පාර්ලිමේන්තු බලතල කිසිවකුට
උදුරා ගැනීමට ඉඩදිය නොහැකියි
- විදේශ කටයුතු ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස්‌

දෝෂාභියෝග විවාදය

පාර්ලිමේන්තුව උත්තරීතර වන්නේ අප
නිත්‍යානුකූලව කටයුතු කළොත් පමණයි
- විපක්‌ෂ නායක රනිල් වික්‍රමසිංහ

රටේ දැන් කැලෑ නීතිය රජවී තිබෙනවා
- කරු ජයසූරිය (එජාප)

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ කොටස්‌
ඉවත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බැහැ
- නිමල් සිරිපාල ද සිල්වා

අජිත් අලහකෝන්, සිරිමන්ත රත්නසේකර

පාර්ලිමේන්තු බලතල කිසිවකුට උදුරා ගැනීමට ඉඩදිය නොහැකි බවද නරක පූර්වාදර්ශ නැවත නැවත සිදුවීම වැළැක්‌විය යුතු යෑයිද විදේශ කටයුතු ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස්‌ මහතා ඊයේ (10 දා) පාර්ලිමේන්තුවේදී පැවැසුවේය.

අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්‌ඩාරනායක මහත්මියට එරෙහි දෝෂාභියෝග චෝදනා විමර්ශනය කළ විශේෂ කාරක සභා වාර්තාව පිළිබඳ විවාදයට එක්‌වෙමින් විදේශ ඇමැතිවරයා එසේ කීය.

සෙංකෝලය තැන්පත් කළ පසුව කථානායක චමල් රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10 දා) පස්‌වරු 1.00 ට පාර්ලිමේන්තුව රැස්‌විණි.

නිවේදන, වාර්තා සහ ලිපි ලේඛන ඉදිරිපත් කළ පසුව අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්‌ඩාරනායක මහත්මියට එරෙහි විශ්වාසභංග යෝජනාව විමර්ශනය කර විශේෂ කාරක සභාවේ වාර්තාව විවාද කිරීම ආරම්භ කෙරිණි. විවාදය

ඇරැඹීමට පෙර විපක්‍ෂයේ සංවිධායක ජෝන් අමරතුංග මහතා රීති ප්‍රශ්නයක්‌ මතු කරමින් මෙසේ කීය.

මේ ඉදිරිපත් කරන යෝජනාවේ වාර්තාව අපට ලැබී නෑ. වාර්තාව ලැබී මසකට පසුවයි විවාදයට ගත යුත්තේ.

කථානායක -

තේරීම් කාරක සභා වාර්තාවද?

අමරතුංග මහතා -

ඔව්. එය අප සෑම කෙනෙකුගේම මේසය මත තිබිය යුතුයි. එවිට තමයි සභාගත කළා කියන්නේ. මෙය අධ්‍යයනය කරන්න අපට වාර්තාවක්‌ නෑ.

කථානායක -

ඒ කාරක සභා වාර්තාව දෙසැම්බර් 08 සභාගත කළා. එදා සිට ජනවාරි 01 වන විට මාසය සම්පූර්ණයි. 08 දාට පසුවයි මුද්‍රණය කළේ. එය මුද්‍රණය කර සියලුම පක්‍ෂ කාර්යාලවලට සහ මන්ත්‍රීවරුන්ට දුන්නා. මට ඒ බව පුස්‌තකාලයෙන් කිව්වා.

අමරතුංග මහතා -

දාහත්වැනිදා තමයි මේ වාර්තාව මුද්‍රණය කර අවසන් වුණේ. මන්ත්‍රීවරුන්ට නිත්‍යානුකූලව වාර්තාව ලැබුණේ 08 වැනිදා. ඔබතුමා සාධාරණ තීන්දු දෙන කථානායක කෙනෙක්‌. මාසයක්‌ කල් දෙන්නේ එය අධ්‍යයනය කර අඩුපාඩු මෙහිදී සාකච්ඡා කිරීමටයි. මාසයක්‌ හරියට කල් දෙන්න විවාදයට. මේකෙන් පැනලා යන්න අපේ බලාපොරොත්තුවක්‌ නෑ. අවනීතියක්‌ වුණා නම් කරුණු කාරණා පෙන්වා දෙන්නයි අපේ මන්ත්‍රීවරු ඇවිත් ඉන්නේ.

කථානායක -

මේ වාර්තාව දෙසැම්බර් 08 සභාගත කළා. මුද්‍රණය කරලා විපක්‍ෂ නායක කාර්යාලයට දැනුම් දුන්නා.

අමරතුංග මහතා -

දාහත්වැනිදා.

කථානායක -

ඔව්. වෙන්න ඇති. සභාගත කර මාසයක්‌ද මුද්‍රණය කළ පසු මාසයක්‌ ද කියා දැනගත යුතුයි.

විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා

පාර්ලිමේන්තුව උත්තරීතර නම් එය තහවුරු වන ලෙස අප කටයුතු කළ යුතුයි. ස්‌ථාවර නියෝග 78 (ඒ) හි සඳහන් වෙනවා වාර්තාව ඉදිරිපත් කළ දින සිට මසක්‌ ගියපසු කියා.

ඇමැතිතුමා එය ඉදිරිපත් කළා. වාර්තාව සභාගත කර මසකට පසුවයි එය විවාද කළ හැක්‌කේ.

සභාගත කිරීම නිසි ලෙස සිදුවන තුරු සිද්ධවන්නේ නෑ. පාර්ලිමේන්තුව උත්තරීතර වන්නේ අප නිත්‍යානුකූලව කටයුතු කළොත් තමයි. මේ තත්ත්වය සලකා බලා රජය පැත්තෙන් ප්‍රකාශයක්‌ කළ යුතුයි.

සභානායක නිමල් සිරිපාල ද සිල්වා මහතා -

පක්‍ෂ නායක රැස්‌වීම් දෙකක්‌ තියලා මේ දින වෙන්කර ගත්තේ. කිසිම විටක වාර්තාව ලැබුණේ නෑ මාසයක්‌ කල් ඕනෙ කියලා.

කථානායක -

මුද්‍රණය කළදා සිට මාසයක්‌ද, සභාගත කළ දා සිට මාසයක්‌ද කියා දැනගන්න ඕනේ.

සභානායක -

සභාගත කර මාසයක්‌ ගිය පසුවයි.

ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා මහතා

විශේෂ කාරක සභාව පාර්ලිමේන්තුවට වාර්තා කළ දිනයේ සිට මාසයක්‌ යැමට පෙර විවාද නොකළ යුතු බවයි සඳහන් වන්නේ. විපක්‍ෂ නායකතුමාගේ තර්කය මීට ගැලපෙන්නේ නෑ.

(ඝෝෂා කිරීම්)

කථානායක -

මෙය ඉතා වැදගත් අවස්‌ථාවක්‌ පාර්ලිමේන්තුව උත්තරීතර නම් ඒ විදිහට කවුරුත් හැසිරෙන්න.

විපක්‍ෂ නායක -

මුද්‍රණය කර තිබුණේ නෑ. මුද්‍රණය කරන්න යෝජනා කළා. මුද්‍රණය කළ පසුව එය සභාගත කළ යුතුයි. අපිට ලැබුණේ නෑ.

කථානායක -

පාර්ලිමේන්තුවට වාර්තා කළ දිනයේ සිට කියා මෙහි තිබෙන්නේ.

ඇමැති ඩිලාන් පෙරේරා මහතා -

වාර්තා කළ දිනයේ සිට මාසයක්‌ කියා පැහැදිලියි. පාර්ලිමේන්තුවට වාර්තා වූ පසුවයි මුද්‍රණය කරන්න නියෝග කරන්නේ.

මන්ත්‍රී ලක්‍ෂමන් කිරිඇල්ල මහතා

මන්ත්‍රීවරුන්ට වාර්තාව දෙසැම්බර් 08 වැනිදා ලැබුණාද?

කථානායක -

අටවැනිදා සියලුම මන්ත්‍රීවරුන්ට ලැබුණා කියා මම පිළිගන්නේ නෑ.

කිරිඇල්ල මහතා -

මාසයක්‌ දෙන්නේ මන්ත්‍රීවරුන්ට අධ්‍යයනය කරන්න.

ආණ්‌ඩු පක්‍ෂ මන්ත්‍රීවරු -

නෑ... නෑ...

කථානායක -

(ආණ්‌ඩුවේ මන්ත්‍රීවරුන්ගෙන්)

අධ්‍යනය කරන්න නෙවෙයිද දෙන්නේ.

කිරිඇල්ල මහතා -

එයාට දෙන්නේ බඩු ඔතන්න

ජෝෂප් මයිකල් පෙරේරා මහතා

මේ වාර්තාව හොඳට කියවා බලලයි අපි මෙහිදී තීරණය ගන්නේ. මාසයක්‌ කල් දෙන්නේ මේක ගැන හොඳින් අධ්‍යයනය කරන්න. ඒ කාලය දෙන්නේ මන්ත්‍රීවරුන්ට.

කථානායක -

සභාවට සභාගත කළ දිනයයි පැහැදිලිව තියෙන්නේ.

ජෝෂප් මයිකල් පෙරේරා මහතා

මේක එදා සභාගත කළ බව දන්නේ කොහොමද?.

කථානායක -

ඒ බව මේ වාර්තාවේ සඳහන් කර තිබෙනවා.

ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා -

ස්‌ථාවර නියෝග යටතේ අපි කටයුතු කරන්නේ. මේ කමිටු වාර්තා අනෙකුත් වාර්තා සමග සසඳන්න බෑ. ස්‌ථාවර නියෝග අනුව පැහැදිලියි වාර්තා කළ දිනයේ සිට එක්‌ මාසයක්‌ යන්න.

කථානායක -

එහෙම නම් ඇයි මේක එදා ඒ අවස්‌ථාවේ පෙන්වා දුන්නේ නැත්තේ.

රවි කරුණානායක මහතා -

එදා හැන්සාඩ් වාර්තාවන් මේ දක්‌වා මුද්‍රණය කරලා නෑ.

කථානායක -

පාර්ලිමේන්තුවට 08 දා ඉදිරිපත් කළා. ඉන් පසු මාසයක්‌ යනතුරු පාර්ලිමේන්තුව නිවාඩු. ඒ කාලේ කොහොමද මන්ත්‍රීවරුන්ට ලැබෙන්නෙ.

සභානායක -

මන්ත්‍රීවරු උනන්දුවක්‌ දක්‌වනවානම් ඒ අයගේ වගකීම තමයි ඒවා ලබාගැනීම.

සභානායක කාර්යාලයට මෙය ලැබුණා. අපි අපේ මන්ත්‍රීවරුන්ට දැනුම් දුන්නා පක්‍ෂ නායක රැස්‌වීමේදීවත් මේ බව දැනුම් දුන්නේ නෑ.

කථානායක -

ඒ කියන්නේ ඒ වෙද්දී ඔවුන්ට වාර්තාව ලැබී ඇති බවද?.

සභානායක -

ඔව්. දින දෙකක්‌ නොවේ. ඔවුන් දින තුනක්‌ විවාදය ඉල්ලුවා.

කථානායක -

වාර්තාව කියවූයේ නෑ කියන මන්ත්‍රීවරුන්ට මේ වාර්තාව ලැබී ඇත්ද කියා හොඳටම දැනගත යුතුයි. මම ලේකම්තුමාට උපදෙස්‌ දෙනවා පුස්‌තකාලයෙන් ඒ බව දැනගන්න කියලා.

තිස්‌ස අත්තනායක -

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලැබීම තමයි විය යුත්තේ. මට මේ වාර්තාව ලැබුනේ ජනවාරි 08 දා. සභාගත කරනවා කියන්නේ. ලියුම් පෙටිටියේ දමන එක නොවේ.

කථානායක -

මෙහි තියෙන්නේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුයි කියා. මන්ත්‍රීවරුන්ගේ අතට නොවේ.

ආණ්‌ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක දිනේෂ් ගුණවර්ධන මහතා -

මේ විශේෂ කාරක සභාවට තියෙන්නේ වාර්තා කිරීම කියන කාරණය. විශේෂ කාරක සභා සභාපතිතුමා දෙසැම්බර් 08 දා වාර්තා කළා.

මෙය විවාදයට ගැනීමට පක්‍ෂ නායක රැස්‌වීමේදී මේ අය එකඟ වුණා.

විපක්‍ෂ නායක -

සෑම ලිපි ලේඛණයක්‌ම සභාගත කළ යුතුයි. අපි ඉල්ලා සිටියේ මේක කල් තබන්න කියලා. මාසයක්‌ ගතවූ පසුව අපට මෙය විවාදයට ගත හැකියි. කිසිම ප්‍රශ්නයක්‌ නෑ.

අනුර කුමාර දිසානායක මහතා -

පක්‍ෂනායක රැස්‌වීම් කැඳවූ විට අප ඉල්ලා සිටියා. මේ දෝෂාභියෝග වාර්තාව විවාදයට නොගත යුතු බව. ඒ පිළිබඳ සටහන් කරන ලෙස අප කීවා. සංවිධායකතුමා කියනවා නම් අප එකඟවුණා කියා. අපි එකඟ වුණේ නෑ.

කථානායක -

මේ කරුණ ඉදිරිපත් කළ සෑම මන්ත්‍රීවරයෙක්‌ම මේ වාර්තාව අරගෙන ගිහින් තියෙනවා.

සභානායක -

මේ විවාදය මග හැර යන්න කරුණු හොයන්නයි විපක්‍ෂය හදන්නේ.

කථානායක -

මම වැඩිදුරටත් මේ අදහස්‌ අධ්‍යයනය කළ යුතුයි. එනිසා සභාව විනාඩි දහයකට අත්හිටුවනවා. (පස්‌වරු 2.10 ට සභාව අත්හිටුවීය) අනතුරුව පස්‌වරු 2.30ට යලි සභාව රැස්‌විය.

කතානායක -

මගේ නිගමනය මේකයි. සියලු කරුණු සලකා බැලුවා. ස්‌ථාවර නියෝගවලට අනුව කටයුතු කර ඇති බවට පිළිගනිමි. අධ්‍යයනය කිරීමට කල් ප්‍රමාණවත් නොවුනා නම් පක්‍ෂ නායක රැස්‌වීමේදී මේ බව මතු කළ යුතුව තිබුණා. විවාදය පවත්වාගෙන යැමට අවසර දෙමි.

ජෝශප් මයිකල් පෙරේරා මහතා

වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පසුව වාර්තාවට සංශෝධනයක්‌ ඉදිරිපත් කර තිබෙනවා. ඒ ගැන අපට දැනුම්දී නෑ.

කථානායක - ඒක සංශෝධනයක්‌ නොවේ. මුද්‍රණ දෝෂයක්‌.

විපක්‍ෂනායක -

චෝදනා 14 ක්‌ මන්ත්‍රීවරු 117 ක්‌ අත්සන් කර භාරදුන්නා. එනිසා එය ඒ විදියට කරලා නෑ. චෝදනා නවයක්‌ අත්හිටුවෙලා. චෝදනා පහක්‌ විභාග කරලා අපි කාරක සභාවට බලය දුන්නේ චෝදනා 14 කට. අපට මේ 14 ගැනම වාර්තා කළ යුතුයි. නැතිනම් මෙය අංගසම්පූර්ණ වාර්තාවක්‌ වන්නේ නෑ. සම්පූර්ණ වාර්තාවක්‌ නැතුව විවාද කරන්න බෑ.

සභානායක - නිමල් සිරිපාල ද සිල්වා මහතා -

වාර්තා අන්තර්ගතය පිළිබඳ කරුණු විවාදයේ කතා කළ හැක. සභාව තමයි තීරණය කරන්නේ. මේ වාර්තාව ගැන එනිසා මම මගේ කතාව ආරම්භ කරනවා.

ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා -

මේක සෙල්ලමක්‌ නොවේ. අගවිනිසුරුතුමියගේ අනාගතය ගැන සාකච්ඡා කරනවා. එහෙමනම් නේ මේ ශිරාණි බණ්‌ඩාරනායක මහත්මිය මේක අද අධිකරණයක්‌ ලෙසයි පවත්වන්නේ.

අනුර කුමාර දිසානායක මහතා -

හත්වැනිදා හා නවවැනිදා රැස්‌වූ පක්‍ෂ නායක රැස්‌වීමේදී අපි ඉතා පැහැදිලිව ප්‍රකාශ කළා මේ ලියවිල්ල කිසිසේත් පාර්ලිමේන්තුවේ විවාද නොකළ යුතුයි කියා. එසේ පවසමින් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධාන මන්ත්‍රීවරු සභාවෙන් පිටව ගියහ.

නිමල් සිරිපාල ද සිල්වා මහතා -

මෙය අප පාර්ලිමේන්තු ඉතිහාසයේ ඉතා වැදගත් අවස්‌ථාවක්‌. ජනරජ ව්‍යවස්‌ථාව අනුවත් රීති සම්පාදනය කළේ කොහොමද ස්‌ථාවර නියෝග තේරීම් කමිටු නෑ. යෝජනා ස්‌ථිරත්වයකින් විනිසුරුවරු ඉවත් කළ හැකිවුණා. ස්‌ථාවර නියෝග 78 හදිසියේ හැදුවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා හැදූ නීතියේ සඳහන් වන්නේ නීතිය හෝ ස්‌ථාවර නියෝග අනුව කීය. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ කොටසක්‌ ඉවත් කිරීමට ශේ්‍රෂ්ඨාධිකරණයට බෑ. එය කළ හැක්‌කේ පාර්ලිමේන්තුවට.

එය ව්‍යවස්‌ථාවට අර්ථ නිරූපනයක්‌ නොවේ. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සංශෝධනය කිරීමක්‌. ඒ බලතල අධිකරණයට නෑ. දහඅටවැනි ව්‍යවස්‌ථා සංශෝධනයේදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර සභාපති ලෙස ශිරාන් බණ්‌ඩාරනායක මහත්මියත් වාඩි වුණා. එතුමිය ජනාධිපතිතුමාට බලය දුන්නා. ජනාධිපති බලතල අනුව එවැනි තැනැත්තෙක්‌ ඉවත් කරන්න.

දයාසිරි ජයසේකර මහතා (එ.ජා.ප.) -

මේ වාර්තාවේ අගවිනිසුරුවරිය වැරැදිකරු කර නැහැ කියා නියෝජ්‍ය කථානායකවරයා කියා තිබුණා. වරදකරු කරලා නැත්නම් විවාද කරන්න බැහැ.

කථානායක -

විවාදය පැවැත්වීමට තීරණය කර අවසන්.

සභානායක නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් දෝෂාභියෝගය විවාදය කිරීම සඳහා කළ යෝජනාව ඇමැති තිස්‌ස කරලියද්ද මහතා ස්‌ථිර කළේය.

දයාසිරි ජයසේකර මහතා -

ඔබතුමා තමයි ඩී. ඒ. රාජපක්‍ෂ මහතාගේ එකම පුත්‍රරත්නය.

කථානායක -

නොදන්නා දේවල් කතාකරන්න එපා.

දයාසිරි ජයසේකර මහතා -

වැඩිමහල් පුත්‍රරත්නය. සභානායකතුමා සාමාන්‍ය නීති ක්‍රියාවලිය ඉදිරිපත් කළා. අගවිනිසුරුවරිය වරදකරු කිරීමට කමිටු යෝජනාවේ ඇතැයි සභානායකතුමා කීවේ නෑ. අගවිනිසුරුවරිය තවමත් අගවිනිසුරුවරියයි. අප විවාද කරද්දී එය සිහියේ තබාගත යුතුයි.

කථානායක -

සභානායකතුමා එය ඉදිරිපත් කළා මේ විවාදය ගෞරවනීය ලෙස කරන්න. අනවශ්‍ය වචන යොදන්න එපා.

පත්කළ මන්ත්‍රී ජෝෂප් මයිකල් පෙරේරා මහතා (එ.ජා.ප.) -

අගවිනිසුරුවරියට චෝදනා 14 ක්‌ තිබුණා. ඒ සියලු චෝදනා විභාග කිරීමට විශේෂ කාරක සභාවට අවසර දී තිබුණා. ඒත් ඔවුන් චෝදනා 5 ක්‌ පමණක්‌ විභාග කළේ කොහොමද? එනිසා මේ වාර්තාව අසත්‍ය වාර්තාවක්‌. මේ වාර්තාව පිළිගන්න බැහැ.

විදේශ කටයුතු ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස්‌ මහතා -

පාර්ලිමේන්තුවට තම අභිමතය පරිදි ක්‍රියාකිරීමට හැකියාව තිබෙනවා. නීති සම්පාදනය කරන්නේ පාර්ලිමේන්තුව. එය අධිකරණයට භාරදෙන්න බෑ. විශේෂ කාරක සභාව කරන්නේ විමර්ශනය කරලා කරුණු සොයාගැනීම විතරයි.

මේ සම්බන්ධව අධිකරණය අධිකරණය විසින්ම නොමග යවා තිබෙනවා. අධිකරණ ක්‍රියාමාර්ගයක සහ විමර්ශන කාරක සභාවක වෙනස අප තේරුම්ගත යුතුයි. පාර්ලිමේන්තුවේ බලතල වෙන කිසිම කෙනකුට උදුරාගන්න දෙන්න බෑ. නරක පූර්වාදර්ශ නැවත නැවත ඇතිවීම අප වැළැක්‌විය යුතුයි. අපට තිබෙන උරුමය අප රැකගත යුතුයි.

නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්‌කොඩි මහතා මුලසුනට පැමිණේ.

පත්කළ මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා (ද්‍ර.ජා.ස.) -

අද කලු දිනයක්‌ නිසා මම කළු කෝට්‌ එකක්‌ සහ කළු ටයි පටියක්‌ ඇඳ කතාකරනවා. ශ්‍රේෂ්ඨාධිකරණය ඉතා හොඳින් මේ සම්බන්ධව විමසීමෙන් සිටියා. මේ රට ප්‍රජාතන්ත්‍රවාදී රටක්‌. අධිකරණය යකාට යවන්න ඉඩ දෙන්න අපිට බැහැ. වෙනත් අයෙක්‌ ඊට නායකත්වය දුන්නාද කියා මම අහනවා. මේ දෝෂාභියෝගයට විරුද්ධව අපි ඡන්දය දෙනවා.

නියෝජ්‍ය කාරක සභා සභාපති චන්ද්‍රකුමාර මුරුගේසු මහතා මුලසුනට පැමිණේ.

ඛනිජ තෙල් කර්මාන්ත ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා -

මෙය අධිකරණ කටයුත්තක්‌ නෙමෙයි. මෙය විනය පරීක්‍ෂණයක්‌. පළමු, සිවුවන හා පස්‌වන චෝදනා සම්බන්ධයෙන් කරුණු ප්‍රමාණාත්මකව නිරාවරණය කරගෙන තිබෙනවා. අප පාර්ලිමේන්තුවේ ගරුත්වය රකිනවා. අප මෙතනට ආවේ නිකන් නෙවෙයි.

අරුන්දික ප්‍රනාන්දු මහතා (එ.ජ.නි.ස.)

පාර්ලිමේන්තුව තමයි උත්තරීතර. ජනතා බලය පාර්ලිමේන්තුවයි. පාර්ලිමේන්තුව හරහා ඕනෑම තරාතිරමක කෙනෙක්‌ පාර්ලිමේන්තුව තුළින් ගෙදර යවන්න පාර්ලිමේන්තුවට පුලුවන්. අගවිනිසුරුවරිය වැරදි කර ඇත්නම් ව්‍යවස්‌ථාවෙන් ජනතාවට බලය දී තිබෙනවා ඇයට එරෙහිව කටයුතු කරන්න.

කුරුණෑගල දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී (එ.ජා.ප.) අකිල විරාඡ් කාරියවසම් මහතා -

මේ දෝෂාභියෝගය අද මුළු රටේම කතිකාවක්‌ බවට පත්වෙලා. කමිටු ලේකම්වරයා විසින් ද මේ වාර්තාව සකස්‌ කළේ? නැතිනම් පාර්ලිමේන්තුවට බෝම්බ ගසපු නඩු පවා කතා කළා. ළඟදි ගෞරව උපාධිය සඳහා විභාගයට පෙනී සිටිනවා.

මම අනෙක්‌ අය වගේ නිකන් ආචාර්ය පට්‌ටම් ගන්නේ නැහැ. එය ගන්නේ සුදුසුකම් ඇතුවයි.

ගම්පහ දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී කරු ජයසූරිය මහතා (එ.ජා.ප.) -

ආණ්‌ඩුව අධිකරණ පද්ධතිය තම ග්‍රහණයට නතුකර ගැනීමට උත්සාහ කරනවා. වත්මන් ආණ්‌ඩුව පාර්ලිමේන්තුව තුළ තුනෙන් දෙකක බලයක්‌ හිමිකර ගත්තේ මහජන කැමැත්ත අනුව නොවෙයි. වරදාන වරප්‍රසාද ලබාදී ඔවුන් විපක්‍ෂයේ මන්ත්‍රීවරුන්ව බිලිබා ගනිමින් තුනෙන් දෙකේ බලය හිමිකර ගත්aතා.

අද පාර්ලිමේන්තුව තුළත් විපක්‍ෂයේ මන්ත්‍රීවරුන්ට තම අදහස්‌ ප්‍රකාශ කිරීමට නොහැකි තත්ත්වයක්‌ උදාවෙලා. රට තුළ කැලෑ නීතිය රජ වී තිබෙනවා.

(අද (11 දා) පස්‌වරු 1.30 දක්‌වා විවාදය කල්තැබිණි.)

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.