උපාධිධාරීන් වැඩි වැටුප් ලැබුණු පෞද්ගලික රැකියා
අතහැර රාජ්‍ය අංශයට එක්‌වීම ආකල්ප ප්‍රශ්නයක්‌


ජූඩ් ඩෙන්සිල් පතිරාජ

රුපියල් හැට දහසේ, හැත්තෑපන් දහසේ වැටුප් ලැබුණු පෞද්ගලික රැකියා අතහැර දමලා, රුපියල් දස දහසේ වැටුපට පුහුණුලාභීන් ලෙස පසුගියදා රාජ්‍ය සේවයට එක් වීම එක්‌තරා ආකාරයක ආකල්ප පිළිබඳ ප්‍රශ්නයක්‌ යෑයි ඵලදායිතා ප්‍රවර්ධන අමාත්‍යංශයේ ලේකම් උදය රන්ජිත් සෙනවිරත්න මහතා රාජගිරිය ශ්‍රී ලංකා මහ බැංකුවේ "බැංකු විදු පියස" ශ්‍රවණාගාරයේ පැවැති උත්සවයකදී පැවැසීය.

බොහෝ තරුණ තරුණියන්ට විවිධ සහතික පත් මිටි ගණනින් තිබුණද, සම්මුඛ පරීක්‍ෂණයකදී ප්‍රායෝගික ප්‍රශ්නයකට පිළිතුරු දීමට අත්දැකීම් නැතැයිද, අපගේ අධ්‍යාපනය තුළින් දැනුම ලබා දුන්නද, ලෝකයට අවැසි ප්‍රායෝගික හැකියාව සහ නිපුණතාවය නැතැයිද ලේකම්වරයා සඳහන් කළේය.

කොළඹ 08, බොරැල්ල ඩී. පී. ආර්. ගිණුම්කරණ සහ බදුකරණ පුහුණු ආයතනයේ පුහුණුව ලැබූ පාඨමාලාලාභීන් පිරිසකට සහතික පත් ප්‍රදානය කිරීම නිමිත්තෙන් මෙම උළෙල සංවිධානය කර තිබිණි.

තම අමාත්‍යංශයේ මිනිස්‌ බල සහ රැකියා දෙපාර්තමේන්තුව සුදුසුකම් ලද පිරිස්‌ සඳහා රැකියා සොයා දෙන්න උත්සහ දරන බැවින් බොහෝ ආයතනවල රැකියා අවස්‌ථා තිබුණද අපේක්‍ෂා කරන මට්‌ටමේ ප්‍රායෝගික දැනුම ඔවුන්ට නැතැයිද පැවැසීය.

අධ්‍යාපනයෙන් ලැබුණු දැනීමට වඩා නිපුණතාවය, ප්‍රායෝගික දැනුම තුළින් අප දියුණුව ඇති කරගත යුතු යෑයිද, දැනුම යල් පැන යන අතර, එය අලුත් කර ගන්නේ නැතිනම් අපට දියුණුවිය නොහැකි යෑයිද සෙනෙවිරත්න මහතා තවදුරටත් කීවේය.

ඩී. පී. ආර්. පුහුණු ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි භාරත සුභසිංහ මහතාද මෙහිදී අදහස්‌ දැක්‌වීය.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.