බය නැතුව බිත්තර කන්න



පෝෂණ වේදියකු සමඟ අපේ ආහාර හා පෝෂණය ගැන කරන විවරණාත්මක ලිපි මාලාවක ආරම්භය....

* කුකුළු මස්‌ ගැහැනු ළමුන්ට අගුණයි කීම බොරුවක්‌ ...
* බිත්තරවල කොලස්‌ටරෝල් නෑ....
* කුරක්‌කන් පිටි වලට වඩා හාල්පිටි හොඳයි....

"හොඳට නරකට දෙකට කටමය" කියා අපේ ගම්වල ඉස්‌සර මිනිස්‌සු කිව්වේ කට කහනවට නම් නොවේ. එහි මිනිසාගේ ජීවන චක්‍රය හා සම්බන්ධ සදාතනික සත්‍යයන් වූ විවිධාකාරයේ අරුත් ගැබ්ව ඇති නිසාය.

මිනිසා කටින් ගන්නා ප්‍රයෝජන බොහෝය. ඒ අතර ප්‍රධානම ප්‍රයෝජනය වන්නේ ශරීරයට අවශ්‍ය ආහාර ඇතුළත්කර ගැනීමය. දෙවැන්න සන්නිවේදන ක්‍රියාදාමයේ දී භාෂණය සඳහා යොදා ගැනීමය.

ශරීරයට ගුණදායක ආහාර ලබා ගන්නේත් කටින්ය. ශරීරයට අහිතකර රසකාරක යෙදූ ක්‍ෂණික ආහාර ලබාගන්නේත් කටින්ය. ඒ හා සමානවම සමාජයට යහපත් වූ වාසි දායක ආරංචි හා පණිවිඩ ලබා දෙන්නේත් කටින්ය. සමාජය ගඳ ගස්‌සවන හා කුලප්පුකරවන අවරගනයේ නරක ආරංචි හා නිවේදන ලබා දෙන්නේද කටින්ය.

මේ අයුරින් හොඳට නරකට දෙකටම කට ක්‍රියා කරන බැවින් එදා ගැමියා ප්‍රබල අර්ථ දනමින් "හොඳට නරකට දෙකට කටමය" යෑයි කීහ....

අද සමාජයේ වෙසෙන ජනතාව අතරින් සැලකිය යුතු ප්‍රමාණයක්‌ ඇත්තේ රෝගීන්ය. හුඟ දෙනෙක්‌ පෙලෙන්නේ වෛරස්‌, බැක්‌ටීරියා හෝ අනෙකුත් විෂබීජ නිසා ඇතිවන සුවකළ හැකි රෝග වලින් නොව. කෙනෙකුගෙන් තවත් කෙනෙකුට බෝ නොවන රෝග වලිනි. ඒ රෝග බොහෝ විට නොව, හැම විටම සදාදෙන්නේ ආවේනියෙන් හා කෙනෙකුගේ ආහාර හා හැසිරීම් රටාව නිසාය.

අපි ආහාර ගන්නේ ශරීරයට අවශ්‍ය පෝෂණ රටා ගැන සලකා නොව තිබෙන දෙයින් ලද දෙයින් දිව පිනවා ගැනීමටය. සිත පිනවා ගැනීමටය. බඩ පුරවා ගැනීමටය. දිව පිනවන ආහාර දුටුවිට වැඩිපුර ගන්නට පෙළඹෙයි. එවිට සිත පිනායයි. සිත පිනවීමට ඇති ආසාව සංසිදුවා ගන්නට යනවිට නොදැනුවත්වම බඩ පිරීයයි. අවසානයේ සිදුවන්නේ ශරීරයට අනවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ හා ප්‍රමාණ ඉක්‌මවා ගිය අති විශාල ආහාර ප්‍රමාණයක්‌ කයට ඇතුල් කර ගැනීම තුළ ශරීරයේ ආහාර අතිරික්‌තයක්‌ ගොඩ නැගීමය. ඒ අතිරික්‌ත ආහාර වෙනත් සංඝටක බවට පත්ව ශරීරයේ යම් යම් තැන්වල තැන්පත් වීම නිසා විශාල අසාමාන්‍ය රූපකායකුත්, කොලස්‌ටරෝල්, ඩයබටික්‌ස්‌, ප්‍රෙෂර් ආදී නම්බුකාර ලෙඩරෝග රාශියකුත් මේ ලෙඩ රෝග නිසාම අසහනයට හා දුර්වල බවට පත්වූ හිතකුත් ඇති මිනිසෙක්‌ සමාජය තුළ නිර්මාණය වෙයි.

මේ... අතිවිශාල කය ලෙඩරෝග සහිත ශරීරය හා දුර්වල සිත සහිත මිනිසා සමාජයට බිහිවන්නේ කට නිසා බව හිතන්නේ සමාජයේ කීයෙන් කී දෙනෙක්‌ද....

එසේ බලන කල අපේ සමාජයේ මිනිස්‌සු ජීවත් වෙනවා කියා කරමින් සිටින්නේ කට, දිව, සිත, බඩ පිනවීම හැර වෙන මොකක්‌ද කියා සිතන අයද සිටිති. ඒ ගැන බොහෝ මතවාද හා තර්ක විතර්ක තිබේ.

අපේ ගම් ගොඩවල "මගේ කට අවුස්‌සා ගන්න එපා" කියා කතාවක්‌ද අහන්නට ලැබේ. එය ද විවිධාකාරයේ තේරුම් ඇති බහුරුත් පදයක්‌ බව සැබෑය.

සමහරු කට අවුස්‌සනවා යෑයි කියන්නේ ප්‍රසිද්ධ සමාජයේ භාෂණයට සුදුසු නැති දේවල් බිනීමට පෙළඹවීමටය. අනුන්ගේ දොස්‌, සඟවාගෙන ඇති රහස්‌, අශෝභන දේ, අයහපත් දේ කීමට රුකුල් දීම කට අවුස්‌සා ගැනීමය. තවත් සමහරු කට අවුස්‌සනවා යෑයි කියන්නේ නෙත සිත දිව නාසය ආදී ඉඳුරන් පිනවන රසමසවුල බුදින්නට කෙනෙකුගේ හිතේ ආශාව ඇති කිරීමයි. රසවත් දෙයක්‌ යාන්තමින් කන්නට දී සඟවා ගැනීම කට ඇවිස්‌සීමකි. රසමසවුලක සුවඳ හෝ දර්ශනය විඳින්නට දී සඟවා ගැනීම කට ඇවිස්‌සීමකි.

අද අපේ ජනමාධ්‍යවල කරන්නේද විවිධාකාරයේ ඇවිස්‌සීම්ය.

රූපවාහිනියේ සොසේජස්‌, පීසා, කේ.එµa.සී චිකන්, බර්ගර්, හොට්‌ඩෝග් ඉන්ස්‌ටන්ට්‌ නූඩ්ල්ස්‌ ආදී ක්‍ෂණික කෙටි ආහාර දැන්වීම් මෙන්ම, ඒවා පිළිබඳ සෑදූ වාර්තා වැඩ සටහන් දකින විට පොඩි එවුන් ඇවිස්‌සෙයි. පොඩි එවුන් පමණක්‌ නොව, උන්ගේ අම්මලා තාත්තලාද ඒවා දැක කට අවුස්‌සාගෙන හවසට හවසට මැක්‌ඩොනල්ඩ් වල, කේ.එµa.සී. වල, පීසා හට්‌වල, චයිනිස්‌ රෙස්‌ටුරන්ට්‌ වල පෝලිම් ගැසී සිටීම අපේ නාගරික සමාජයේ සුලභ දසුන්ය. නගරයේ හුඟ දෙනෙක්‌ අද රෑට ගෙදර දොරේ ලිප පත්තුකර කන්නෙ බොන්නේ නැත. ඒ සැවොම අද පාරට බැස රාත්‍රි අවන්හල් වලට හා රස මසවුල සහිත විවිධ ආහාර කඩ වලට වී කරන්නේ ආහාර රස විඳීම් (µqඩ් එන්ජෝයි) විඳීමය.

විවිධ මස්‌ මාංශ වර්ග එකතු කළ වටිනාකම් සහිතව රසකාරක හා විවිධ මේද කොටස්‌ එක්‌කර ක්‍ෂණික කෙටි කෑම බවට පත්කර අලංකාර ලෙස අලෙවි කරන තැන්වලට ජනතාව වැඩි වැඩියෙන් යන තරමට වැඩි වැඩියෙන් සතුටු වන පිරිසක්‌ද සිටිති. ඒ මේ රටේ දොස්‌තරලාය. ජනතාව මෙම අවන්හල් වලට පුරුදුවන තරමටම, යන තරමටම හොද්ද බොර වන්නේ දොස්‌තරලාගේය. ඒ එබඳු අසංතෘප්ත මේද සහිත කෙටි කෑම අවුරුද්දක්‌ පමණ එක දිගට කනවිට නිසැකවම ඔවුන් වෙත හැරෙන තැපෑලෙන්ම ලෙඩ රෝග පැමිණෙන නිසාය.

ලෙඩ රෝග සෑදුනු පසු, ඇඟපතේ මහත දෙහෙත වැඩිවූ පසු මොවුන් දහසින් බැඳි පියලි වියදම් කරමින් ප්‍රසිද්ධ නම් සහිත දොස්‌තරලා පසුපස යන්නට පටන් ගනිති. ඉන් පසුව කොටි වලිගය අල්ලා ගත්තා සේ ඒ දොස්‌තරලා අත් අරින්නටම බැරිය...

ඔවුන් එසේ විඳින්නේ කට වරද්දා ගැනීමේ සාපය බව කිව යුතුය.

දොස්‌තරලා ළඟට නම්බුකාර ලෙස සාදාගත් කොලස්‌ටරෝල්වලට, ප්‍රෙසර් එකට, ඩයබටික්‌ වලට බෙහෙත් ගන්නට එන රෝගීන්ට බෙහෙත් දීමෙන් පමණක්‌ අත නොහරින දොස්‌තරලා රෝගීන්ගේ ආහාර රටා හා පෝෂණ චර්යා රටා පාලනය කිරීමටද උත්සහ ගනිති.

බිත්තර කන්න එපා, කොලොස්‌ටරෝල්, සුදු බත් කන්න එපා රතු බත් කන්න, පාන් කන්න එපා... කුරක්‌කන් පාන් කන්න, කිරි බොන්න එපා අහවල් පිටි සීනි නොදමා බොන්න, අදේ සවස ඇවිදින්න, ආදී ආහාරමය හා පෝෂණමය උපදෙස්‌ රාශියක්‌ දෙන්නට දොස්‌තරලා එතැන් පටන් පටන් ගනිති.

එහෙත් ප්‍රශ්නය වී ඇත්තේ එම උපදෙස්‌ අද කිසිලෙසකවත් ඒ ඒ ලෙඩ රෝගවලට නිසැක නියත උපදෙස්‌ නොවන නිසාය. ආහාර භෝග පාලන රටාවන් අද එක්‌ එක්‌ දොස්‌තරලා හදාගෙන ඇත්තේ පෝෂණවේදීන්ගේ උපදෙස්‌ හෝ සැලසුම් මත නොව. තම ගම ගුරුකුල වලින් තම තමන්ට උගන්වනු ලැබූ ඉගැන්වීම් වලට අනුකූලවය....

එතෙක්‌ ඒ සියල්ල යල් පැන ගිය වෛද්‍ය මත බව පැහැදිළි වන්නේ නූතන ලෝකය සමඟ යාවත්කාලීනව තම පර්යේෂණ කටයුතු වල නියෑලෙන පෝෂණවේදීන් සමඟ කතාබහ කරනවිටය.

එබඳු විශේෂඥ දැනුමක්‌ ඇති පෝෂණ වේදියෙක්‌ පසුගිය දිනක මා හා කතාබහ කළේය. මෙම ලිපිය ලියන්නට මා යොමුකළ ආසන්නම හේතුව වුණේ එයයි. ඒ සඳහා ඔහු හරි අපූරු කාරණා රැසක්‌ මා පුදුමයට පත්කරවමින් මා ඉදිරියේ තබනු ලැබුවේය.

* බිත්තරවල කොලස්‌ටරෝල් නෑ... බය නැතුව කන්න. අද ලාබෙටම ප්‍රොaටීන් ලබාගන්නා මග තිබෙන්නේ බිත්තර වල විතරයි... ඔහු කීවේය.

* කුරක්‌කන් පිටි වලට වඩා හාල්පිටි හොඳයි....

* කුරුට්‌ට නැත්නම් රතුසුදු කියා භේදයක්‌ නැහැ. මොන හාලත් අගුණයි.

* කුකුළු මස්‌ ගැහැණු දරුවන්ට අගුණයි කියන්නේ මිත්‍යාවක්‌.

* ඇඹුල් කෙසෙල් සෙම හදනවා කියන්නේ බොරු.

(ඒ පෝෂණවේදියා මා ඉදිරියේ මෙසේ සංවාදයට විවෘත කරුණු රාශියක්‌ ඉදිරිපත් කළේය. ඔහු ඒවා පර්යේෂණකොට ඔප්පුකරගත් කාරණා බව ප්‍රකාශ කළේය....

බෝ නොවන රෝග වලට ජනතාව ගොදුරුවන්නේ ආහාරමය සාධක නිසාය යන කාරණය ඔහු බැහැර කළේය. ආහාරමය සාධකය බලපාන්නේ සියයට 25 ක්‌ 30 ක්‌ අතර පමණක්‌ බව කීවේය.

ඔහුගේ අදහස විවාදිතය. එහෙත් සාධක සහිතය. ඒවා එකින් එක ගෙන සති පතා ඔහු හා සාකච්ඡා කර එකී අදහස්‌ විවරණය කරන්නට අපි කතාකර ගත්තෙමු. සංවාදාත්මකව ඒ ලිපි පෙළ ලබන සතියේ සිට පලකරන්නට අපි බලාපොරොත්තු වන්නෙමු....

මාළුවා නහින්නේ කට නිසා කියා කියති. හොඳට නරකට දෙකට කටමය කියාද සමහරු කියති. සැබෑවමය මේ ගැන විග්‍රහ කර බැලිය යුතුය. කට අපට හරහට සිටින්නේ කෙසේද කියා සොයා බලන ගමන්ම අපි කට හරියට භාවිත කොට ලෙඩරෝග පරාජය කර ජීවිතය ජය ගන්නා අයුරුද විමසා බලමු.

බුලිත ප්‍රදීප් කුමාර

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.