ලොකු ළුEණු, හැම දෙයක්‌ම මෙටි්‍රක්‌ ටොන් ගණන් ශ්‍රී ලංකාවට ගෙන්වා තිබෙනවා.

කුරහන් සාටකය දාලා කුරහන් පාටින් ඇඳගෙන හිටියට මොකද මේ ආණ්‌ඩුව කුරක්‌කන් පවා ආනයනය කරනවා.

ඇමැති බැසිල් රාජපක්‍ෂ -

රට තුළ නිපදවා ගත හැකි දේ ආනයනය නොකිරීම අපේ බලාපොරොත්තුවයි. එක පාරට ඒ ඉලක්‌කයන්ට යන්න අමාරුයි. ඉදිරියේදී මේ කිසි දෙයක්‌ අපි ආනයනය කරන්නෙ නැහැ.

දයාසිරි ජයසේකර (එ.ජා.ප.) -

ලංකා පුත්‍ර බැංකුවෙන් රුපියල් මිලියන 2200 ක්‌ ව්‍යාපාරිකයන් 13 දෙනකු අතර බෙදා දී තිබෙනවා. සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට ණය දෙන්න තිබෙන ලංකා පුත්‍ර බැංකුව ක්‍රියා කරන්නෙ මෙහෙම නම් අපේ රටේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට දෙයියන්ගෙම පිහිටයි.

දිගාමඩුල්ල දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී එම්. එස්‌. තවුµsක්‌ (එ.ජ.නි.ස.) -

අපේ ප්‍රදේශවල වැව් පුනරුත්ථාපන කටයුතු සිදු වෙනවා. මහාමාර්ග දියුණු වී තිබෙනවා. දරුවන්ට නිසි ලෙස අධ්‍යාපනය ලබන්න පාසල්වල යටිතල පහසුකම් වැඩි කර තිබෙනවා. ත්‍රිකුණාමල දිස්‌ත්‍රික්‌කයේ සෑම ගමක්‌ම විදුලි පහසුකම්වලින් සම්පූර්ණයි.

අනුරාධපුර දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී ශෙහාන් සේමසිංහ (එ.ජ.නි.ස.) -

ජාතික ආර්ථිකය සඳහා ගමේ ගොවි මහතාගේ දායකත්වය සෘජු ලෙස ලබාගැනීමට ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය හරහා හැකිවී තිබෙනවා. නවීන පහසුකම්වලින් සමන්විත මාතෘ සායන අපේ ප්‍රදේශවලට දැන් ලැබී තිබෙනවා.

පත් කළ මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න (එ.ජා.ප.) -

ආර්ථික සංවර්ධනය සහ සුබසාධනය එකක්‌ නොව දෙකක්‌. ආණ්‌ඩුව මේ දෙක පටලවාගෙනයි තිබෙන්නේ. රාජ්‍ය සේවය පුළුල් කිරීමට එහා ගිය රාජ්‍ය හැකියාවන් ඇති කිරීමේ මොඩලයක ආණ්‌ඩුව ගමන් කරමින් සිටිනවා. එය හොඳ තත්ත්වයක්‌ නොවේ. අපි අධිකරණයට ගරු කරන්න ඕන. අධිකරණය අපට ගරු කරන්න ඕන. අධිකරණය වැරදි කළාට අපි අධිකරණයට පයින් ගහන්න ඕනෑ නැහැ. අධිකරණය සහ ව්‍යවස්‌ථාදායකය අතර ගැටුමක්‌ ඇති කිරීම හොඳ දෙයක්‌ නොවේ.

ඇමැති මහින්ද අමරවීර -

අපි අධිකරණයට පයින් ගසලා නැහැ. මේ මන්ත්‍රීතුමාට කියන්න මාතෘකාවට අනුව කතා කරන්න කියලා. අධිකරණයට ගල් ගැසුවේ, පයින් ගැසුවේ එ.ජා.ප. ආණ්‌ඩුවලිනුයි.

ධීවර හා ජලජ සම්පත් නියෝජ්‍ය ඇමැති සුසන්ත පුංචිනිලමේ -


ජනතා පරමාධිපත්‍යයට අනුව කටයුතු කරනවා නම් එක්‌සත් ජාතික පක්‍ෂ නායකත්වයත් වෙනස්‌ විය යුතුයි. කුරුඳුවත්ත චින්තනයෙන් මිදිලා ගැමි සුවඳ හඳුනන, ගැමි චින්තනයට ගරු කරන පක්‍ෂයකට අපිත් ආවා.

ආපදා කළමනාකරණ ඇමැති මහින්ද අමරවීර -

ඇඟලුම් කර්මාන්ත ක්‍ෂේත්‍රයේ විශාල වර්ධනයක්‌ ඇති වෙලා තිබෙනවා. ඒත් ඒවායේ සේවය කිරීමට තරුණ තරුණියන් දැන් හිඟයි. එයට හේතුව රටේ රැකියා වියුක්‌තිය අද අඩුවෙලා තිබීමයි. ආණ්‌ඩුවට විරුද්ධව කතා කිරීම විපක්‍ෂයක වගකීමක්‌. ඒත් විපක්‍ෂය ජනතාවට විරුද්ධවීම හොඳ දෙයක්‌ නොවේ. දිවි නැගුම පනතට විරුද්ධවීම ජනතාවට විරුද්ධවීමක්‌. ලෝකයේ ආයෝජනයට හොඳම රටවල් 96 අතරට ශ්‍රී ලංකාව පත් වී තිබෙනවා. ලංකා පුත්‍ර බැංකුවෙන් එක්‌ අයකුට ණය ලබාදීම මිලියන 37 දක්‌වා සීමා කර තිබෙනවා. කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට එයින් සෙත සැලසේවි.

මඩකලපුව දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී පී. ආරියනේත්‍රම් (ද්‍ර.ජා.ස.) -

දිවි නැගුමට අපි විරුද්ධ වෙන්නේ පළාත් සභාවට ලබාදෙන අවම බලයක්‌ නිශේධනය වන හින්දායි. නැතිව සංවර්ධනයට නොවෙයි.

ගාල්ල දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී මනුෂ නානායක්‌කාර (එ.ජා.ප.) ආණ්‌ඩු පක්‍ෂය -

අද මේ රටේ පුද්ගලයාට දැනෙන සංවර්ධනයක්‌ වෙනකොට, හීනෙන්වත් ආණ්‌ඩු බලයක්‌ ගන්න බැරි බව දන්න නිසායි විපක්‍ෂය මේ විදිහට විවිධ චෝදනා කරන්නේ. දිවි නැගුම ගෙනාවේ ගමේ ආර්ථික මට්‌ටම ඉහළ නංවන්නයි. නැතුව ධනවතා වෙනුවෙන් නොවෙයි දිවි නැගුම ගේන්නේ. අද හැම ගෙයක්‌ම ආර්ථික සංවර්ධන ඒකකයක්‌ බවට පත්වෙලා.

කර්මාන්ත හා වාණිජ ඇමැති රිෂාඩ් බදියුදීන් -

මේ රටේ කොහේ ගියත් අස්‌සක්‌ මුල්ලක්‌ නෑර ආර්ථික අමාත්‍යාංශයේ සංවර්ධන වැඩකටයුත්තක්‌ වෙලා තිබෙනවා. ගමට "එක" වැඩක්‌ යටතේ එක්‌ ගමකට රුපියල් මිලියනයක ව්‍යාපෘතියක්‌ හිමි වුණා.

පත් කළ මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා (එ.ජා.ප.) -

අපි දකිනවා බැසිල් රාජපක්‍ෂ මහතා සිය කාර්යභාරය විස්‌තර කරන්නේ මේ ආර්ථික යුද්ධය ජය ගන්නේ කොහොමද කියලා. මීට පෙර ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය කියලා එකක්‌ තිබුණෙත් නැහැ. ඒ භාග්‍යය බැසිල් ඇමැතිතුමාට ලැබිලා තිබෙනවා.

නියෝජ්‍ය කාරක සභා සභාපති චන්ද්‍රකුමාර් මුරුගේසු මහතා මුලසුනට පැමිණියේය.

රත්නපුර දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී රංජිත් ද සොයිසා (එ.ජ.නි.ස.) -

රටේ ආර්ථික සංවර්ධන ක්‍රමවේදයන් නිවැරදිව අවබෝධ කරගැනීමට විපක්‍ෂයට හැකිවෙලා නැහැ.

රටේ ජනතාවගේ හද ගැස්‌ම හඳුනා ගැනීමට විපක්‍ෂයට නොහැකි වීම කනගාටුවට කරුණක්‌. කිරි වලින් රට ස්‌වයංපෝෂිත කිරීමට අවශ්‍ය ක්‍රමෝපායන් අප සතුයි. 2016 වසරේදී අපි අපේම ඉලක්‌කයන් සපුරා ගන්නවා.

ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති මුත්තුසිවලිංගම් -

උතුර සහ නැගෙනහිර පළාත්වල ගම නැඟුම ව්‍යාපෘතිය හරහා විශාල සංවර්ධනයක්‌ ඇති වුණා. එක්‌සත් ජාතික පක්‍ෂ ආණ්‌ඩුවලින් එම පළාත්වල කිසිදු සංවර්ධන ව්‍යාපෘතියක්‌ ක්‍රියාත්මක කළේ නැහැ. රටේ හැම පළාතක්‌ම සංවර්ධනය වනවා සේ උතුර සහ නැගෙනහිර පළාත්වලටද එම සංවර්ධනයේ මාර්ගය විවෘත වී තිබෙනවා.

විදුලිබල හා බලශක්‌ති නියෝජ්‍ය ඇමැති ප්‍රේමලාල් ජයසේකර -

ආර්ථික සංවර්ධන අමාත්‍යංශය හරහා සුළු කර්මාන්තකරුවන්ට විශේෂ වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක කර තිබෙනවා. සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට ආණ්‌ඩුව සතුව සුවිශේෂී වැඩපිළිවෙළක්‌ තිබෙනවා. ඒ හරහා සංචාරක කර්මාන්තය අද ලබාගෙන තිබෙන ප්‍රගතිය සතුටුදායකයි.

පත්කළ මන්ත්‍රී අචල ජාගොඩ (එජනිස)- ගමේ ජනතාවගේ ජීවන තත්ත්වය අද පෙරට වඩා උසස්‌ වෙලා තිබෙනවා. ග්‍රාමීය ආර්ථිකය දවසින් දවස ළඟාකරගෙන තිබෙන සංවර්ධනය ඉලක්‌කමෙන් මනින්න බැහැ.

කොළඹ දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී සුජීව සේනසිංහ (එජාප) -

2008 වසරේදී සියයට 6.8 ක්‌ව තිබූ රාජ්‍ය ආයෝජන 2010 වසරේදී සියයට 6.2 ක්‌ දක්‌වා පහත වැටී තිබෙනවා. යුද්ධයෙන් පසුව රාජ්‍ය ආයෝජන පහත වැටී තිබෙන්නේ ඇයි? ආණ්‌ඩුව කියන ආකාරයට ආයෝජන සිදුවෙලා නැහැ. ලෝකයේ ණය බර අනුව ශ්‍රී ලංකාව 14 වැනි ස්‌ථානයේ සිටිනවා. ශ්‍රීලනිප ආණ්‌ඩුව යටතේ සෘණ 1.5 ක්‌ව තිබූ ආර්ථික වර්ධන වේගය රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලන කාලයේදී ධන 6.5 ක්‌ දක්‌වා ඉහළට ගෙන ආවා. ඒත් මේ රජය බලාපොරොත්තු වන තරම් සංවර්ධනයක්‌ රටේ සිදුවෙලා නැහැ. වාර්ෂික උක්‌ නිෂ්පාදනයත් සීනි නිෂ්පාදනයත් පහත වැටී තිබෙනවා. සීනි නිෂ්පාදනය සඳහා වාර්ෂික ප්‍රතිපත්තියක්‌ සකස්‌ කළ යුතුයි.

නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්‌කොඩි මහතා මුලසුනට පැමිණියේය.

සුජීව සේනසිංහ (එ.ජා.ප.) -

ආසියාවේ ආශ්චර්යය කරා යන ගමනේ ආණ්‌ඩුව දැනට ඉටු කර ගෙන තිබෙන අරමුණු මොනවාද? ඒකපුද්ගල ණය ප්‍රමාණය රුපියල් දෙලක්‍ෂ පනස්‌දහස දක්‌වා ඉහළ නැග තිබෙනවා. තේ, පොල්, රබර්, ගොවිතැන යන අංශවලින් දළ දේශීය නිෂ්පාදිතයට ලබාදෙන දායකත්වය එන්න එන්නම අඩුවී තිබෙනවා. එක්‌සත් ජාතික පක්‍ෂ ආණ්‌ඩු කාලයේ රේසිං කාර් සඳහා බදු නිදහසක්‌ ලබාදුන්නා නම් අචල ජාගොඩ මහත්තයලා අද රටේ විප්ලව කරාවි. ඒත් අද මේ අය කිසි සද්දයක්‌ නැහැ. ලෝකයේ ආර්ථික අවපාතයක්‌ ඇති වුණත් ආසියාවේ එවැනි තත්ත්වයක්‌ දකින්නට නැහැ. යුද්ධය අවසන් වෙලා හෝ ශ්‍රී ලංකාව එම සංවර්ධනයට ළඟා නොවීම ගැන කනගාටුයි.

ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්‍ෂ -

අපේ අමාත්‍යංශයට අයිති නැති දේවල් ගැන විපක්‍ෂය බොහෝ සේ කතා කළා. එය මෙම විවාදයේදී රජයට සිදුවුණ අසාධාරණයක්‌. ණය හා දළ දේශීය නිෂ්පාදිතයේ අනුපාතය ක්‍රමානුකූලව අපි අඩු කරගෙන තිබෙනවා. අපි ලබාගෙන තිබෙන ණයවලින් වසරකින් ගෙවිය යුතු වාණිජ ණයවලට අයත් වන්නේ සියයට 10 ක්‌ පමණයි. අනෙක්‌ ණය දිගුකාලීන ණය පදනම යටතේ සංවර්ධන ඉලක්‌කයන් අරමුණු කරගෙන ගත් ණයයි. තුන්වේලම බත් කන ජනතාවක්‌ රටේ ඇති කිරීම අපේ අරමුණක්‌. ප්‍රදේශ භේදයක්‌, ජාති භේදයක්‌, පක්‍ෂ භේදයක්‌ අපිට නැහැ. ජනතාව වරක්‌ දෙවරක්‌ නොව කිහිප වරක්‌ අනුමත කළ මහින්ද චින්තනය නම් දේශීය ආර්ථික වැඩපිළිවෙළ අපි ඉදිරියටත් ක්‍රියාත්මක කරනවා.

වැය ශීර්ෂ සංශෝධන රහිතව සම්මත විය.

පාර්ලිමේන්තුව අද (26 වැනිදා) පෙ.ව. 9.30 ට යළි රැස්‌වේ.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.