සෞදිය රුධිරයෙන් සව්දිය පිරීම

සෞදි අරාබියේ සිටින විදේශික ගෘහ සේවිකාවන් ගණන විසි ලක්‍ෂයකට වැඩිය. ඉන්දුනීසියාව, ශ්‍රී ලංකාව, පිලිපීනය යන රටවල කාන්තාවන්ගෙන් එම සංඛ්‍යාව සෑදී තිබේ. මෙයින් තුන්ලක්‍ෂයක්‌ දෙනා ශ්‍රී ලාංකිකයෝ වෙති. හත් ලක්‍ෂයක්‌ ඉන්දුනීසියානු කාන්තාවෝ වෙති. සොරකම, ස්‌ත්‍රී දූෂණය, මන්තර ගුරුකම් කිරීම, මත් ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම, මිනී මැරීම යන වැරැදිවලට සෞදි අරාබියේ නීතියට අනුව දඬුවම මරණය ය. මරණ දඬුවමට යටත් කළ යුතු කාන්තාව හෝ පිරිමියා නගරයේ විවෘත පිට්‌ටනියකට ගෙන ගොස්‌ දැත පිටුපසට තබා බැඳ, දැස කලු රෙදිපටියකින් බැඳ. මක්‌කම පිහිටි කබා පල්ලිය දිශාවට මුහුණ පා සිටින සේ දණ ගස්‌වනු ලැබේ. ඉන් පසු අඩි හතරකට වඩා දිග කඩුවකින් වේගවත් පහරක්‌ ඔහුගේ හෝ ඇයගේ හිස පිටුපස ගෙල කොටසට හෙළනු ලැබේ. එ විට හිස කඳින් වෙන් වී අඩි හත අටක්‌ හෝ ඊටත් වැඩි ප්‍රමාණයක්‌ බිම දිගේ රෝල් වී යයි. මිනීමැරීම, කුඩු ගෙන යැම, ස්‌ත්‍රී දූෂණය යනාදියට මරණ දඬුවම දෙනු ලැබේ. එහෙත් ස්‌ත්‍රී දූෂණයට දෙන හිස ගසා දැමීමේ දඬුවම හරියාකාරව ක්‍රියාත්මක වන්නේ නම් සෞදියේ ධනවත් මන්දිරවල ගෙහිමියන් සෑහෙන පිරිසකුත් එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ඇතැම් සේවකයනුත් අදටත් ජීවතුන් අතර සිටීමට ඇති ඉඩකඩ ඉතා අඩු ය. මෙහිදී 'ඇතැම් සේවකයන්' යන යෙදුම අවධාරණය කරනු ලැබේ.

අපේ දියණියක හා සහෝදරියක වන රිසානා මැරීමට පෙර ගිය අවුරුද්දේ ජුලි මාසයේ 20 සහ 27 අතර කාලය තුළදී ඉන්දුනීසියානු ගෘහ සේවිකාවක්‌ ද හිස ගසා ඝාතනය කරන ලදී. ලංකාවේ මුදලින් රුපියල් විසිහත්දාහේ පඩියට සෞදියට ගොස්‌ සිටි ඒ කාන්තාව සේවය කළ නිවසේ ස්‌වාමි දුව මළ යක්‍ෂණිය කි. ඇය නිතරම තම ගෘහ සේවිකාවට පහර දුන්නා ය. ඒ වධයෙන් බේරීමට බැරි තැන ගෘහ සේවිකාව කළේ මස්‌ කපන පිහියකින් ගෙදර ස්‌වාමි දුව කපා මැරීම ය. එම ගෘහ සේවිකාවගේ හිස ගසා මැරීමේදී කිසියම් ආකාරයක දඬුවම් අනුපිළිවෙළක්‌ ක්‍රියාත්මක වේ. එනම් ස්‌වාමි දුව ගෘහ සේවිකාවට අප්‍රමාණ වධ හිංසා කළාය. ඒ සඳහා දඬුවම වශයෙන් ගෘහ සේවිකාව තම ස්‌වාමි දුව මැරුවා ය. ඒ මිනී මැරුමට දඬුවම් වශයෙන් සෞදි උසාවිය ගෘහ සේවිකාව මැරී ය. එහෙත් රිසානා පිළිබඳ සිද්ධියේදී දරුවකු මැරීම පිළිබඳව ඇයට දඬුවම් දීමේ ක්‍රියාවලිය තුළ නෛතික අඩුපාඩුවක්‌ ඇත. රිසානා ඉහත කී මිනීමැරුම් චෝදනාවට ලක්‌වන විට බාල වයස්‌කාර දැරියකි. බාල වයස්‌කරුවන් කළ වැරැදිවලට ඔවුන් වැඩිහිටියන් වූ පසු දඬුවම් දෙන රටක්‌ නැත. මෙය සමාන වන්නේ බ්‍රොයිලර් ක්‍රමයට කුකුළන් ඇති කර මරාගෙන කෑමට ය. රිසානා රට ගියේ හොර පාස්‌පෝට්‌ එකකිනි. එනම් පාස්‌පෝට්‌ කන්තෝරුවට ව්‍යාජ තොරතුරු සපයා ලබා ගත් 'නීත්‍යනුකූල' හොර ගමන් බලපත්‍රයකිනි. දුප්පත් ගැහැනියකට අරාබි රටකට ගොස්‌ රැකියාවක්‌ කර මුදලක්‌ උපයා ගැනීම සඳහා අවුරුදු දෙක තුනක්‌ වයස අඩු වැඩි කර පාස්‌පොට්‌ එකක්‌ හැදීම ඒවා කරන බ්‍රොaකර්ලා ඒ තරම් විශාල පාපයක්‌ ලෙස සලකන්නේ නැත. ඒ නිසා මෙය නිතර සිදු වෙයි. එහෙත් ව්‍යාජ තොරතුරු සපයා ලබා ගන්නා ගමන් බලපත්‍රයක්‌ යනු ආගමන විගමන පනත උල්ලංඝනය කළ බවට සාක්‍ෂියක්‌ වශයෙන් යොදා ගත හැකි ලියෑවිල්ලකි.

සෞදි අරාබිය යනු ගෙල කැපීමෙන් මරණ දණ්‌ඩනය දීමේ ම්ලේච්ඡ ක්‍රමය අනුගමනය කරන දියුණු ධනවත් රටකි. හැම අවුරුද්දකම මෙසේ මරා දමන පිරිස ඉහළ නගී. ඇම්නෙස්‌ට්‌ ඉන්ටර්නැෂනල්, හියුමන් රයිට්‌ස්‌ වොච් වැනි බලසම්පන්න රාජ්‍ය නොවන සංවිධාන පමණක්‌ නොව එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමසාරිස්‌ කාර්යාලය පවා හැම විටම ඉල්ලන්නේ නීත්‍යනුකූල දඬුවමක්‌ වශයෙන් මරණ දණ්‌ඩනය දීම නවත්වන ලෙස ය. එහෙත් සෞදි ආණ්‌ඩුව මෙය තඹ සල්ලියකට ගණන් නො ගනී. ඔවුන්ට ඇමරිකන් හයිය තිබේ. එංගලන්තයේ උදව් තිබේ. සෞදියේ ඇති තෙල් ළිංවල පාලකයෝ යුරෝපීයයෝ ය. යුරෝපය සෞදියට විරුද්ධව වචනයක්‌ කතා කළොත් සෞදි රාජාණ්‌ඩුව තෙල් ළිං වහා ජනසතු කර යුරෝපීයයන්ගේ බෙල්ලෙන් අල්ලා එළියට දමනු ඇත. මේ නිසා හිස ගැසීම නොව එක දිගට උල තබා ගෘහ සේවිකාවන් මැරුවද නිහඬව සිටින්නට බටහිර බලවේගවලට සිදුව තිබේ. සෞදිය කාටවත් ණය නැත.

රිසානාගේ සිද්ධියේදී නිසි රාජ්‍ය තාන්ත්‍රික බලපෑමක්‌ සිදු කිරීමට බැරි වූ සෞදියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් වහාම කොළඹට ගෙන්වා සෝමාලියාවේ මුහුදු කොල්ලකරුවන් සිටින කොටසේ නව ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක්‌ පිහිටුවා එහි යෑවිය යුතු බව අපගේ යෝජනාව ය. මේ යෝජනාව ඉටු නො වන බව අපි දනිමු. ඒ සෝමාලියන් මුහුදු කොල්ලකාරයන් සමඟ සෙට්‌ වී ඒ කලාපයට ගැළපෙන ගේමක්‌ ගැසීමට අපේ තානාපති නිලධාරීන් තුළ ඇති හැකියාව නිසා නොව පත්තරවල අදහස්‌වලින් ආණ්‌ඩුවට වැඩක්‌ නැති නිසා ය.
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.