වසර දහස්‌ ගණනකට පෙර ලංකාවේ ක්‍රියාත්මක
බැංකු ක්‍රම පිළිබ`දව කියෑවෙන තෝනිගල සෙල්ලිපිය


බැරගම සද්ධානන්ද හිමි
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව,
කලාප කර්යාලය, කසාගල


හැඳින්වීම :-

ලෝකයේ සෙසු රටවල් සමග සසඳන කල ශ්‍රී ලංකාව ප්‍රාග් ඓතිහාසික සාධක සහිත ඉතිහාසයක්‌ මෙන්ම සුවිශේෂී වූ ලිත ඉතිහාසයක්‌ උරුම කොටගෙන ඇති රටකි. විශේෂයෙන්ම එහි දී ඓතිහාසික යුගය පෝෂණය කිරීම සඳහා සාහිත්‍ය මූලාශ්‍රවලින් හා සෙල්ලිපිවලින් ලැබී ඇති පිටුබලය අතිමහත්ය. දිවයිනේ නන්දෙසින් සොයාගෙන ඇති මෙබ`දු වූ දහස්‌ ගණනක්‌ වූ සෙල්ලිපි අතරින් ලංකාවේ පැරණි බැංකු ගැන කියෑවෙන තෝනිගල සෙල්ලිපියට හිමිවන්නේ සුවිශේෂ ස්‌ථානයකි.

වව්නියාවේ සිට හොරොව්පොතානට පිවිසෙන මාර්ගයේ 6 වන සැතපුම් කණුවට මඳක්‌ නුදුරින් උතුරු දිශාවට වන්නට උතුර - උතුරු මැද දෙපළාත වෙන් කරන සීමාවෙහි තිලක්‌කුලම නම් පෙදෙසේ පිහිටි ගල් තලාවක්‌ මත තෝනිගල සෙල්ලිපිය සටහන්ව ඇත. එසේම 'නාගරගල' යන නමින්ද මෙම ස්‌ථානය ගම් වැසියෝ හඳුන්වනු ලබති. සෙල්ලිපිය පිහිටි පර්වතය හාත්පස බෙහෙවින් විනාශයට පත්ව ඇති විවිධ ආරාමික වාස්‌තු විද්‍යාත්මක අවශේෂයන් බොහොමයක්‌ දැක ගත හැකි ය. මෙම නටබුන්වලට ආසන්නව ගල්තලාවේ වෙන් වෙන්ව සටහන් කළ සෙල්ලිපි තුනක්‌ දැකගත හැකි ය. මින් එකක්‌ අපගේ මාතෘකාවට අදාළ සෙල්ලිපිය වන අතර අනෙක එම සෙල්ලිපියේම තවත් පිටපතක කොටසකි. ඇතැම්විට ප්‍රථමයෙන් ලියන්නට පටන් ගන්නට ඇත්තේ දෙවැනියට කී සෙල්ලිපිය විය හැකි ය. එය කෙටීමේ දී සිදු වූ කිසියම් දෝෂයක්‌ නිසාවෙන් ලිපිය බාගෙට කොටා නවතා දමා නව ලිපිය සම්පූර්ණ වශයෙන් සටහන් කළා වීමට පිළිවන. අනෙක්‌ තුන්වන ලිපිය තෝනිගල ප්‍රධාන ලිපියට සියවස්‌ කිහිපයකට පෙර ලියන ලද තනි අක්‍ෂර පෙළකින් යුතු ලිපියකි. කෙසේ නමුත් මෙම ලිපිය මෙතෙක්‌ පලකළ බවට සාධක නැත. පරණවිතාන මහතා පවා දැක ඇත්තේ මුලින් සඳහන් කළ ලිපි දෙක පමණි. (paranavithana1933:197)ග නමුත් මෙහි දී අපගේ අවධානය යෙමුවන්නේ අක්‍ෂර පේළි 17 කින් යුතු ප්‍රධාන ලිපිය පිළිබ`දව ය. මෙහි මුල් අක්‍ෂර පේළි හතර අඩි 9 - ක්‌ දිගින් ද පහේ සිට දහසය දක්‌වා ඇති පේළි අඩි 8 ක්‌ හා අවසාන පේළිය අඩි 2 ක්‌ දිගින් යුක්‌ත ය. අඩි 10 ක පමණ ප්‍රදේශයේ පැතිරුණු ලිපියෙහි එක්‌ අක්‍ෂරයක සාමාන්‍ය ප්‍රමාණය වන්නේ අ`ගල් 3 ක්‌ පමණ ය.

මෙම ලිපිය පිළිබ`දව පූර්ණ අධ්‍යයනයක්‌ පළමු වතාවට සිදුකර ඇත්තේ සෙනරත් පරණවිතාන මහතා විසිනි. (paranavithana1933:172`188). ඒ මහතා සඳහන් කරන පරිදි මෙම ලිපිය පිළිබ`දව පළමුවෙන් 1886 දී හෙන්රි පාකර් මහතා වාර්තා කොට ඇති බවත්, එසේම 1892 දී එවකට සහකාර පුරාවිද්‍යා කොමසාරිස්‌වරයා ලෙස කටයුතු කළ ඩී.එම්.එස්‌. වික්‍රමසිංහ මහතා මෙහි තිබූ ලිපි පිටපත් කර එම වර්ෂයේ ම පාලන වාර්තාවේ ශිලා ලිපි ලැයිස්‌තුවේ අංක 34, 35 යටතේ වාර්තා කර ඇති බවත්, එච්.සී.පී. බෙල් මහතාගේ අධීක්‍ෂණයෙන් යුතුව මෙම ලිපියේ නේත්‍ර පිට පතක්‌ සකසන ලදු ව එය තවමත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වාර්තා අතර තිබුණ ද මෙම ලිපිය කිසිවකුත් විසින් සාර්ථකව කියවා ඉදිරිපත් නොකළ බව ද වාර්තා කර ඇත. (paranavithana1933:19`72).

අන්තර්ගතය :-

දේව නැමැත්තකු විසින් 'යහිස පර්වත විහාරයෙ'හි වැඩවසමින් අරියවංශ පූජාව පවත්වන භික්‍ෂූන්ගේ ප්‍රත්‍ය පහසුකම් සැලසීම ස`දහා 'කළහුමනක' නම් වෙළ`ද මධ්‍යස්‌ථානයෙහි වී, උඳු, මුං ආදිය තැන්පත් කොට එහි පොළිය සංඝයා ට ලැබෙන සේ සම්පාදනය කොට තිබීම මෙහි ප්‍රමුඛතම ස`දහනයි. ඊට අමතරව ලංකාවේ භාවිත පැරණි බැංකු ක්‍රම, කෘෂිකාර්මික කටයුතු, මිණුම් ක්‍රම මෙන්ම තත්කාලීන ආගමික, ආර්ථීක හා සාමාජික තත්ත්වය පිළිබ`දව කරුණු අන්තර්ගතව පවතී.

පෙළ :-

01 සි ()) පුවිය මහසෙන මහරජ පුත සිරිමෙකවණ අබමහරජහ වත ලෙගි

02 නක තිනවනක වසහි ()) නකරහි උතරපසහි කළ හුමනක නියම තනහි සිය අරි

03 කිණියෙහි නිකත කඩු බලගමකෙහි වසනක අමෙති පහෙජ සිවය

04 හ පුත දෙවයහ යහිස පවය නවවහෙරකෙහි දින අරිය ච

05 ස වට වී දෙහකඩ දස අමණක වී ඉච ස අමණක

06 උදිඉව බයලි දස අමණක ඉව ()) මෙදෙහකඩ දස අ-

07 මණක වී පිටදඩහසහි වෙඪ අකලහසහි වෙඪ මරි

08 දෙහසහි වෙඪ පචවිසිය අමණක වී ඉච මෙස අමණක උදිහි

09 වෙඪ එක අමණ දෙපෙකඩක උදිඉව දසඅමණක බයලිහි වෙඪ අ

10 දෙපෙකඩක බයලි ඉව ()) මෙවනක වනහි ගහෙ කිණිය විටවය වෙ

11 ඪගෙණ තිණඩහකට දනවටඉව අතරකජක වටඉව අතරකජ

12 (පරි) කර යපෙනි ඉච දී මියවට පෙණිතිල ඉච බුත තෙල ඉච ලොණ ඉච

13 පලහවට ඉච වෙටලය ඉච වහෙරරි ගසරරිපරි පචනහි

14 මිලිය පදිය ඉව ()) මෙව (නක) වෙඪ වනක ගෙණ වනය ච(න)ය

15 අතොවසභි නිකමණිය චදපුණමස දොළසපක දිවස

16 (අ) රියවස කරන මහබිකු සගහට නියතකොටු යහිසපව(තන)

17 ව වහෙරක හි දින



අර්ථය :-

මංගලයක්‌ වේවා. පෘතුවීශ්වර (පෙර සිටි) මහසෙන මහ රජුගේ පුත්‍ර වූ සිරි මේඝවණ්‌ණ අභය මහරජතුමා සේසත් එස වූ තුන්වැනි වර්ෂයේ දී නගරයෙ හි උතුරු දිශාවේ 'කලහුමනක' නම් වෙළ`ද සභාවේ (බැංකුවේ) තමා විසින් පරිත්‍යාග කරන ලද වස්‌තුව අඩුවීමක්‌ හෝ හීනවීමක්‌ නොවන ලෙස කඩුබලගම වාසය කරන අමාත්‍යය පර්ෂදයේ සිවගේ පුත්‍රයා වන දේව විසින් යහිස පර්වතයෙහි අභිනව විහාරයට දෙන ලද අරියවංශ වෘත්තිය පැවැත්වීම ස`දහා වී සකට (කරත්ත) දෙකක්‌ හා දස අමුණක වී ද අමුණු හයක උඳු ද මුං ඇට අමුණු දහයක්‌ ද දෙන ලදි. මෙම දස අමුණක වී වල මහකන්නයේ පොළිය ද යළකන්නයේ පොළිය ද මැදකන්නයේ පොළිය ද වශයෙන් අමුණු විසිපහක වී ද උඳු හය අමුණක පොළිය ද උඳු එක අමුණු පෙකඩ දෙකක්‌ ද මුං දස අමුණක පොළිය අමුණු දෙකයි පෙකඩ දෙකක්‌ද වේ. මේ ඉහත කී තැන්පතුවේ මූල ධනය වෙනස්‌ නොකොට පොළිය ගෙන බත් සඳහා ද අතුරුපස කෑමට ගන්නා ආහාර මී කිරි, මී පැණි, කැවිලි, තල, දුන් තෙල්, ලුණු, පළා වර්ග සහ කහ ස`දහා ද විහාරස්‌ථානයේ භෝජන ශාලාවේ ආහාර පිසින කටයුතු ගෙවීම ස`දහා ද දිය යුතුය. මෙකීතාක්‌ වස්‌තුව එහි පොළියෙන් ගෙන පැමිණෙන පැමිණෙන වස්‌කාලයක්‌ තුළ නිකිණි මස ශුක්‌ල පක්‍ෂයෙහි දොළොස්‌ වන දිනයෙ හි අරියවංශ ප්‍රතිපදාව කරන මහා භික්‍ෂු සංඝයාට නියම කොට යහිස පර්වතයෙහි අභිනව විහාරයට දෙන ලදි.

විමර්ශනය:-

ක්‍රි:ව: සිව්වන සියවසේ ලක්‌දිව පැවති සමාජ තොරතුරු අධ්‍යයනය කිරීම ස`දහා බෙහෙවින් ඉවහල් වන මෙම ලේඛනයෙන් පහත කරුණු අනාවරණය කරගත හැකිය.

Ö දේශපාලනික තොරතුරු

Ö ආර්ථික තොරතුරු

Ö ආගමික තොරතුරු

Ö සාමාජික තොරතුරු

දේශපාලනික තොරතුරු:-

දේශපාලනික වශයෙන් තොරතුරු අධ්‍යයනය කිරීමේ දී ලංකා ඉතිහාසයේ වාර්තා වී ඇති ප්‍රබල රාජ්‍ය පාලකයන් දෙදෙනකු පිළිබ`දව මෙහි ස`දහන් ය. ඔවුන් නම් මහසෙන් මහ රජු සහ කිත්සිරි මේඝ යන පාලකයන්ය. පිය පුතු සබ`දතාවක්‌ ඇති මෙම රජවරුන් දෙදෙනා පිළිබ`දව සෙල්ලිපියේ සඳහන් කොට ඇත්තේ

'' පුවිය මහසෙන මහරජ පුත සිරිමෙකවණ අබමහරජහ'' යනුවෙනි.

පුවිය මහසෙන මහරජ:-

මෙම සෙල්ලිපිය පිහිටවනු ලබන්නේ කිත්සිරිමේඝ රාජ්‍ය සමයේ වුව ද එම රජු ගේ පියා වූ මහසෙන් (ක්‍රි:ව. 274-301) රජු පිළිබ`දව ස`දහන් කරනුයේ කිත්සිරි මෙවන් රජුට ඇති රාජ්‍ය උරුමය පිළිබ`දව දැක්‌වීමට මෙන්ම ජනතා ප්‍රසාදය ඇතිකර ගැනීමට විය යුතු ය. මහා වංශයට අනුව මහසෙන් රජු, ගෝඨාභය (ක්‍රි:ව.249-262) රජු ගේ පුත්‍රයෙකි. මහසෙන් රජතුමා මහා විහාරය සම`ග උරණව එම විහාරයට දැඩි හානි සිදු කළ බව මහාවංශයේ ස`දහන් ය. (මහාවංශය: 37.178). මෙම ලිපියේ 'මහසෙන මහරජ' යන සංඥා නාමයට ඉදිරියෙන් ඇති 'පුවිය' යන පදයෙන් පෘතුවීශ්වර හෝ පෙර සිටී යන අදහස අර්ථවත් කරන බව උගතුන්ගේ මතය යි. (අමරවංශ හිමි 1969(140).

සිරිමෙකවණ අබමහරජහ:-

සෙල්ලිපියේ ස`දහන් තොරතුරුවලට අනුව ලිපියට අදාළ කාල පරිච්ඡේදය තුළ පාලකයා වන්නේ කිත්සිරි මෙවන් මහරජ තුමාය. (ක්‍රී:ව.301-328) මහාවංශයට අනුව තම පියාගෙන් පසු රාජ්‍යත්වයට පත්වන ඔහුගේ රාජ්‍ය කාලය ප්‍රධාන වශයෙන් කැප කරන ලද්දේ සංඝමිත්ත භික්‍ෂුව ගේ සහ සෝණ අමාත්‍යයාගේ කූට උපදේශ අනුව මහා විහාරයත් ඊට අයත් ආයතනයනුත් විනාශ කළ තම පියාණන් ගේ හෙවත් මහසෙන් රජුගෙන් සාසනයට සිදු වූ ව්‍යසනයන් සමනය කිරීමට බව පෙනීයයි. එසේම සිරි මේඝවණ්‌ණ රජ තෙමේ තම සමකාලීනයෙකු වූ සමුද්‍රගුප්ත නැමැති ශේ්‍රෂ්ඨ ඉන්දියානු අධිරාජ්‍යයා සමග මිත්‍ර සම්බන්ධතා පැවැත්වූ බව ස`දහන් වේ. මේ පිළිබ`දව සමුද්‍රගුප්ත රජතුමාගේ 'අලහබාද්'ටැම් ලිපියෙහි මෙන්ම 'වංහුවේන් සුවේ' විසින් ලියන ලද ''හිංචෝවන්'' නැමති චීන ග්‍රන්ථයෙහි ද සදහන් වේ. සිරි මේඝවණ්‌ණ රජුගේ රාජ්‍ය සමය ඉතා හොඳින් සිහිපත් කරවන සිද්ධිය නම් පසු කාලීන සිංහල රජවරුන්ගේ ඉෂ්ට දේවතාවා බවට පැමිණි දන්ත ධාතුන්වහන්සේ මෙහි වැඩම කරවනු ලැබීමය. මේ රජුගේ නවවැනි රාජ්‍ය වර්ෂයේ දී කාලිංග රජුගේ දූ කුමරිය බැමිණි වෙසින් දන්තධාතුව මෙහි වැඩම වූ බවත් එය එබ`දු පූජනීය වස්‌තුවලට සුදුසු ගෞරවයෙන් යුක්‌තව පිළිගන්නා ලද බවත් ස`දහන් වේ. (ජයවර්ධන 1964:279).

අමෙති පහෙජ සිවය හ පුත දෙවයහ:-

මෙහි සිවගේ පුත්‍ර දේව නැමැත්තෙකු ගැන කියෑවෙයි. ඇත්ත වශයෙන්ම මෙම සෙල්ලිපියේ කතුවරයා වන්නේ දේව නැමැත්තාය. ඔහු විසින් කරන ලද පරිත්‍යාග සම්බන්ධ තොරතුරු මෙම ලිපියේ ස`දහන් ය. ඉහත සඳහනට අනුව ඉතා පැහැදිලි ලෙස පෙනෙන්නේ සිවගේ පුත්‍රයා දේව වන බවයි. මෙම සිව නැමැත්තා අමාත්‍ය මණ්‌ඩලයට අයත් අයෙකු බව 'අමෙති පහෙජ' යන යෙදුමෙන් පැහැදිලිවේ. පරණවිතාන මහතා සඳහන් කරන පරිදි පහෙජ යන වචනය සංස්‌කෘත 'පර්ෂද' හා පාලි 'පාරිසඡ්ජ' යන වචනයෙන් සිංහලයට පහෙජ යනුවෙන් එන්නට ඇති බව ය. (paranavitana.1933`182)

ආර්ථික තොරතුරු:-

මෙම ශිලාලේඛනයෙන් ක්‍රි:ව. සිව්වන සියවස වන විට ලංකාවේ ක්‍රීයාත්මක වෙමින් පැවැති ආර්ථික කටයුතු පිළිබඳ අගනා තොරතුරු විශාල ප්‍රමාණයක්‌ අනාවරණය කරගැනීමේ හැකියාව පවතී. තත්කාලීන සමාජයේ ප්‍රධාන ආර්ථික ක්‍රම දෙකක්‌ ක්‍රීයාත්මකව තිබූ බව පෙනීය යි.

01 කෘෂි ආර්ථිකය.

02 වෙළඳ ආර්ථීකය.

කෘෂි ආර්ථීකය :-

ක්‍රී:ව. සිව්වන සියවස වන විට වංශකථා සාධකවලට අනුව මෙන්ම සෙල්ලිපි සාධකවලට අනුව ද ලංකාවේ දියුණු කෘෂිකාර්මික ජීවන රටාවක්‌ පැවැති බව පෙනීයයි. එහෙත් කෘෂිකර්මාන්තය පිළිබ`දව වංශකථාවල ස`දහන් නොවන අතුරු තොරතුරු විශාල ප්‍රමාණයක්‌ මෙම ලිපියෙන් අනාවරණය කරගත හැකි වේ. විශේෂයෙන් වාපි ජල කර්මාන්ත රටාවක්‌ ක්‍රීයාත්මක වූ රජරට කලාපයේ කන්න තුනක්‌ වගා කළ බව මෙම ලිපියෙන් පැහැදිළිව වේ. පරණවිතාන මහතා හ`දුන්වා දෙන පරිදි ''පිටදඩහස, අකලහස හා මදෙහස්‌' යනුවෙන් සෙල්ලිපියේ ස`දහන් වන්නේ මහ කන්නය , යලකන්නය හා මැද කන්නය පිළිබ`දව යි. මේ අනුව වැව් ජලයෙන් වසරකට කුඹුරු අස්‌වැන්න තුන්වරක්‌ ගත් බව පැහැදිළි වේ. (paranavitana1933`185) මෙයින් පැහැදිළි වන්නේ මෙම සෙල්ලිපිය පිහිටුවන සමය වන විට උතුරු නැගෙනහිර පළාතේ සංවිධානාත්මක වැව් පද්ධතියක්‌ මෙන් ම ඒවායෙන් ජලය බෙදා හරින වාරි පද්ධතියක්‌ ද ක්‍රමානුකූලව ක්‍රියාත්මකව පැවති බවයි. විශේෂයෙන් ම මෙහි දී තම පියා වන මහසෙන් රජතුමාගේ වාරි තාක්‍ෂණික ක්‍රියාවලියේ සාර්ථකත්ත්වය සමග එහි ප්‍රතිඵල මෙම යුගයේ දී කෘෂි ආර්ථිකය මැනවින් පවත්වා ගැනීමට හේතුවන්නට ඇති බව නිගමනය කළ හැකිය. මහසෙන් රජු විසින් කළ වැව් හා ඇළ මාර්ග පිළිබද දීර්ඝ විස්‌තරයක්‌ මහාවංශයේ සඳහන් වේ. (මහාවංශය 1967:36.47/50) පසුකාලීන ජන සමාජය තුළ මහසෙන් 'මින්නේරි දෙවියන්' වශයෙන් හැ`දින්වීමට පුරුදුව ඇත්තේ ද සුභික්‍ෂය ස`දහා කළ කාර්යයන් නිසා විය යුතුය.

මීට අමතරව මෙම සෙල්ලිපියෙ හි දී කිරි සහ බුන තෙල් හෙවත් දුන් තෙල් පිළිබ`දව ස`දහන්ව තිබීමෙන් පැහැදිළි වන්නේ මී ගව සම්පත තත්කාලීන සමාජයේ පැවති බවයි. කුඹුරු අස්‌වැද්දීමේ හා නෙළීමේ කටයුතුවල දී මී ගවයන්ගෙන් විශාල උපකාරයක්‌ ලැබෙන්නට ඇත. වර්තමානයේ ද ග්‍රාමීය ප්‍රදේශවල මී ගවයන්ගෙන් කෘෂි කර්මාන්තයට ලැබෙන පිටුබලය අතිමහත්ය. ඊට අමතරව ගවයන් වී ආදී ධාන්‍ය වර්ග ප්‍රවාහනය කිරීම සඳහා ද යොදා ගන්නට ඇති බව සිතිය හැකිය. ඒ අනුව ඉහත දැක්‌ වූ වී ගොවිතැන Rජු ලෙස ම මඩ ගොවිතැනට අයත් වන අතර හේන් ගොවිතැන හා ගෙවතු වගාව පිළිබ`දව ද මෙම ලිපියෙන් වැදගත් තොරතුරු අනාවරණය වේ. හේන් ගොවිතැන සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේ දී ප්‍රධාන භෝග වශයෙන් උඳු, මුං, තල ආදී ධාන්‍ය වර්ග වගාකොට ඇති අතර සමකාලීන සමාජයේ ගෙවතු වගාවන් ලෙස බුලත්, කහ, පළා වර්ග ආදී භෝග වගාවන් වගා කොට ඇති බව ද සනාථ වේ.

මේ අනුව ලිපියෙහි සඳහන් කෘෂි ආර්ථීකය හා සම්බන්ධ තොරතුරුවලට අනුව එකල ලක්‌දිව සිව්වන සියවසේ රජරට පසෙහි සාරවත් බව, වර්ෂාපතනය, ජල සම්පාදන ක්‍රම සහ පැරණි සිංහල ගොවීන්ගේ ක්‍රියා කෞශල්‍යය පිළිබ`දව අභේද්‍යා වාර්තාවක්‌ වශයෙන් ද ගිනිය හැකිය.

වෙළ`ද ආර්ථීකය:-

සමකාලීන වෙනත් සෙල්ලිපි මගින් නොල ද හැකි ප්‍රමාණයේ වෙළඳ ආර්ථීකය සම්බන්ධ තොරතුරු ප්‍රමාණයක්‌ මෙම ලිපියෙන් අනාවරණය කර ගත හැකි වේ. විශේෂයෙන්ම මෙහි කියෑවෙන ''කළහුමනක නියමතන'' යන ආයතනය ඉතාම වැදගත් ය. පරණවිතාන මහතා සදහන් කරන්නේ පාලි භාෂාවේ ''නිගම'' යන්නෙන් සිංහලයට ''නියම'' යන පදය බි`දී ඇති බවත් ඉන් වෙළඳ ගම යන්න අර්ථවත් වන අතර '' තන'' යන පදය සංස්‌කෘත ''ස්‌ථන'' යන්නෙන් බිඳගත් ''ආස්‌ථාන'' හෙවත් සභාව යන්න අර්ථ දක්‌වන බවයි. ඒ අනුව වෙළ`ද ගම්සභාව යන්න මීට දිය හැකි සුදුසු ම වචනය බව වැඩිදුරටත් කියා සිටී. (paranavitana1933`181) පරණවිතාන හඳුනාගන්නා මෙම වෙළෝද ගම්සභාව වර්තමාන බැංකුවක්‌ මෙන් ක්‍රියා කරන ලද්දක්‌ බව පෙනීයයි. සෙල්ලිපියෙහි කියෑවෙන මෙම ආයතනයෙ නම ''කළහුමනක'' නම් වේ. කළහුමනක යන්න ග්‍රාමනාමයක්‌ සමග බැඳුන එකක්‌ හෝ ''කාලසුමන'' යන නාමය සම`ග බැඳුන එකක්‌ විය හැකිය. කෙසේ නමුත් අතීතයේ තිබූ මෙ බඳු ආයතන කිහිපයක්‌ම පිළිබ`දව පෙරුමියන්කුලම, ලබු ඇට බැදිගම, බ`දගිරිය ආදී සෙල්ලිපිවලින් පැහැදිළි වේ. පෙරුමියන්කුලම ලිපියට අනුව ''තිරගම''හා ''අමර''යන බැංකු දෙකක්‌ පිළිබ`දව කරුණු කියෑවේ. (අමරවංශ හිමි 1969.118) මීට අමතරව ලබු ඇට බැදිගම සෙල්ලිපියේ නගරයේ නැගෙනහිර දිසාවෙහි තිබූ ''මහකබක'' නම් වෙළ`ද මධ්‍යස්‌ථානයක්‌ හෙවත් බැංකුවක්‌ ගැන කියවේ. එම බැංකුවේ කහවනු සියයක්‌ තැන්පත් කොට එහි පොළියෙන් අරියවංශ වෘත්තිය පැවැත්වීමට කටයුතු කළ බව සඳහන් ය. (විමලකිත්ති හිමි 1957.1961)

තෝනිගල සෙල්ලිපියට අනුව එහි සඳහන් වන වෙළ`ද සභාවේ නැතහොත් බැංකුවෙහි ප්‍රාග්ධනය ලෙස තැන්පත් කොට ඇත්තේ වී, උඳු සහ මුං යන ධාන්‍ය වර්ගයන් ය. එහි දී වී අමුණු පනහක්‌ ද උඳු අමුණු හයක්‌ ද මුං අමුණු දහයක්‌ ද වශයෙනි. මෙම තැන්පතු ධාන්‍යවලින් කැමති ප්‍රමාණයක්‌ ඕනෑම අයෙකුට පරිහරණය ස`දහා ලබා ගැනීමට හැකියාවක්‌ තිබූ අතර ඔවුන් විසින් ආයතනයට සම්මත පොළිය ධන්‍යවලින්ම ගෙවීමට නියමව තිබුණි. සෙල්ලිපියේ කියවෙන අන්දමට වී වලින් යල, මහ සහ මැද යන කන්න තුන සඳහාම ස්‌ථිර තැන්පතුවෙන් ලැබෙන පොළිය අමුණු විසි පහක්‌ බව ''පචවිසි අමණක වී ඉච'' යනුවෙන් ස`දහන් කර තිබීමෙන් පෙනේ. මේ අනුව වී ගොවිතැන ස`දහා තැන්පත් කළ ප්‍රාග්ධනය වූ අමුණු පනහට පොළිය වශයෙන් අමුණු විසි පහක්‌ ලැබෙන්නේ නම් වාර්ෂික පොළිය 50% කි. ගොඩ ගොවිතැනට අදාල උඳු, මුං ආදිය තැන්පත් කිරීමේ දී ලැබෙන වාර්ෂික පොළී අනුපාතය වන්නේ 25% කි. එනම් තැන්පත් කළ ධාන්‍යවලින් 14 කි. මේ අනුව තත්කාලීන ආර්ථීක කටයුතුවල දී හුවමාරු මාධ්‍යය වශයෙන් මුදල් පමණක්‌ භාවිතා නොවූ බවට මෙය කදිම නිදසුනකි. මන්දයත් පොළී ප්‍රමාණයන් ගෙවා ඇත්තේ තැන්පත් කළ ධාන්‍ය වර්ගවලින් වීමයි.

ඊට අමතරව මෙම බැංකුවේ ගනුදෙනුවල දී ක්‍රියාත්මක වූ කිරුම් මිණුම් ක්‍රම කිහිපයක්‌ ගැන ද තෝනිගල ලිපියෙහි කියෑවේ. ඒවා හකඩ, අමණක, පෙකඩ ආදී වශයෙන් ස`දහන්ය. මෙහි දී හකඩ යන්නෙන් දක්‌වන්නේ කරත්තය යි. කරත්තයක්‌ යනු අමුණු විස්‌සක වී ප්‍රමාණය කි. නැතහොත් පෑලකින් 1/4 කි.



පෙකඩ 4 අමුණු 1 යි .

පෑල

අමුණු 20 හකඩ 1 යි.

යාල්

මේ අනුව තත්කාලීන සමාජයේ ක්‍රියාත්මක බැංකු ක්‍රම පිළිබ`දව මෙන්ම කිරුම් මිණුම් පිළිබ`දව ද තෝනිගල ලිපිය හරහා කරුණු පෙන්වා දෙන බව පැහැදිළි ය. විශේෂයෙන්ම ලිපියට අනුව මෙම බැංකුව බංකොලොත් නොවී පවත්වා ගෙන යා යුතු බව ද මෙහි සඳහන් ''අවිය කිණියෙහි'' (අඩුවීමක්‌ හෝ හීනවීමක්‌) යන යෙදුමෙන් අවධානය කර තිබීම විශේෂත්වයක්‌ ලෙස ගිනිය හැකි ය. මේ අනුව තෝනිගල සෙල්ලිපිය හරහා පෙන්වාදෙනු ලබන්නේ ක්‍රි:ව. සිව්වන සියවස වන විට වෙළෙඳ ආර්ථීකය හා සම්බන්ධ බැංකු පිළිබ`දව අවබෝධයක්‌ මෙන්ම සැලසුම් පිළිබ`දව ද සමාජය දැනුවත්ව සිටි බව යි.

ආගමික තොරතුරු:-

තෝනිගල සෙල්ලිපිය තුළ ඇතුළත්ව ඇති කරුණු අතර තත්කාලීන සමාජයේ ආගමික විවරණයක්‌ ඉදිරිපත් කිරීමක්‌ ගැන ද කියෑවේ. විශේෂයෙන්ම ලිsපියෙහි අරමුණ වී ඇත්තේ ද අරියවංශ උත්සවය නොකඩවා දීර්ඝ කාලීනව පවත්වාගෙන යැම සඳහා කටයුතු සම්පාදනය කිරීමයි. එය ''අරියවස කරන මහබිකු ස`ගනට නියතකොටු'' යන යෙදුමෙන් පැහැදිලි වේ. මෙම යුගයේ ක්‍රියාත්මක ප්‍රධාන ආගමික උත්සවයක්‌ ලෙස ගිනිය හැකි මෙම උත්සවය සිදුකළේ කෙසේ ද යන්න පිළිබ`දව පැහැදිලි නැත. එහෙත් වංශ කථාවන් හි මෙන් ම අභිලේඛනවල මේ පිළිබ`දව ස`දහන් වී තිබීම නිසාවෙන් පැරණි සමාජය තුළ ක්‍රියාත්මක උසස්‌ ආගමික උත්සවයක්‌ බව පෙන්වා දිය හැකිය. එබඳු ආගමික කටයුතු ස`දහා මෙබඳු පුද පුජා කිරීමට සහ එය මතු අනාගතයෙහි ද පැවැත්වීම ස`දහා සෙල්ලිපි පවා පිහිටුවා තිබීමෙන් එකල ගිහි පැවිදි සමාජයේ ආගමික තත්ත්වයත් එමෙන් ම භක්‌තියත් මතුවී පෙන්නුම් කරන බව කීම යුක්‌ති සහගතය. මඩකලපු දිස්‌ත්‍රික්‌කයේ නෙලුම්පොකුණින් හමු වු සෙල්ලිපියක ද (paranavitana2001`150) එසේම අංගමුවෙන් හමු වු ලිපියක ද (paranavitana2001`243) අරිය වංශ පුජාව ගැන කියෑවේ.

සාමාජික තොරතුරු -

තෝනිගල ශිලා ලිපියෙන් තත්කාලීන සමාජ ජනජීවිතය හා සම්බන්ධ තොරතුරු බොහෝමයක්‌ ද අනාවරණය වේ. විශේෂයෙන් පැරණි සමාජයේ වැඩ සිටි භික්‍ෂූන් වහන්සේලා පරිභෝජනය කළ ආහාර පාන වර්ග පිළිබ`දව තතු තෝනිගල සෙල්ලිපිය සතුව පවතී. මෙහි දී ප්‍රධාන ආහාර වශයෙන් සහල්, උදු, මුං ආදී ධාන්‍ය වර්ග මෙන්ම දී කිsරි, මී පැණි, තල, දුන් තෙල්, ලුණු, පළා වර්ග, බුලත් ආදි සෙසු ආහාර වර්ග පිළිබ`දව තොරතුරු ස`දහන් ය. මේ අනුව සෑම ප්‍රදේශයකම පාහේ ගිතෙල්, මී පැණි, කිරි හා පළාවර්ග ආදිය මෙන්ම ඒවායෙන් සකසා ගන්නා ලද ආහාර වර්ග සුලභව පරිභෝජනය වන්නට ඇත. මේ හැර තත්කාලීන සමාජ ජනතාව කාලය මැණිමේ දි විශේෂයෙන් මාස ගණනය කිරීමේ දි චන්ද්‍ර මාස ක්‍රමය භාවිතා කර ඇති බව ''අතොවසහි නිකමනිය චද පුණමස දොළස පකදිවස්‌' යන යෙදුමෙන් පැහැදිලි වේ.

එසේම තත්කාලීන සමාජය කෘෂිකර්මාන්තය මත පදනම් වු දියුණු සමාජ තත්ත්වයක්‌ මෙන්ම පුද්ගල ජන ජීවිතයක්‌ නිර්මාණය වී තිබු බව ද ලිපියෙහි ස`දහන් සාධක අනුසාරයෙන් නිගමනය කළ හැකි ය. විශේෂයෙන් ම කෘෂිකර්මාන්තය, වෙළ`ද ආර්ථීකය මත පදනම් වු රාමුවක්‌ තුළ තත් කාලීන සමාජයේ භෞතික සම්පත් සාදනය කර ගත්තා සේම ආධ්‍යාත්මික වශයෙන් යම්කිසි දියුණුවක්‌ ලබාගෙන ඇති බව ද වක්‍රව කරුණු ඉදිරිපත් කොට ඇත. ආර්ථීක තත්ත්වය ශක්‌තිමත් කර ගැනීම හරහා ලෞකික ජීවිතය සාර්ථක කර ගත්තා සේම ආධ්‍යාත්මික වශයෙන් ද මෙකල දියුණුවක්‌ ලබා ඇති බව පෙනේ. රටේ පාලකයාගේ සිට සාමාන්‍ය ජනතාව දක්‌වා සියලුම සමාජ ස්‌ථරයන් නියෝජනය වන පරිදි ආගමික ක්‍රියාවන් හි නිරත වූ බවට අරියවංශ දේශනාව කෙරෙහි දක්‌වා ඇති සැලකිල්ල ප්‍රමාණවත් ය. ඒ අනුව තත්කාලීන සමාජ ජන ජීවිතයට අදාළ සිරිත් විරිත්, චාරිත්‍ර වාරිත්‍ර, ගති පැවතුම් ආදිය ආගමික ප්‍රබෝධය හරහා සිදුවන්නට ඇති බව පෙනේ.

ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය

01. අමරවංශ හිමි, කොත්මලේ, 1969, ලක්‌දිව සෙල්ලිපි, ඇම්, ඩී, ගුණසේන සහ සමාගම, කොළඹ 11.

02. ජයවර්ධන ඩබ්ලිව්, ඒ, 1964, ''මහසේන රජුට පසුකාලයේ රජවරු'' ලංකා විශ්ව විද්‍යාලයේ ලංකා ඉතිහාසය, සවන කාණ්‌ඩය, සස වන භාගය , නිකලස්‌ ආටිගල ඇතු`එ පිරිස, විද්‍යාලංකාර විශ්වවිද්‍යාල මුද්‍රණාලය.

04. paranavitana.1933 Epigraphia' Zeylanica vol iii Archaeologeal, Survey of Ceylon oxford university, press A menhouse London.

05. ධම්මානන්ද හිමි, මකුරුප්පේ, 2004. සිංහල ශිලා ලිපි මාලා. සමයවර්ධන පොත්හල. මාලිගාකන්ද පාර, කොළඹ.

06. මහාවංශය 1912, බටුවන්තුඩාවේ පඬිතුමා සහ හික්‌කඩුවේ සුමංගල හිමි, ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව, කොළඹ.

07. මුදියන්සේ නන්දසේන, 2000, සිංහල ශිලාලේඛන සංග්‍රහය, ඇස්‌, ගොඩගේ සහ සහෝදරයෝ, 675 පී. ද. එස්‌. කුලරත්න මාවත, කොළඹ 10.

08. විමලකිත්ති හිමි, මැදඋයන්ගොඩ. 1954, ශිලාලේඛන සංග්‍රහය. ඇස්‌. ගොඩගේ සහ සහෝදරයෝ, අංක 675, පී. ද. එස්‌ කුලරත්න මාවත, කොළඹ 10.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.