විශ්වයේ අපි තනියමද
පිළිතුරයි මේ සොයා යන්නේ


ආචාර්ය සරත් ගුණපාල

ඇමරිකානු නාසා ආයතනයේ ජෙට්‌ ප්‍රොපල්ශන් විද්‍යාගාරයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥයෙකි. කොළඹ නාලන්දා විදුහලේ අධ්‍යාපනය ලද ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ BSc උපාධිය (භෞතික විද්‍යාව)
පීටර්ස්‌බර්ග් විශ්වවිද්‍යාලයේ MSc උපාධිය (භෞතික විද්‍යාව) එම සරසවියෙන්ම Phd උපාධියද ලැබූ ජගත් කීර්තිධර විද්වතෙකි.

ලෝක විනාශය ගැන මති මතාන්තර ඇති තරම් පසුගිය කාලයේ අපිට අහන්න ලැබුණා. ඒත් ලෝක විනාශය සිදුවෙනවා යෑයි කී 2012.12.21 වැනිදාත් හිරු නැග ආවේත් බැස ගියේත් වෙනදා විදියටමයි. බොහෝ දෙනෙක්‌ සාමාන්‍ය විදියට තමන්ගේ වැඩ කටයුතු කරගෙන ගියා. තවත් සමහරු ලෝක විනාශයෙන් බේරෙන්න ආරක්‍ෂක බලකොටු හැදුවා.

ලෝක විනාශය සිදු නොවුනත් ඒ එදා වෙච්ච සැක සංකා එතනමයි. රතු වරුසා, කහ වරුසා, අද්භූත එළි, පිටසක්‌වල යානා මේ වාගේ බොහෝ දේවල් එක්‌ක විශ්වයේ විවිධ දේ ගැන මිනිස්‌සු කතාබහ කරනවා. හැබැයි ඒ සේරම හොයාගෙන යන කොට තර්කානුකූල ඒවා නොවෙයි.

කොහොම වුනත් බෞද්ධ ඉගැන්වීම තුළ මේකට පැහැදිලි විසඳුම් තියෙනවා. මේක බෞද්ධ ඉගැන්වීම තුළ කියෑවීමට, ප්‍රශ්න කිරීමට සුදුසු අය බොහෝ සෙයින් හිඟයි. ''ආචාර්ය සරත් ගුණපාලයන්'' මේ අතර දුලභ විද්වතෙක්‌. පසුගියදා ඇමරිකාවේ සිට මෙරටට පැමිණි ඔහු සමග කළ මේ සාකච්ඡාව අපට තිබෙන සැක සංකා බොහෝමයක්‌ විස¹ ගන්න උපකාරී වේ යෑයි අපි විශ්වාස කරනවා.

ප්‍රශ්නය- ඔබගෙන් මුලින්ම දැනගන්න කැමැතියි ලෝකයේ බොහෝ කතා බහට ලක්‌ වුණු දිනයක්‌ තමයි 2012.12.21 වෙනිදා. එදිනට ලෝකය විනාශ වෙයි කියලා මතයක්‌ තිබුණා. නමුත් එහෙම දෙයක්‌ නොවී ලෝකය සුරැකිව තිබෙනවා. මේ කතාව ගැන ඔබේ අදහස මොකක්‌ද?

පිළිතුර - ඔව්. ඇත්තටම එහෙම කිසිම සිදුවීමක්‌ වුණේ නැහැනේ. විද්‍යාඥයෝ කියපු විදියටම ඒ දවසත් අනෙක්‌ දවස්‌ වගේම සාමාන්‍ය දචසක්‌ විතරයි. මායන් දින දර්ශනයේ විදියටත් එදාට ලෝකය විනාශ වෙන්න කිසිම අවස්‌ථාවක්‌ තිබුණේ නෑ. මායන්වරු විශ්වාස කළේත් නෑ 21 වැනිදාට එහෙම වෙනවා කියලා. ඒ කතාව කර්තෘවරුන් කරපු ප්‍රබන්ධයක්‌ සහ ඒවායෙන් හදපු චිත්‍රපට විතරයි. හුදෙක්‌ම මිනිස්‌සුන්ගේ විනෝදෙට. එයින් අදහස්‌ වෙන්නේ නෑ ලෝකය විනාශ නොවී තියනව කියලා. ලෝකෙ විනාශය කියන්නේ මේ පෘථිවිය විනාශවීම නොවේ. සත්ව සංහතිය විනාශ වෙනවා කියන එකයි. එහෙම දේවල් ක්‍රම කීපයකින් වෙන්න පුලුවන්. හැබැයි මේ ළඟදී නම් නොවේ.

ප්‍රශ්නය - මේ සියලු කතාවලට හේතුව ''මායන්වරුන්ගේ දින දර්ශනය'' ඒ පිළිබඳව ඔබගේ දැක්‌ම කුමක්‌ද?

පිළිතුර - මායන්වරුන්ගේ දින දර්ශනය ඇත්ත. එහි කිසි වැරැද්දක්‌ නෑ. ඔවුන් ඉතා දියුණු ශිෂ්ටාචාරයක්‌. දැනට අවුරුදු 3500 කට පෙර ඔවුන් ජීවත් වුණා. ඒ අය තාරකා විද්‍යාව හැදෑරුවා. ඒ වගේම ජ්‍යෙdතිෂය ගැන දැන සිටියා. මායන්වරු හරියටම දැනගෙන හිටියා පෘථිවිය ඉර වටා වටයක්‌ ගිහින් එන්න ගත වන කාලය. ඒ කාලය දින 365.2 යි කියලා. ඔවුන් ඒක දැනගත්තේ අවුරුදු 3500 කට පෙර වීමයි විශේෂත්වය. මේ අනුවයි ඔවුන් දින දර්ශනය හැදුවේ. මේ දින දසුනේ වසරකට අමතරව තියෙනවා කල්පයක්‌ වගේ දෙයක්‌. එයට තිබෙනවා දින එකසිය හතළිස්‌ හතර දාහක්‌. මේ වගේ නිම වුණා 13 වැනි කල්පය පසුගිය 21 වැනිදා නිමා වුණා. දැන් උදාවෙලා තිබෙන්නේ 14 වැනි කල්පය.

ප්‍රශ්නය - මේ පෘථිවිය, අපි ඉන්න ලෝකය හරි අනාරක්‍ෂිත තැනක්‌. කොයි මොහොතක හෝ ඇස්‌ටරොයිඩයක්‌ කඩා වැටුනොත් සියල්ල විනාශ වෙනවා කියලා කියනවා. මේ ගැන අදහස්‌ දැක්‌වුවහොත්.

පිළිතුර - ආකාශ වස්‌තු ඇස්‌ටරොයිඩ, ග්‍රාහක කියන ඒවා හැමවෙලේම පෘථිවියට වැටෙනවා. ග්‍රාහක කොටස්‌ දෙකක්‌ තියෙනවා. එකක්‌ තමා වල්ගා තරු විනාශ වෙලා ඉතුරු වෙන කොටසක්‌. අනෙක තමයි අපේ සෞරග්‍රහමණ්‌ඩලය හැදිලා ඒකට දායක වුණේ නැති ගල්, දූවිලි ආදී ද්‍රව්‍ය, මේවා විශ්වයේ තිබෙනවා. මීට අමතරව මිනිසුන් යවන චන්ද්‍රිකාවලින් ඉවතට අත හරින කොටස්‌ ආදී සියල්ල වායුගෝලයේදී පිච්චෙනවා. මේ නිසා බොහෝ එළි ඇතිවෙනවා. දිනපතා මේ ආකාරයේ උල්කාපාත වැටෙනවා. සාමාන්‍යයෙන් පෘථිවිය ගමන් කරනවා මේ වගේ ආකාශ කසළ තියෙන තැන්වලින් දෙගමනක්‌. ඒ කාලවල මේවා වැටීම මෙන්ම පේන එකද වැඩියි. අපට තර්ජනයක්‌ වෙන්නේ විශාල ඇස්‌ටරොයිඩයක්‌ වැදුනොත් යකඩ ඒ කියන්නේ මෙට්‌ල් ඇස්‌රොයිඩ තිබෙනවා. ඒකත් මීටර් 300 කටත් වඩා විශාල එකක්‌ පතිත වෙන්න ඕනේ විශාල විනාශයක්‌ වෙන්න. සාමාන්‍ය කැබැල්ලක්‌ වැටුනොත් ඒ අවට විනාශ වෙයි.

නමුත් සමස්‌ත ලෝකයට බලපාන්නේ නෑ, ඇස්‌ටරොයිඩයකිනුත් හානි වෙන්නේ එය වැටුනොත් ඉහළට නගින දූවිලි ප්‍රවාහය නිසා සූර්යාලෝකය ඇහිරෙනවා. ආලෝකය නොමැතිව ලෝකය සීතල වෙනවා. ශාක විනාශවෙනවා. කෑම නැති වෙනවා. වර්ෂා චක්‍රය නොමැතිවෙනවා. මේ අයුරින් තමයි ඩයිනෝසෝර් සත්වයිනුත් වඳවෙලා ගියේ.

ප්‍රශ්නය - 2039 අප්‍රේල් 13 වැනිදා මේ වගේ ඇස්‌ටරොයිඩයක්‌ පොළවට පතිත වෙනවා කියලා කතාවක්‌ තියෙනව නේද?

පිළිතුර - ඔව්. එහෙම කතාවක්‌ යනවා. මේවා ගැන සොයන්නේ නාසා ආයතනයෙන්. මම සේවය කරන ජෙට්‌ ප්‍රොපල්ශන් විද්‍යාගාරයෙන් තමයි ඒ ගැන අපේ වෙබ් සයිට්‌ එකේත් සඳහන් කරලා තිබුණා. 2039 එහෙම එකක්‌ එනවා හැබැයි අපිට කිසිම හානියක්‌ වෙන්නේ නෑ. ඒ ඇස්‌ටරොයිඩය එන්නේ අපියි සඳයි අතර තියන දුර වගේ තුන් ගුණයක්‌ ඈතින්. ඒ නිසා ප්‍රශ්නයක්‌ නෑ. මේ ගැන හොයන්න හරි අමාරුයි. මොකද ප්‍රධාන බාධක තුනක්‌ තියෙනවා.

එක තමයි මේවා ඉතාම කුඩායි. මොකද ග්‍රහලෝක වගේ විශාල නැහැ. සාමාන්‍යයෙන් මේවා අපි හසුකරගන්නේ රේඩාර්වලින්. රේඩාර් කිරණය එයට වැදිලා නැවත අපට පරාවර්තනය වෙනවා. නමුත් මේ කැබලි අළු සහ කලු පැහැයන්ගෙන් තමයි පෙනුම. මේ අඳුරු පැහැයට රේඩාර් කිරණ එල්ල කරත් පරාවර්තනය වෙන්නේ නැහැ. එය එම වස්‌තුවට උරා ගන්නවා. එයත් ප්‍රශ්නයක්‌. අනෙක තමයි සෞරග්‍රහ මණ්‌ඩලයේ ග්‍රහවස්‌තු ගමන් කරන්නේ එක තලයක. නමුත් මේවා විවිධ දිශාවන්වලට තමයි ගමන් කරන්නේ. ඒ ගමනට පිළිවෙළක්‌ නෑ. මේ නිසා හරි අමාරුයි මේවා ගැන සොයන්න.

ප්‍රශ්නය - මෙවැනි කැබැල්ලක්‌ ආවොත් න්‍යෂ්ටික ප්‍රහාරයකින් විනාශ කරන්න පුලුවන් කියලා කියනවා. එහෙම පුලුවන්ද?.

පිළිතුර - එහෙම කියනවා තමයි. හැබැයි ඒවා කතන්දර විතරයි. ඒකට තාක්‌ෂණය සෑහෙන දියුණු කරන්න ඕනේ. ඒවා යෝජනා තමයි.

ප්‍රශ්නය - ලෝකයේ එසේ ප්‍රහාර එල්ල කරලා නැද්ද තාම.

පිළිතුර - කිසිසේත්ම මේවායේ කක්‍ෂ සොයා ගැනීම ඉතා අමාරුයි. අනෙක ප්‍රහාර එල්ල කරන්න මේ මතට යන්න ඕනේ.

මං මුලින් කිව්වා වගේ මේවාට නිශ්චිත ගමනක්‌ යන නියම ක්‍රමයක්‌ නැති නිසා රොකට්‌ටුවක්‌ වත් ගොඩබස්‌සන්න අමාරුයි. ප්‍රහාර එල්ල කිරීම ගැන කියනවා. එය ඉතා අසීරු දෙයක්‌.

ප්‍රශ්නය - පෘථිවි ගෝලයේ වැඩිහරියක්‌ තිබෙන්නේ සාගර. මේ කැබැල්ලක්‌ සාගරයට වැටුනොත් එහි බලපෑම කොහොමද?

පිළිතුර - එයත් බලපානවා. එවිට ඉතා දැවන්ත සුනාමි තත්ත්වයන් ඇතිවෙන්න පුලුවන්. පැත්තක්‌ම අතුගෑවිලා යන්න හැකියාව තියෙනවා. එවිට ලෝකයටම මේ තර්ජනය ඇති නොවී අදාළ ප්‍රදේශයට ඒ කියන්නේ සුනාමි හටගන්නා පෙදෙසට තමයි බලපෑම වැඩි වෙන්නේ.

ප්‍රශ්නය - ආචාර්යතුමනි යම් හෙයකින් මේ පෘථිවිය භ්‍රමණය වීම නතර වුනොත් මොන වගේ තත්ත්වයක්‌ ඇති වේවිද?

පිළිතුර - නෑ. කවදාවත්ම එහෙම වෙන්නේනෑ. මේ පෘථිවිය හරියටම ගෝලාකාර නම් හරියටම මැද අක්‌ෂය වටා තමයි භ්‍රමණය වෙන්නේ. නමුත් මේ ක්‍රමය පාලනය වෙන ලෝදිය එහා මෙහා වුණොත් එයට අනුරූපීව භ්‍රමණයත් වෙනස්‌ වෙනවා. මෙය සාමාන්‍ය භෞතික විද්‍යාවේදීත් උගන්වන දෙයක්‌. එසේ වුණොත් යම් කිසි භූ චලන තත්ත්වයන් ඇතිවන්න පුලුවන්. සාමාන්‍යයෙන් අවුරුදු මිලියන 130 ක්‌ විතර යනවා මේ භ්‍රමණය අංශක පහකින් වෙනස්‌ වෙන්න. ඒ ඇරෙන්න භ්‍රමණය නතර වෙන්නේ නෑ.

ප්‍රශ්නය - නාසා ආයතනයේ පර්යේෂණ වැඩිවශයෙන් යොමු වෙන්නේ අඟහරු ග්‍රහයා ඉලක්‌ක කරගෙන. දැනට සොයාගත් නවතම දේවල් මොනවාද?

පිළිතුර - දැනට අපි යවපු නවතම රෝවර් එක තමයි කියුරියෝසිටි. එයින් අලුත් දේවල් තාම ලැබුණේ නෑ. නමුත් එය ඉතා හොඳින් ක්‍රියාත්මක වෙනවා. සාමාන්‍ය තොරතුරු විතරයි ලැබෙන්නේ. මවිත කරන තොරතුරු කිසිවක්‌ තවම නෑ. ජීවීන් සිටිනවාද යන්න ගැනත් කිසිදු තොරතුරු හමුවී නෑ තවමත්. කියුරියෝසිටි යෑවීමට පෙර අපි රෝවර් 3 ක්‌ යෑවුවා. ඔබ්ටස්‌ 5 ක්‌ දැම්මා. ඒවායින් අපි තොරතුරු ගන්නවා. නමුත් හොඳ පුවත් තාම අපිට ලැබී නෑ.

ප්‍රශ්නය - කියුරියෝසිටි කොපමණ කාලයක්‌ අඟහරු මත තියෙනවාද?

පිළිතුර - එය වර්ෂ 10 ක්‌. මූලික මෙහෙයුම වර්ෂ දෙකයි. දැන් එයින් මාස 10 ක්‌ ගතවෙලා. ඉන් පසුව වර්ෂ 08 ක්‌ මෙහෙයුම් කෙරෙනවා. එයිට එහාත් එයට දුවන්න පුලුවන්. මෙය ක්‍රියාත්මක වන්නේත් පරමානු බලයෙන්.

ප්‍ර්‍රශ්නය - හඳුනා නොගත් පියාසර වස්‌තූන් ගැන ඔබතුමා මොකක්‌ද දරන මතය.

පිළිතුර - එහෙම දේවල් නෑ කියලා තමයි මට හිතෙන්නේ. එහෙම ආවානම් මාධ්‍යවේදීන්ටත් ගොස්‌ බැලීමට හැකියාව තිබෙනවනේ. දකිනවා කියනවා විතරයි. මේවා ප්‍රබන්ධ. කුතුහලය නිසා තමයි මේ ගැන මෙච්චර කතා බහ ඇතිවෙන්නේ.

ප්‍රශ්නය - සමහරු කියනවා ලෝකයේ බලවත් රාජ්‍යයන් මේ තාක්‌ෂණය ලබාගෙන වැඩ ගන්නවා කියලත්.

පිළිතුර - ඒවා සියල්ල කතන්දර.. නිතර නිතර ඔය යානා එනව නම්, පිටසක්‌වල අය එනව නම් කවුරුත් ගණන් ගන්නෙ නෑ. ඒ නිසා මේ කුතුහලය නිසා තමයි සියලු කතන්දර නිර්මාණය වෙන්නේ.

ප්‍රශ්නය - විශ්වයේ ජීවීන් සිsටිනවා කියලා සෙවීමෙන් නාසා ආයතනය කුමක්‌ද බලාපොරොත්තු වෙන්නේ.

පිළිතුර - මිනිසා පහලවෙලා සාමාන්‍ය දියුණුවට පත්වෙච්ච කාලෙ ඉඳන් මේ ගැන උනන්දුවක්‌ ඇතිවෙලා තිබෙනවා. ඔවුන්ට අතීතයේ ඉඳන්ම මේ ග්‍රහලෝක තාරුකා පේනවා. පුරාණ ග්‍රීසියේ අය කෝපි බොන ගමන් අහස දිහා බලාගෙන කල්පනා කරාලු මේ වස්‌තුවල මොනවද තියෙන්නේ කියලා. මුල් කාලේ හිතුවලු මේ දෙවිවරු කියලා. පස්‌සේ දැනගත්තා මේවා ග්‍රහලෝක කියලා. අපි මේ විශ්වයේ තනියමද ඉන්නේ, වෙන කවුරුවත් නැද්ද, ඔන්න ඕකට පිළිතුර තමයි නාසා ආයතනය දෙන්නට හදන්නේ. ඒකට තමයි අපි මෙච්චර වියදම් කරන්නේ. ඒක හොයන්න තියන අමාරුව තමයි ඔවුන් ගොඩාක්‌ දුර ඉන්නේ. උදාහරණයක්‌ කිව්වොත් අපිට තියන ළඟම තරුව තමා ''ඇල්µd සෙන්ටෝරියෝ'' එයට ආලෝකයේ වේගයෙන් ගියත් අවුරුදු 4.2 ක්‌ යනවා. එසේ යන්නත් බැහැ. මෙය ඉතා අමාරු දෙයක්‌.

ප්‍රශ්නය - සක්‌වල වෙනත් ජීවියෙක්‌ සොයා ගැනීම අහක යන කරදරයක්‌ දාගැනීමක්‌ වෙන්න බැරිද?

පිළිතුර - එහෙම වෙන්නත් පුලුවන්. හැබැයි අපි එහෙම හිතන්නේ නෑ. නමුත් මේ දේවල් ගොඩාක්‌ දුර තියෙන්නේ. ඒකෙ ප්‍රහාරයක්‌ හෝ ඕනෑම දෙයක්‌ කරන්න මේවට ගිහින් කරන්න බැහැ. අවුරුදු දහස්‌ ගණනක්‌ යන වැඩක්‌.

ප්‍රශ්නය - ඇපලෝ 11 ට පස්‌සේ චන්ද්‍ර ගවේෂණයට ගියේ නැද්ද?

පිළිතුර - නෑ. ඇපලෝ 11, 12 චන්ද්‍රයාට ගියා. 13 ට යන්න බැරි වුණා. දෝෂයක්‌ නිසා මගට ගොස්‌ ආවා. ඒ ආකාරයෙන් 17 දක්‌aවා 07 ක්‌ ගියා. එකකට පමණයි යැමට නොහැකි වුණේ. 17 වැනි ඇපලෝ යානයේ ගියේ හැරිෂන් ස්‌මිත් කියලා කෙනෙක්‌. ඔහු තමයි සඳට ගිය ප්‍රථම විද්‍යාඥයා. අනෙක්‌ සියලු අය ගගනගාමීන්. ඔහුව මට හමුවෙලා තිබෙනවා. ඔහු එනවා අපේ විද්‍යාගාරයට. ඔහු ගොඩාක්‌ මා සමග කතා කළා. ඒ අතර ඉතා සිත් ගත් දෙයක්‌ මට තිබෙනවා. ඔබ දන්නවා හඳේ වායු ගෝලයක්‌ නෑ. දැන් අපිට ඉරෙන් රශ්මිය එනවා. අපි සෙවනට ගියොත් එය කුඩාවටයි අඩුවෙන්නේ. ඔහු කියනවා සඳේ කඳු තියෙනවා. සූර්යාලෝකය වැටෙනවා. සූර්යා වැටෙන පෙදෙස ගින්දර සේ රස්‌නෙයි. උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 120 ක්‌ විතර. නමුත් අර කඳුවල සෙවණට ගියහම උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක (-) සෘන දෙසිය ගණනක්‌. මෙය සත්‍යයක්‌. සිතාගන්න අපහසු. මෙයට හේතුව තමයි වායු ගෝලය නොමැතිවීම.

ප්‍රශ්නය - සඳට යන්න කොපමණ කාලයක්‌ ගත වෙනවද?

පිළිතුර - දින එකහමාරක්‌ පමණ.

ප්‍රශ්නය - අවසන් වශයෙන් ආචාර්යතුමනි ඔබ බෞද්ධයෙක්‌. බුදුරජාණන්වහන්සේ කියනවා මේ විශ්වය ගවේෂණය කරන්න එපා, එය අර්ථ රහිත දෙයක්‌. කෙළවරක්‌ නෑ. කියලා. නමුත් ඔබ යෙදෙන්නේ මේ කාර්යයේ. බෞද්ධයෙක්‌ විදියට මේ කාර්යය ඔබ දකින්නේ කොහොමද?

පිළිතුර - විශ්වය අනන්තයි කියලා අපේ ආගමේ තියෙනවා. ඒක ඇත්තක්‌ බව පේනවා. අපි එය අත්දකිනවා. මම මේ ගැන ලොස්‌ඇන්ජලීස්‌ විහාරයේත් දේශනයක්‌ කරලා තියනවා. මේ කතාව සත්‍යයක්‌, නිර්වාණය සොයා යන්නෙකුට මේ දේවල් අවශ්‍ය නැහැ. නමුත් අපි සැමගේ අරමුණ එය නොවෙයිනේ. අප කරන්නේ විද්‍යාත්මක පර්යේෂණ. මේ නිසා ඒ ආකාරයේ කෙනෙක්‌ට මේවා තේරුමක්‌ නැති දේවල්.


සාකච්ඡා කළේ
කුමුදු අබයදීර

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.