තම දුව එනතුරු  සුසුම් හෙළන මවක්‌
හැඬූ කඳුළින් "දිවයින" ට කී කතාව


"මගේ දුව ලෙබනන් ගිහින් අවුරුදු 19යි
ඒත් තවම කිසිදු තොරතුරක්‌ නැහැ"


සූරියවැව, පැරණි බැද්දේවැව, ඇලපාර නො. 3914 හි පදිංචිව සිටි ඩි. කාංචන මාලා පීරිස්‌ මහත්මිය ලෙබනන් රාජ්‍යයේ රැකියාවට ගොස්‌ ඇත්තේ 1994 ඔක්‌තෝබර් 19 වැනි දිනය. එහෙත් මේ වනතෙක්‌ ඇය පිළිබඳ කිසිදු තොරතුරක්‌ නොමැති බව පවුලේ ඥාතීහු පවසති. විදෙස්‌ගතවන විට ඇය වයස අවුරුදු 18 වන අතර දරුවන් දෙදෙනකුගේ මවකි.

තම පවුලේ ආර්ථික අපහසුතා විස¹ ගැනීම සඳහා ඇය තම ස්‌වාමියා වන වික්‍රමගේ දොන් පියසිරි සහ තම මාස 09 හි පුංචි පුතාවත්, අවුරුදු 03 ලොකු පුතාවත් තනිකර දමා රැකියාව සඳහා ලෙබනන් රාජ්‍යයට ගොස්‌ ඇත. ඒ දැනට වසර 19 ට පෙරය. මේ පිළිබඳ විමසූ විට ඩි. කාංචනමාලා පීරිස්‌ මහත්මියගේ මව වන කේ. ඉන්ද්‍රd මාලනී (59) මහත්මිය අප වෙත මෙසේ අදහස්‌ පළ කළාය.

"දුව රට ගිහින් දැනට අවුරුදු 19 ක්‌ වෙනවා. එයා රට යනකොට පොඩි එක්‌කෙනාට මාස 09 යි. ලොකු එක්‌කෙනාට අවුරුදු 03 යි. ගේ හදාගන්න ඕන කියලා තමයි රට ගියේ. ගිහින් අවුරුදු 02 ක්‌ විතර යනකම් එයාගේ මහත්තයට සල්ලි, ලියුම් එහෙම එව්වා. ඊට පස්‌සේ එක පාරටම එයා ගැන කිසිම ආරංචියක්‌ නැතුව ගියා. අපි විදේශ සේවා එකටත් ගිහින් දැනුම් දුන්නා. ඊට පස්‌සෙ ඒ මහත්තුරු ලෙබනන් රටෙන් ඇහුවම කීවලු දුව ලංකාවට ආව කියලා. ඒත් මගේ දුව නම් ගෙදර ආවේ නෑ. අපි හිටියේ පොඩි කටුමැටි ගේක. ඒක වැස්‌සට අහුවෙලා කැඩිලා ගියා. ඒත් එක්‌ක විදේශ සේවා එකේ මහත්තුරු එවලා තිබුණු ගොඩක්‌ ලියුම් කියුම් වතුරට අහුවුණා. ඉතිරි ඒවා තමයි මේ" යනුවෙන් ඇය ලියුම් කඩදාසි කිපයක්‌ අපට ඉදිරිපත් කළාය.

මේ සම්බන්ධව විදේශ සේවා නියුක්‌ති කාර්යාංශයට දැනුම් දීමෙන් අනතුරුව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්‌ති කාර්යාංශයෙන් 2000/01/03 දින එවන ලද ලිපියෙන් දැනුම් දී ඇත්තේ කාංචනා මාලා පීරිස්‌ මහත්මිය සේවය කළ හාම්පුතා සමඟ කතාකර ඇති බවත්, ඔහු පවසා ඇත්තේ මෙම සේවිකාව ලංකාවට පැමිණ ඇති බවත්ය. එරටින් පිටත්වූ දිනය විමසූ විට එය ඔහු නොදන්නා බව පැවසූ බව ලෙබනන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් දැනුම් දුන් බවයි.

පසුව මේ සම්බන්ධව 2003/05/06 දින සූරියවැව එවකට ප්‍රාදේශීය ලේකම් එච්. ඩී. පියසිරි මහතාට ලිපියකින් දැනුම් දී ඇති අතර ප්‍රාදේශීය ලේකම්වරයා විසින්ද මේ සම්බන්ධව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්‌ති කාර්යාංශයට දැනුම් දී ඇති බව 2003/06/05 දින කේ. ඉන්ද්‍රd මාලනී මහත්මියට එවන ලද ලිපියේ සඳහන් වේ.

එමෙන්ම 199/05/12 දින එවකට සිටි ජනාධිපති වෙතද මේ සම්බන්ධව තොරතුරක්‌ සොයා දෙන මෙන් ඉල්ලා ලිපියක්‌ යෑවුණි. ඒ අනුව 1999/05/19 දින ජනාධිපති ලේකම් කාර්යාලයෙන්ද දැනුම් දී ඇත්තේ මේ සම්බන්ධව සොයා බැලීමට එවකට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්‌ති කාර්යාංශයේ සභාපතිවරයා වෙත දැනුම් දුන් බවයි.

එහෙත් ඩී. කාංචනමාලා පීරිස්‌ මහත්මිය සම්බන්ධ කිසිදු තොරතුරක්‌ තවමත් නැත. මාස 09 හි සංජීව පුතා දැන් වයස අවුරුදු 19 ක විවාහක තරුණයෙකි. අවුරුදු 03 හි ලොකු පුතා ජනිත් චතුරංග අවුරුදු 22 ක විවාහක තරුණයකි. කේ. ඉන්ද්‍රd මාලනී මහත්මිය තම දියණිය එනතෙක්‌ වසර 19 ක්‌ තිස්‌සේ හැඬූ කඳුළින් බලා සිටියි. පුතුන් දෙදෙනාද තම මිත්තිනිය සමඟින් මව එන තෙක්‌ තවමත් දෑස්‌ අයා බලා සිටියි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.