අතුරුදන්ව සිටි මාතර වෛද්‍යවරිය
අනුරපුර විශ්‍රාම ශාලාවකින් හමුවේ
පියාට බෝධි පූජාවක්‌ තැබීමට
ශ්‍රී මහා බෝධියට ගියාලු

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, නෝමන් පලිහවඩන,
පර්සි කුරුනේරු - අනුරාධපුර,
ලලිත් චාමින්ද සහ එස්‌. කේ. කළුආරච්චි - ගාල්ල

රටේ මහත් ආන්දෝලනයක්‌ ඇති කරමින් අතුරුදන්ව සිටි මාතර මහ රෝහලේ නිර්වින්දන වෛද්‍යවරියක වන එරන්දි කුලසිංහ මහත්මිය ඊයේ (26 වැනිදා) උදෑසන අනුරාධපුර රත්නමාලි විශ්‍රාම ශාලාවේ නවාතැන්ගෙන සිටියදී සොයාගත් බව අනුරාධපුර මූලස්‌ථාන පොලිසිය පවසයි.

ඊයේ ජාතික පුවත්පත්වල අතුරුදන් වූ වෛද්‍යවරියගේ ඡායාරූපය සහිතව විස්‌තර පළ වී තිබිණි. අනුරාධපුර රත්නමාලි විශ්‍රාම ශාලාවේ නවාතැන් ගෙන සිටි පුද්ගලයකු විසින් පුවත්පතක දුටු වෛද්‍යවරියගේ රූපයට සමාන කෙනකු විශ්‍රාම ශාලාවේ සිටිනු දැක ඒ පිළිබඳව අනුරාධපුර පොලිසියට දැනුම් දීමෙන් පසු වෛද්‍යවරිය සොයාගත් බව ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරියෙක්‌ "දිවයින" ට පැවසීය.

අනුරාධපුර කොට්‌ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි මහේෂ් සේනාරත්න මහතාගේ උපදෙස්‌ මත විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ විසින් වෛද්‍යවරිය සොයාගෙන තිබේ. ඇගේ මෝටර් රථය ද විශ්‍රාම ශාලා පරිශ්‍රය තුළ තිබී සොයාගෙන ඇත.

පොලිසිය වෛද්‍යවරියගෙන් ප්‍රශ්න කිරීමේදී පවසා ඇත්තේ තම පියා අසනීපයෙන් පසුවන බැවින් ඔහුට සුවය පතා බෝධි පූජාවක්‌ තබන්නට අනුරාධපුරයට පැමිණි බවයි. අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධියේදී එම බෝධි පූජාව පැවැත්වූ බව ද ඇය පොලිසියට ප්‍රකාශ කර තිබේ.

තමන් පසුගිය සිකුරාදා (23 දා) සවස රෝහලේ රාජකාරි නිමවා නිවෙස බලා පැමිණෙමින් සිටියදී රෝගී පියාට සුවය පතා අනුරාධපුර ශ්‍රී මහා බෝධියේ බෝධි පූජාවක්‌ පැවැත්වීමට එක්‌වරම අදහසක්‌ සිතට ආ බව ඇය පොලිසියට පවසා තිබේ. තමා පැහැරගෙන නොගිය බව ද වැඩිදුරටත් වෛද්‍යවරිය කියා තිබේ.

මේ අතර එම වෛද්‍යවරියගේ මාතර පිහිටි නිවස පෙරේදා (25 දා) මාතර පොලිසිය විසින් පරීක්‍ෂාවට ලක්‌කර තිබූ අතර එහි තිබී ඇය විසින් ලියන ලද ලිපි කීපයක්‌ ද සොයාගත් බව මාතර කොට්‌ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි. මෙම වෛද්‍යවරිය මනෝ වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කිරීමට ද ඊයේ පොලිසිය විසින් කටයුතු යොදා තිබිණි.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.