වසර 19ක්‌ පැරණි වාර්තාවක් ටේලර් සහ විලියම්සන් අතට

අසේල විතාන

නව වසරකට පසුව සරා ඕවල් ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාව හමුවේ යළිත් නැගී සිටි නවසීලන්ත කණ්‌ඩායම දෙරට අතර පැවැත්වෙන දෙවැනි ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ තරගයේ පළමු දිනට (25 දා) තරගය නවතා දමන විට කඩුලු 2 ට ලකුණු 223 ක්‌ ලබා සාර්ථක ප්‍රවේශයක්‌ ලබා ගැනීමට සමත්ව සිටියේය.

නවසීලන්ත ඉනිමට නැංගුරම් දැමූ නායක රෝස්‌ ටේලර් සහ කේන් විලියම්සන් ශ්‍රී ලංකා පන්දු යවන්නන් වෙහෙසට පත්කරමින් සරා ක්‍රීඩාංගණයේ වසර 19 ක්‌ පැරණි තෙවැනි කඩුල්ලේ වාර්තාව තමන් සතුකර ගැනීමට සමත් විය. 1993 දී ඉන්දියාවේ සචින් ටෙන්ඩුල්කාර් සහ විනෝද් කම්බ්ලි සරා ක්‍රීඩාංගණයේදී තෙවැනි කඩුල්ල සඳහා පිහිටුවා තිබු ලකුණු 162 ක වාර්තාව බිඳ දැමූ ටේලර් සහ විලියම්සන් අතර නොබිඳුණු වාර්තාව ලකුණු 209 ක්‌ ලෙස සටහන් වේ.

ශ්‍රී ලංකාවට එරෙහිව සිය මංගල ටෙස්‌ට්‌ ශතකය ලැබූ රෝස්‌ ටේලර් තම සගයා වූ කේන් විලියම්සන් සමගින් පන්දු 462 ක්‌ වැය කරමින් ලකුණු 209 ක සබඳතාවක්‌ නවසීලන්ත ලකුණු පුවරුවට දායාද කිරීමෙන් අනතුරුව ප.ව 4.20 ට ඇද හැළුණු වර්ෂාව හේතුවෙන් තරගයේ පළමු දිනය පන්දුවාර 80.5 කට සීමා විය. සිය 8 වැනි ටෙස්‌ට්‌ ශතකය උදුරාගත් රෝස්‌ ටේලර් පන්දු 241 ක්‌ වැය කරන අතරවාරයේ හතරේ පහර 10 ක්‌ සමග ලකුණු 119 ක්‌ද විලියම්සන් පන්දු 229 ක්‌ වැය කරන අතරවාරයේ හතරේ පහර 8 ක්‌ සමග ලකුණු 95 ක්‌ ලබා කඩුල්ලේ රැඳී සිටියි. රෝස්‌ ටේලර් ලකුණු 14 ක්‌ ලබා සිටියදී ෂමින්ද එරංගගේ පන්දුවකට එල්ල කළ ඩ්‍රයිව් පහර තෙවැනි ස්‌ලිප් හි සිටි ඇන්ජලෝ මැතිව්ස්‌ගේ හිසට ඉහළින් ඇදී ගියද එය මැතිව්ස්‌ගේ අතේ වැදී ලකුණු හතරක්‌ බවට පත්විය.

අවසන් වරට නවසීලන්ත කණ්‌ඩායම 2003 වසරේදී සරා ක්‍රීඩාංගණයේදී සහභාගි වූ ටෙස්‌ට්‌ තරගයේදී පළමු ඉනිමේදී කඩුqලු 7 ට ලකුණු 515 ක්‌ ලබා ගනිමින් සර්ථක ප්‍රවේශයක්‌ ලබාගැනීමට සමත් වූ අතර එම තරගය යළි සිහි කරවන්නක්‌ බවට ඊයේ නවසීලන්ත ඉනිම දිස්‌විය. තීරණයක්‌ රහිතව අවසන් වූ එම තරගයේ ශ්‍රී ලංකාව පළමු ඉනිම සඳහා ලකුණු 483 ක්‌ ලබා ගත්තේය.

කාසියේ වාසිය සමග පළමුව පිති ප්‍රහාරය දියත් කළ නවසීලන්ත කණ්‌ඩායමේ ආරම්භක පිතිකරු යුගල ලකුණු 14 ක්‌ව තිබියදී ක්‍රීඩාගාරයේ අසුන්ගැන්වීමට කුලසේකර සහ ෂමින්ද සමත් විය. නුවන් කුලසේකර යවන ලද පළමු පන්දුවාරයේ හය වැනි පන්දුවේදීම මාර්ටින් ගප්ටිල් එල්ල කළ ඩ්‍රයිව් පහර පිත්තේ කොනක වැදී තෙවැනි ස්‌ලිප් හි සිටි මැතිව්ස්‌ රැක ගැනීමත් සමග නවසීලන්ත ඉනිම කඩා වැටීම ආරම්භ විය.

ආරම්භක සගයා දැවී යැමෙන් අනතුරුව මුහුණ දුන් 10 වැනි පන්දුවේදී බ්‍රෙන්ඩන් මැකලම්ගේ ඉනිමට තිත තැබීමට ෂමින්ද එරංග සමත් වන විට නවසීලන්ත ලකුණු පුවරුවට එකතු වී තිබුණේ ලකුණු 14 ක්‌ පමණි. ෂමින්දගේ පන්දුව මැකලම්ගේ පා ආවරණයේ වැදුණද එය පිත්තේ යාන්තම් ගෑවී ආ පන්දුවක්‌ ලෙස අගවමින් ගප්ටිල් ප්‍රධාන විනිසුරු මිස්‌ එරසමුස්‌ දෙස බලමින් ක්‍රීඩාගාරය වෙත පිය නැගීය.

ඊයේ තරගය ආරම්භ වී පළමු පැයක පමණ කාලයේදී වේග පන්දු යවන්නන්ට පන්දුව දෝලනය කිරීමට සරා තණතීරුවේ සහයක්‌ ලැබුණද අනතුරුව පිතිකරුවන්ට යෝග්‍ය ලෙස තණතීරුව හැසිරීම ටේලර් සහ විලියම්සන් සබඳතාවට අමතර වාසියක්‌ බඳු විය.

නවසීලන්තය වෙනුවෙන් ටෙස්‌ට්‌ වරම් ලැබීමට ටොඩ් ඇස්‌ට්‌ල් ඊයේ සමත් වූ අතර ශ්‍රී ලංකා කණ්‌ඩායම වෙනුවෙන් ගාලු තරගයේ ටෙස්‌ට්‌ වරම් ලැබූ දිමුත් කරුණාරත්න වෙනුවට නිත්‍ය ආරම්භක පිතිකරු තිලකරත්න ඩිල්ෂාන් නැවතත් කණ්‌ඩායම කැඳවා තිබිණි. තරගයේ 2 වැනි දින අද පෙ.ව 9.45 ට ආරම්භ වීමට නියමිතය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.