සංස්‌කරණය : නාරද නිශ්ශංක

"සිනමා නිsර්මාණයකින් විනෝදය
සැපයීමත් ප්‍රමිතියකින් කළ යුතුයි"

- "ජීවිතේ ලස්‌සනයි" ගැන සුනිල් ටී. ප්‍රනාන්දු කියයි
 



සුනිල් ටී. ප්‍රනාන්දු ලාංකීය සිනමාවේ උන්නතිය උදෙසා නිර්මාණකරණයේ රැඳී සිටිමින් ප්‍රේක්‍ෂකයාගේ රුචිකත්වය මත කාලෝචිත සිනමා කෘති රිදී තිරයේ විදහා දක්‌වන්නා වූ සිනමාපට නිෂ්පාදකවරයෙක්‌. එලෙසින් දශක ගණනාවක්‌ පුරාවට සිනමාව පෝෂණය කරන්නට ඇප කැප වී සිටින සුනිල් ටී. ගේ පනස්‌ තුන්වැනි සිනමා නිර්මාණය වන 'ජීවිතේ ලස්‌සනයි' අද දිනට යෙදෙන සුබ මොහොතින් කොළඹ 'රිට්‌ස්‌' සිනමා ශාලාවේ දී ප්‍රේක්‍ෂකයන් වෙනුවෙන් දිගහැරෙනවා. මේ ඒ නිමිත්තෙන් ඔහු හා කළ සංවාද සටහනකි.

'ජීවිතේ ලස්‌සනයි' ඔබේ සිනමා දිවියට මොනවගේ වෙනසක්‌ එක්‌කරයිද?

මෙතෙක්‌ කළ නිර්මාණ අතරින් පනස්‌ දෙවැනි චිත්‍රපටයෙන් තමයි මගේ සිනමා ජීවිතේ නව පිටුවක්‌ පෙරළුණේ. ඒ තමයි, "දරුවනේ" චිත්‍රපටය වාර්තා තබමින් රු. දශලක්‍ෂයකට වඩා වැඩි ආදායමක්‌ මේ චිත්‍රපටයෙන් ඉපැයුවා. ඒ නිර්මාණයෙන් පස්‌සේ නිෂ්පාදනය කළ මුල් චිත්‍රපටය 'ජීවිතේ ලස්‌සනයි'. මම බලාපොරොත්තු වෙනවා, දරුවනේ වගේම ජීවිතේ ලස්‌සනයි චිත්‍රපටයත් ආදරෙන් වැළඳ ගනීවි කියලා.

ජීවිතේ ලස්‌සනයි සිනමා කෘතිය හරහා ඔබ ප්‍රේක්‍ෂකයාහට නතු කරනුයේ කෙබඳු ආකාරයටද?

ජීවිතේ ලස්‌සනයි කියන්නේ සරළ වින්දනයක්‌ දෙන කාටත් එකට ඉඳගෙන පැය දෙකක්‌ පුරාවට හාස්‍යය විඳිමින් නැරඹිය හැකි චිත්‍රපටයක්‌. මම යම් කිසි නිර්මාණයක්‌ කරන්නේ ප්‍රේක්‍ෂක අදහස්‌ මත හිඳිමින්. වර්තමානයේ දී ප්‍රේක්‍ෂකයා මුදල් මත යන්ත්‍ර සූත්‍ර වෙලා. ඒ නිසා මගේ අදහස වුණේ පැය ගණනාවක්‌ පුරාවට මනස වෙහෙස වූ ප්‍රේක්‍ෂකයකුට පැය දෙකකදී සරළ වින්දනයක්‌ ලබා දීම වෙනුවෙන් චිත්‍රපටයක්‌ නිර්මාණය කිරීමයි. ඒ වෙනුවෙන් තමයි, ජීවිතේ ලස්‌සනයි නිර්මාණය කළේ.



ඔබේ පෙර නිර්මාණ හා සැසඳීමේදී මෙහි ඇති සුවිශේෂී ලක්‍ෂණ මොනවාද?

ජීවිතේ ලස්‌සනයි සිනමාත්මක බවින් පරිපූර්ණ නිර්මාණයක්‌. මම මෙහි හැම රූප රාමුවක්‌ කෙරෙහිම වෙහෙසුණා. සිනමා රූපී අගය රැක ගත්තා වගේම හාස්‍ය උත්පාදක කලාව ගැනත් හිතුවා.

ඔබ නිර්මාණය කරන බොහොමයක්‌ චිත්‍රපට වාණිජමය පරමාර්ථයෙන් කිරීමට යම්කිසි සුවිශේෂත්වයක්‌ තිබෙනවාද?

මම එම්.පී.අයි. මණ්‌ඩලයේ කටයුතු කරන කළමනාකරණ අධ්‍යක්‍ෂවරයෙක්‌ හැටියට අපට චිත්‍රපට ශාලා පහක්‌ තිබෙනවා. වර්තමානයත් එක්‌ක ගත්තහම මේවා ආර්ථික අතින් ශක්‌තිමත් කිරීමට නම් වාණිජමය චිත්‍රපට හැදිය යුතුයි. එහෙම නැතිව සිනමා ශාලා ගෙනියන්න බැහැ. ඒ නිසා ඇත්තම කියනවනම් අද වනවිට මම චිත්‍රපටයක්‌ නිර්මාණය කරන්නට දායක වීමේදී වෘත්තීයමය පරමාර්ථය තමයි බොහෝ විට මූලික වෙන්නේ.

චිත්‍රපට මෙලෙස බෙදා වෙන්කිරීම ගැන ඔබේ මතය?

විනෝදාත්මක චිත්‍රපටයක්‌ තුළ සරළව විඳින්න පුළුවන් අංග තියෙනවා. නැටුම්, ගැයුම්, සටන් වගේ. නමුත් කලාත්මක කියා කියන චිත්‍රපටවල ඉඳහිට ගීතයක්‌ යොදාගත්ත චරිත තුළින් ජීවිතේ ගැඹුර ගැන කියෑවෙනවා. මේ දෙආකාරයෙන්ම චිත්‍රපට රසවිඳින අය ඉන්නවා. ගැඹුරු චිත්‍රපටයක රස විඳීම භාවනාවකට සම වැදීමක්‌ වගේ. මේ දෙකෙන්ම කළ යුත්තේ හොඳ දෙයක්‌. නිසරු ලෙස මේවා යොදාගන්නවනම් තමයි වරද. විනෝදය සැපයීමත් හොඳ ප්‍රමිතියකින් කළ යුතුයි. නැතිනම් සිනමාව අවරගනයට යනවා.

ජීවිතේ ලස්‌සනයි චිත්‍රපටය සඳහා නව පරපුරේ නිළියන් පස්‌ දෙනෙක්‌ තෝරාගන්න අදහස්‌ කළේ?

වර්තමානයේ ප්‍රේක්‍ෂකයාට ප්‍රසිද්ධ නිළියන්ගේ මුහුණු දැකලා ඒකාකාරි බවක්‌ ඇති වී තිබෙනවා. ඒ නිසා නැවුම් අත්දැකීමක්‌ දෙන්න තමයි අලුත් මුහුණු පහක්‌ සොයා ගත්තේ.

අද චිත්‍රපටයක්‌ නිර්මාණය කිරීමේ දී නිෂ්පාදනයේ පිරිවැය දැරීමට අමාරු තත්ත්වයක්‌ ඇතිවී තිබෙන බවට මැසිවිලි නඟනවා?

අමාරුවෙන් චිත්‍රපට කරපු කාලයක්‌ තිබුණා. සාර්ථක චිත්‍රපට නිර්මාණය කරන්න නම් මුදල් වියදම් කළ යුතුයි. ලක්‍ෂ පනහකට වඩා මුදලක්‌ නැතිව චිත්‍රපටයක්‌ නිර්මාණය කිරීම හරියට අතුරේ යනවා වගේ වැඩක්‌. එහෙම නැතිව සම්පූර්ණ මුදල් වියදම් නොකර නිර්මාණය කළොත් ඒ නිර්මාණය මිනිසුන් අතරට යන්නේ නැහැ. ඒ නිසා ජීවිතේ ලස්‌සනයි චිත්‍රපටයට ලක්‍ෂ හතලිහකට වැඩියෙන් ප්‍රචාරණ කටයුතුවලට මම වියදම් කළා.

මුදල් නැතිව මේ ක්‍ෂේත්‍රයේ විතරක්‌ නෙමෙයි, ඕනම ක්‍ෂේත්‍රයක වැඩ කරන්න බැහැ. චිත්‍රපටයක්‌ එළිදක්‌වලා කලාත්මක හෝ වාණිජ වේවා චිත්‍රපටය දිව්වොත් තමයි පිළිගැනීමක්‌ තියෙන්නේ, ඒ නිසා තමයි ප්‍රේක්‍ෂක ආකර්ෂණය වැඩි කරගන්න චිත්‍රපටයේ පිටපත් පනහක්‌ම නිකුත් කළේ.

සුදේශ් වසන්ත පීරිස්‌ වැනි තරුණ අධ්‍යක්‍ෂවරයෙක්‌ ඔබේ නිර්මාණයේ අධ්‍යක්‍ෂණ කටයුතු සඳහා තෝරා ගත්තේ?

සුදේශ්ට පෙර මගේ වාණිජමය චිත්‍රපට සඳහා අධ්‍යක්‍ෂණයෙන් සම්බන්ධ වුණේ සුදේශ්ගේ තාත්තා සුනිල්සෝම පීරිස්‌. මේ නිර්මාණය සඳහා තරුණ අධ්‍යක්‍ෂවරයෙකුගේ ජවය අවශ්‍ය වුණ නිසා සුදේශ්ව මම ජීවිතේ ලස්‌සනයි අධ්‍යක්‍ෂවරයා ලෙසට තෝරගත්තා.

ඔබේ ඉදිරි නිර්මාණ දැක්‌ම?

අද වගේම සමාජයට අවශ්‍ය නිර්මාණය කිරීම තමයි, මගේ බලාපොරොත්තුව. මීළඟට මගේ පනස්‌ හතරවැනි නිර්මාණය දොaනි සහ පනස්‌ පස්‌වැනි නිර්මාණය රන්ජා චිත්‍රපටවල නිර්මාණයකරණයේ නියෑළෙනවා.

ලක්‌මිණි අතුකෝරල

 
Powered By -


  සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.