ටී. 56 අවියක්‌ සමඟ පුද්ගලයෝ දෙදෙනෙක්‌ අත්අඩංගුවට

වෙන්නප්පුව - ස්‌ටැන්ලි පතිරාජ

කොල්ලකෑම් රැසකට සැරසී කොළඹ දෙස සිට වෙන්නප්පුවට පැමිණි පුද්ගලයන් දෙදෙනකු ටී. 56 ගිනි අවියක්‌, රම්බෝ වර්ගයේ පිහියක්‌ සහ ඔවුන් පැමිණි ත්‍රීවිල් රථය ද අත්අඩංගුවට ගැනීමට 22 දා රාත්‍රියේ වෙන්නප්පුව ආදම්හංදියේදී වෙන්නප්පුව පොලිසිය සමත් විය.

මෙම ත්‍රීවීල් රථයේ තවත් මංකොල්ලකරුවෙක්‌ පැමිණ ඇති අතර පොලිසිය රථය නතර කරනවාත් සමඟම හෙතෙම පලාගොස්‌ ඇත. මෙම කොල්ලකරුවන් දෙදෙනා රාජාංගනය ප්‍රදේශයේ සහ සීදුව ප්‍රදේශයේ පදිංචිකරුවන් වන බවත් එක්‌ අයකු වසර 12 ක සිර දඬුවමක්‌ විඳිමින් සිටියදී තඹුත්තේගම ප්‍රදේශයේදී බන්ධනාගාර නිලධාරීන්ගේ ග්‍රහණයෙන් පලාගොස්‌ ඇති බවත් මෙතෙක්‌ කරන ලද පරීක්‍ෂණවලින් හෙළිවී ඇත.

මෙම සැකකරුවන් දිවයිනේ මිනීමැරුම්, ස්‌ත්‍රී දූෂණ සහ කොල්ලකෑම් රැසකට සම්බන්ධ බවද අනාවරණය කරගෙන ඇත. පැනගිය සැකකරු ඇල්ලීමට වෙන්නප්පුව පොලිසිය විශේෂ වැඩපිළිවෙළක්‌ දියත් කර ඇත. වෙන්නප්පුව සහකාර පොලිස්‌ අධිකාරිවරයාගේ සහ වෙන්නප්පුව මූලස්‌ථාන ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක අශෝක මහින්ද වීරක්‌කොඩි යන අයගේ උපදෙස්‌ මත අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක ගුණසේන, පො. සැ. 23311 දිසානායක, 4256 වික්‍රමරත්න, පොලිස්‌ කොස්‌තාපල්වරුන් වන 85242 බණ්‌ඩාර, 48010 ජයන්ත, 17209 නිශාන්ත, 85186 පුෂ්පකුමාර, 86715 ඇතුළු නිලධාරීහු වැඩිදුර පරීක්‍ෂණ පවත්වති.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.