සංස්‌කරණය : නාරද නිශ්ශංක

කඩවුණු පොරොන්දුවට කලින් උපන් සිංහල සිනමාව

සිංහල සිනමාවට, මෙම 2013 වසරේ හැට පස්‌ වසරක්‌ සපිරෙන්නේ යෑයි සතුටින් සමරන්නෙමු. එසේ ගණිනු ලබන්නේ පළමුවැනි සිංහල කතා නාද වෘතාන්ත චිත්‍රපටය මහජන ප්‍රදර්ශනය සඳහා තිරගතවූ 1947 ජනවාරි 21 වැනිදා පටන්ය. ඉකුත් විසිවැනි සියවසේ මුල් කාලයේ රට පුරා ජනප්‍රිය නාට්‍යයක්‌ව වැජැඹුණු මීගමුවේ මිනර්වා නාට්‍ය සංගමයේ 'කඩවුණු පොරොන්දුව' නාට්‍යය එනමින්ම චිත්‍රපටයක්‌ ලෙස නිපදවා තිරගත කිරීමෙන් 'ප්‍රථම සිංහල චිත්‍රපටය' යන නාමය ඉතිහාස ගතවිය.

චිත්‍රකලා මුවිටෝන් නමින් සමාගමක්‌ පිහිටුවා ගෙන 'කඩවුණු පොරොන්දුව සිංහල චිත්‍රපට වෘතාන්තය නිෂ්පාදනය කළ ක¹නේ එස්‌. එම්. නායගම් (සුන්දරම් පිල්ලෙයි මදුර නායගම්) 'සිංහල සිනමාවේ පියා' යෑයි විරුදාවලිය හිමිකර ගත්තේය. 'කඩවුණු පොරොන්දුව' අධ්‍යක්‍ෂණය කළ ෙ-. සිංහ (ජෝතිත් සිං) හෙවත් ජෝතිෂ් සිංහ ප්‍රථම සිංහල චිත්‍රපට අධ්‍යක්‍ෂවරයා විය. ඒ කාලයේ ඉන්දියාවේ ජනප්‍රිය අධ්‍යක්‍ෂවරයකුව සිටි ජෝතිත්. සිං බෙංගාල ජාතිකයෙකි.



බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න, රුක්‌මනී දේවි, එඩී ජයමාන්න, පීටර් පීරිස්‌, ජෙමිනි කාන්තා, ස්‌ටැන්ලි මල්ලවආරච්චි, රූපා දේවි, ඡේ. බී. පෙරේරා, ඇසිලින් බාලසූරිය, ඩී. නිමෝතියස්‌ පෙරේරා, ජෝ ජයකොඩි, මීරියම් ජයමාන්න, හියුගෝ ප්‍රනාන්දු, එව්ලින් බාලසූරිය, බර්ට්‍රම් ප්‍රනාන්දු, විසිඩෝර් පොන්සේකා, වීඩා පෙරේරා, ප්‍රබාකර් ආදීන් සිංහල සිනමාඹරේ හාපුරා පෑවූ තාරකා පෙළ වූහ.

ප්‍රථම සිංහල කතානාද වෘතාන්ත චිත්‍රපටය 1947 ජනවාරි 21 වැනිදා ඇරැඹුණද සිංහල සිනමාවේ ආරම්භය ඉන් එහාට දිවෙන බැව් පෙන්වා දීම මෙම ලිපියේ අරමුණයි.

සිංහල සිනමාවේ ආරම්භය කවදාද? යන ප්‍රශ්නය නගන විට 'කඩවුණු පොරොන්දුවෙන්' එහාට සිතීමට එමට කරුණු කාරණා සොයා ගත හැකිය. මෙකී විමසුම දෙයාකාරයකින් විචාරීම හේතු සාධකය. එනම් ප්‍රථම නිහඬ සිංහල චිත්‍රපටයේ  ආරම්භය යනුවෙන් ඉනික්‌බිති ප්‍රථම සිංහල කතා නාද චිත්‍රපටයේ ආරම්භය යනුවෙනුත් සිංහල සිනමාවේ ඉතිහාසය පුළුල් කරගැනීම යුක්‌ති යුක්‌තය. ඒ සඳහා සෑහෙන ප්‍රවෘත්තීන් ඇත්තේය. ලෝක සිනමාවේ ආරම්භය ද සිදු වූයේ එයාකාරයෙනි.

ලෝකයේ ප්‍රථම නිහඬ චිත්‍රපටය මහජනයාට ප්‍රදර්ශනය කොට ඇත්තේ 1895 දීය. ඒ අනුව ගණින කළ ප්‍රථම සිංහල කතා නාද වෘතාන්ත චිත්‍රපටය තිරගත වනවිට ලෝක සිනමාව අවුරුදු පනස්‌දෙකක්‌ මුහුකුරා ගිය කලා කර්මාන්තයක්‌ව පැවතිණ. මින් පෙනී යන්නේ සිංහල සිනමාවේ ආරම්භය ලෝක සිනමාවේ අඩසිය වසක නූතන තාක්‍ෂණ වර්ධනය හමුවේ ළාබාල ආරම්භයක්‌ වූ බවයි. එනම් ලොව චිත්‍රපට කලාව අරඹා අඩසිය වසකුත් දැ අවුරුද්දක ප්‍රමාදයකට පසුව සිංහල වෘතාන්ත චිත්‍රපට (ෙeaඑමරු සෙකපි) කලාව බිහිවුණ බවයි.

සිංහල සිනමාවේ උපත හෙවත් දේශීය සිනමාවක්‌ බිහිකර ගැනීමේ සංකල්පනයේ උපත සෙවීමට නම් අප 'කඩවුණු පොරොන්දුවෙන්' එහාට කල්පනා කළ යුතුය. ඒ අනුව සිංහල සිනමාවේ උපත සිදුවූයේ අදට (2013) අවුරුදු අනූවකට ඉහතදී යෑයි ප්‍රකාශ කිරීම යුක්‌ති සහගතය. එනම් 'කඩවුණු පොරොන්දුව' තිරගත වීමට අවුරුදු විසිහතරකට කලිනි. විසිවැනි සියවසේ මුල් කාර්තුව අගදී එනම් 1923 දී සිංහල සිනමාවක්‌ බිහිකර ගැනීමේ කළල රූපය මෙරට රසික පිරිස්‌ අතළොස්‌සක්‌ අතරේ පිළිසිඳ ගෙන ඇත්තාහ. සිංහල සහ අන්‍ය ජාතික පිරිසක්‌ සිංහල චිත්‍රපටයක්‌ නිෂ්පාදනය කර ගැනීමේ නවමු අත්හදා බැලීමේ අසහාය ප්‍රයාසයේ යෙදුණාහ. 1923 දී පටන් ඇරැඹි එම සිනමා ප්‍රයත්නය 1947 දී 'කඩවුණු පොරොන්දුව' නමැති ළදරුවා පිළිසිඳ ගැනීමට හේතුවූ කළල රූපී අවස්‌ථාව වීය.

සිංහල සිනමාවේ එම දුරාතීතය පිළිබඳව කරුණු ප්‍රවීණ පුවත්පත් කතුවරයකු හා සිනමා ලේඛකයකු වන ආතර් යූ. අමරසේනයන්ගේ 'සිංහල සිනමා වංශයෙන්' පෙන්වා දෙයි. එක්‌ දහස්‌ නවසිය විසි ගණන්වලදී සිංහල චිත්‍රපටයක්‌ නිපදවා ගැනීම සඳහා ව්‍යාවෘතවූ බැව් එම ග්‍රන්ථයෙන් හෙළි කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රථමයෙන් සිංහල චිත්‍රපටයක්‌ තැනීම ඇරැඹුණේ "රාජකීය වික්‍රමය" (Rදහ්ක Adඩැබඑමරු) නමින් චිත්‍රපටයක නිෂ්පාදන කටයුතු ඇරැඹීමෙනි. එහි සම්පූර්ණ නාමය "රාජකීය වික්‍රමය නොහොත් ශාන්තා" යන්නය. 'ශාන්තා' යනු රජකුමරියකගේ නමකි. එය නිහඬ චිත්‍රපටයක්‌ (Sසකැබ සෙකප) වීය.

ඇත්ත වශයෙන් මින් පෙනීයන්නේ ප්‍රථම කතා නාද සිංහල චිත්‍රපටයේ උපතට කලින් නිහඬ සිංහල චිත්‍රපටයක උපත සිදුවී ඇති බවයි. එම නිසා සිංහල සිනමාවේ උපත සිදුවූයේ මීට අවුරුදු අනූවකට පෙර බව පිළිගත යුතුය.

හාපුරා කියා සිංහල චිත්‍රපටයක්‌ ලෙසින් "රාජකීය වික්‍රමය" චිත්‍රපට ගත කිරීම ඇරැඹුණේ 1923 දීය. මුලින්ම චිත්‍රපට ගත කිරීම් සිදු කළේ කොළඹ බම්බලපිටියේ හිස්‌ව තිබූ බංගලාවකදී බැව් 'ලංකා චිත්‍රපට' පිළිබඳව සටහනක්‌ ටයිම්ස්‌ ඔµa සිලෝන් වාර්ෂිකයට (1963) ලියූ එල්. ඕ. ඩී. සිල්වා සඳහන් කරයි. එම චිත්‍රපටයේ කැමරා ගත කිරීම් කොළඹ දී හා කෝට්‌ටේ නාවල දියවන්නා ඔය ඉවුරේදී ද සිදුකොට ඇත.

සිංහල සිනමාවේ ආරම්භය ඇරැඹෙන්නේ 'රාජකීය වික්‍රමය' චිත්‍රපටයෙන් නිසා එහි නිර්මාතෘවරුන් හා පුරෝගාමීන් කවුරුන්දැයි දැන ගැනීම කෘතවේදී සිහිකිරීමක්‌ වන්නේය.

බෝරා ජාතිකයකු වූ ටී. ඒ. ෙ-. නුර්බායි "රාජකීය වික්‍රමයේ" නිෂ්පාදකයා විය. ඔහු පිටරට චිත්‍රපට ගෙන්වා මෙහි සිනමා ශාලාවල පෙන්වීමේ ව්‍යාපාරිකයකුව සිටියේය. නුර්බායි සිංහල චිත්‍රපටයක්‌ නිපදවීමට පෙළැඹුණේ ඔහු සිනමාවට සම්බන්ධ ව්‍යාපාරිකයකුව සිටි හෙයිනි.

'රාජකීය වික්‍රමය' අධ්‍යක්‍ෂණය කළේ ගුප්ත නමැති ඉන්දියානු ජාතිකයෙකි. ඔහු දකුණු ඉන්දියානු චිත්‍රපට අධ්‍යක්‍ෂවරයෙකි. "රාජකීය වික්‍රමය" කැමරා ශිල්පියා වූයේ ද ගුප්තය. චිත්‍රපටයේ ප්‍රධාන කාර්යයන් දෙක සඳහා ඉන්දියාවෙන් ශිල්පියකු ගෙන්වා ගැනීමට සිදුවූයේ එක්‌දහස්‌ නවසිය විසි ගණන්වලදී ඒ සඳහා සිනමා තාක්‍ෂණ ශිල්පීන් මෙරටේ විරලවීම නිසා විය යුතුය. පසු කාලයේද ලංකාවේ චිත්‍රපට තැනීමේ මුල් යුගයේ ඒවායේ තාක්‍ෂණ කාර්මික ශිල්පීන් වූයේ ඉන්දියානු ජාතිකයන්ය.

ශ්‍රී ලංකාවේ ප්‍රථම සිංහල චිත්‍රපටයේ ප්‍රධාන නළුවා වූයේ ශ්‍රී ලංකා දේශපාලන තලයේ නමක්‌ තැබූ වාමාංශික නායකයකු වූ මුදල් ඇමැතිවරයකු වූ දිවංගත ආචාර්ය ඇන්. ඇම්. පෙරේරාය.

ප්‍රධාන නිළි චරිතය රඟපෑවේ ලන්සි තරුණියක වූ සිබිල්පිම් නමැති රූමතියකි.

ප්‍රථම සිංහල චිත්‍රපට තාරකා වැළට එක්‌වූ සෙසු නළු නිළියන් වූයේ ග්‍රේෂන් පෙරේරා, එරික්‌ වීරසේකර, ඇන්. ජී. ඩී. ඇල්බට්‌ සිල්වා, රෙජිනෝල්ඩ් පෙරේරා, පර්සි පෙරේරා සහ ඩේවිඩ් මැනුවෙල් යන ශිල්පීන්ය.

නාට්‍ය රඟදැක්‌වීම සහ නූර්ති ගී ගායනා පැවැති එම කාලයේ කාන්තාවෝ රඟපෑමේ නොයෙදුණාහ. නාට්‍යවල ස්‌ත්‍රි චරිත රඟපෑවේ පිරිමින්ය. එකල සිංහල සමාජයේ ස්‌ත්‍රීන් රඟපෑමේ නියෑළීමක්‌ නොවීය. එවන් සමාජ තලයක්‌ පවතිද්දී චිත්‍රපටයේ රඟපෑම සඳහා සිබිල් පිම් යොදවා ගැනීම නිෂ්පාදක නූර්බායිගේ සහ අධ්‍යක්‍ෂක ගුප්තගේ මහත් සපන්කමක්‌ විය යුතුය. ඊට හේතුවන්නට ඇත්තේ සිබිල් ලන්සි කාන්තාවක්‌ වීම විය හැකියි. එම සමාජ පටලය කඩාගෙන සිංහල කතා නාද චිත්‍රපටයෙන් රුක්‌මනී දේවිය ද නාට්‍ය වේදිකාවෙන් රද්දොළුවේ ෙ-න් නෝනා ද රංගනයට එක්‌වීමෙන් ඉතිහාස ගතවූහ.

'රාජකීය වික්‍රමය' චිත්‍රපටයේ දර්ශන තල ඉදිකිරීම් ආදි කලා අධ්‍යක්‍ෂණය කළේ සුප්‍රසිද්ධ සිතුවම් ශිල්පියකු වූ සාර්ලිස්‌ මාස්‌ටර්ය. සහාය කලා අධ්‍යක්‍ෂක ලෙස ජී. ඇස්‌. ප්‍රනාන්දු කටයුතු කළේය.

එම ප්‍රථම සිංහල නිහඬ චිත්‍රපටය ලංකාවේ රසිකයන්ට නැරඹීමට අවස්‌ථාවක්‌ උදා නොවීය. සිංහල සිනමා ඉතිහාසයේ එය අවාසනාවන්ත සිදු වීමකි. ප්‍රථම සිංහල නිහඬ චිත්‍රපටය දැක ගැනීමට හැකි වූයේ විදේශිකයන්ටය. 1925 දී බොම්බාය සහ සිංගප්පූරුවේ ප්‍රදර්ශනය කළ 'රාජකීය වික්‍රමය' බොම්බායේ දී ගින්නකින් විනාශ විය. එය හදිසි ගින්නක්‌ නොව අදිසි ගින්නකැයි හෙළිවේ. එකල මෙරට චිත්‍රපට ප්‍රදර්ශකයෙක්‌ ව නිෂ්පාදක නුර්බායිට එරෙහිව මෙහි චිත්‍රපට ප්‍රදර්ශක ව්‍යාපාරිකයෙක්‌ නැඟී සිටීම හදිසි ගින්නට හේතු වී ඇත. ඉන්දියාවේ චිත්‍රපට නිෂ්පාදකයෙක්‌ ද එම 'ඉර්ෂියා ගින්නට' සහයවී යෑයි පැවසේ. පුදුමයට තවත් කරුණක්‌ නම් 'රාජකීය වික්‍රමය' ලාංකිකයන්ට දැක ගැනීම 'ශ්‍රී ලංකාවට සැපත්වීමට' ඔන්න මෙන්න කියා තිබියදී ගින්න හටගැනීමය.

එදා "රාජකීය වික්‍රමය" චිත්‍රපටයේ
ප්‍රධාන චරිතය රගපෑ ආචාර්ය ඇන්.ඇම් පෙරේරා

ශ්‍රී ලාංකිකයිනට හාපුරා කියා නැරැඹීමට නිපදවූ සිංහල නළු නිළියන් රඟපෑ, ලංකාවේ පසුබිම් කැමරාවට නැඟුණ සිංහල චිත්‍රපටය ගිනි දෙවියා සිප ගැනීමෙන් අළුබවට පත්වූවත් එම නෑඹුල් නිෂ්පාදන ක්‍රියාදාමය සිංහල සිනමා වංශ කතාවේ මුලින්ම සටහන් වන්නේය. දැවුණේ භෞතික වස්‌තුවක්‌ වූ 'සැලෝලයිට්‌ පටයක්‌' වුවත් සිංහල සිනමාවේ ප්‍රථම ප්‍රයත්නය පිළිබඳ අනුවේදනීය සටහන් මැකී නොයන්නේය.

ලොව ප්‍රථම නිහඬ චිත්‍රපටය වූ 1895 දී ප්‍රංශයේ ලුමියර් සහෝදරයන්ගේ (ලිමෙයිර් ඛසපැරු ඊරදඑයෑරි) නිෂ්පාදනය ලෝක සිනමා ඉතිහාසයෙන් මැකී නොයන බැව්ද දැන ගත යුත්තේය.

1925 න් පසුව යළි සිංහල චිත්‍රපටයක්‌ නිපදවීමේ ප්‍රයත්නයක්‌ කොළඹ මරදානෙන් දිස්‌විය. ප්‍රකට සංගීතඥයකු වූ මරදානේ නිවැසි ඩබ්ලිව්. දොන් එඩ්වඩ් විසින් 'පලිගැනීම'  නමින් සිංහල නිහඬ චිත්‍රපටයක්‌ නිෂ්පාදනය කරන ලදී. සැබැවින්ම ශ්‍රී ලාංකිකයන්ට දැක ගැන්මට ලැබුණු පළමුවැනි සිංහල නිහඬ චිත්‍රපටය එය විය. 1936 දී කොළඹ සිනමා හලක (කොටහේනේ ගෙයිටි) එය ප්‍රදර්ශනය කෙරුණේ ඉංග්‍රීසි චිත්‍රපටයකට අමතරවය. එවකට වේදිකාවේ ජනප්‍රියව වැජැඹුණු ඇන්. ආර්. ඩයස්‌ දොන් එඩ්වඩ්, ජෝශප් සංඝපාල, ශ්‍රියා කාන්තා, එච්. ඩබ්ලිව්, සුගතදාස, ඩී. ඒ. සංඝපාල එහි රඟපෑ නිළු නිළියෝ වූහ.

'පලිගැනීම' චිත්‍රපටයේ තවත් විශේෂයක්‌ ද වන්නේ එය ලාංකිකයන්ගේ ශිල්පීය දැනුමෙන්ම නිෂ්පාදනය කර ගත්තක්‌ නිසාය. චිත්‍රපටය නිෂ්පාදනය කළේත් අධ්‍යක්‍ෂණය සහ කැමරාව මෙහෙය වූයේත් එඩ්වඩ් කලා රසඥයාණන්ය. සිනමා කැමරාකරුවකු වීමේ භාග්‍ය ලැබීමට එඩ්වඩ්ට සිනමා තාක්‍ෂණය දුලබ කාලයේ මඟ පෑදුණේ ඔහු කොළඹ පොටෝ සාප්පුවක්‌ පවත්වා ගෙන යැමෙන් ලද තාක්‍ෂණ ඥනය නිසා විය හැක.

මෙයට පසුව සිව් වසරක්‌ ඇවෑමෙන් එනම් 1937 දී සිංහල චිත්‍රපටයක්‌ තැනීමට තවත් පිරිසක්‌ ප්‍රභෝත්සාහයක යෙදුනහ. ඉහළ පෙළේ ව්‍යාපාරිකයන් වූ සී. ඒ. ගාඩිනර්, ඇම්. සවරිමුත්තු, ඇස්‌. පී. පරෙක්‌ යන අය සමාගමක්‌ පිහිටුවා ගෙන 'ශ්‍රී වික්‍රම රාජසිංහ' නමින් සිංහල චිත්‍රපටයක්‌ නිපදවන්නට තැත් කළේය. ප්‍රවීණ ලේඛක ඩී. වී. සෙනෙවිරත්නයන් සහාය කරගෙන ඔහුගේ එම කතාව චිත්‍රපට ගත කිරීමට සැලසුම් කළත් දෙවැනි ලෝක මහ යුද්ධය (1944) නිසා එය ලත් තැනම ලොප්වී ගියේය.

මෙසේම යුද බිය නිසා 1940 දී කතානාද චිත්‍රපටයක්‌ තැනීමට ගත් උත්සාහයක්‌ද අතහැරුණේය. "ලෝක දෙකක්‌" නමින් තනා නාද චිත්‍රපටයක්‌ නිපදවන්නට උත්සුක වූයේ රටේ පසු කලෙක වාමාංශික බලකණුවූ රෙජී පෙරේරා, විල්මට්‌ පෙරේරා සහ ඩී. ජී. විලියම් යන දේශපාලනඥයන්ය.

ඉන්පසුව 'ප්‍රේමවතී' නමින්ද 'බෑන්ක්‌ මැනේජර්' නමින්ද චිත්‍රපට දෙකක්‌ හදන්න රසික දෙපිරිසක්‌ තැත් කළද පලක්‌ නොවීය.

සිංහල සිනමාවේ ආරම්භක අධ්‍යක්‍ෂවරයකු හා නිෂ්පාදකයෙකු වූ තංගල්ලේ සිරිසේන විමලවීරයන්ගේ "රොඩී කෙල්ල' නාට්‍යය 1936 දී චිත්‍රපටයට ගැනීමට අර ඇඳීමක්‌ සිදුවී ඇත.

"කඩවුණු පොරොන්දුව"ට කලින් සිංහල චිත්‍රපටයක්‌ සාදා ගන්න රසිකයන් හා ව්‍යාපාරිකයන් වලි කෑ අයුරු කිසිසේත් අමතක කළ නොහැකිය. මෙහිලා සිනමා පුවත් පත් කතුවර හා සිනමා ලේඛක අරුණ ගුණරත්නයන්ගේ සටහනක්‌ දක්‌වා ලීම වැදගත්ය. "සිංහල සිනමාවේ ආරම්භය ලෙස වර්තමානයේ සලකනුයේ 'කඩවුණු පොරොන්දුව' වුවත් එය ඕපපාතික බිහිවීමක්‌ නොවේ. එයට වසර ගණනාවකට පෙර සිටම ඒ සඳහා උත්සුක වූ බොහෝ පිරිසක්‌ වීය". (සරසවිය 2012 මැයි 19)

කාරියවසම් ජී. ජී. දයානන්ද

 
Powered By -


  සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.