වම්ඉවුර

ලංකාව පොදු රාජ්‍ය මණ්‌ඩලයෙන් ඉවත් විය යුත්තේ ඇයි?


ඉකුත් සතියේ පුවත්පත්වල පළ වූ වාර්තාවක්‌ වූයේ පොදු රාජ්‍ය මණ්‌ඩලයේ අමාත්‍ය ක්‍රියාකාරී කමිටුව ලබන අප්‍රේල් මස රැස්‌වූ විට මෙම වසර අවසානයේදී ශ්‍රී ලංකාවේ පොදු රාජ්‍ය මණ්‌ඩලීය රාජ්‍ය නායකයන්ගේ හමුව පවත්වනවාද නැද්ද යන්න ගැන අවසන් තීන්දුවක්‌ ගැනීමට නියමිත බවයි. මෙකී රාජ්‍ය නායකයන්ගේ හමුව ශ්‍රී ලංකාවේ පැවැත්වීමට තීන්දු වූයේ 2011 දීය. නමුත් ඊට පසුව කැනඩාව මේ ගැන දිගින් දිගටම එරෙහි වූ අතර මෑතකදී අග්‍රවිනිශ්චයකාරවරිය දොaෂාභියෝගයට ලක්‌ කිරීම හේතුවෙන් පොදු රාජ්‍ය මණ්‌ඩලීය රාජ්‍ය නායක හමුව ලංකාවේ නොපැවැත්විය යුතු යෑයි මතයක්‌ කැනඩාව විසින් තදින්ම ගෙන යැමට පටන් ගෙන තිබේ. මේ නිසා මෙම වසරේ පොදු රාජ්‍ය මණ්‌ඩලීය රාජ්‍ය නායක හමුව ශ්‍රී ලංකාවේ පැවැත්වේද යන කාරණය ගැන අවිනිශ්චිතතාවයන් පැන නැඟී ඇත.

මෙහිදී අප අපෙන්ම අසා ගත යුතු ප්‍රශ්නයක්‌ වන්නේ පොදු රාජ්‍ය මණ්‌ඩලය යනු කුමක්‌ද, එයින් අපට වන සේවය කුමක්‌ද යන්නයි. පොදු රාජ්‍ය මණ්‌ඩලය යනු මීට අවුරුදු 60-70 කට පෙර බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ සෙවනැල්ලයි. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ කොටස්‌කරුවන් වූ රටවල් ස්‌වාධීන රාජ්‍යයන් වූ පසු පොදු රාජ්‍ය මණ්‌ඩලය හැටියට තවමත් හමු වේ. මෙම හමුවීම්වලදී අධිරාජ්‍යයේ සිටි අපේ පරණ සහෝදර යටත් විජිතයන් හමුවීමට අවස්‌ථාවක්‌ ලැබෙනවා සේම පැරැණි හාම්පුතා හමුවී මහ රැජිනගේ අත සිඹීමට සහ එතුමිය සමග සිටගෙන ඡායාරූපයකට පෙනී සිටීමට ද අවස්‌ථාවක්‌ ලැබේ. කොළඹ ගෙවල්වලද දීර්ඝ කාලයක්‌ සේවය කළ මෙහෙකරුවන් ඇතැම් විට තම ළමෝ ළපටි මුණුබුරු මිනිබිරියන් සමග පැමිණ පැරැණි හාම්පුතුන් දැක සතුටු වන්නා සේය.

අපේ පුවත්පත්වල පවා බොහෝවිට පොදු රාජ්‍ය මණ්‌ඩලය හා පොදු රාජ්‍ය මණ්‌ඩලයේ හමුවීම් වැදගත් කොට සලකන ආකාරයක්‌ පෙනේ. ඒ සම්බන්ධ පුවත් පළවෙන්නේ මුල් පිටුවේය. ඇතැම් විට පොදු රාජ්‍ය මණ්‌ඩලීය පුවත් ප්‍රධාන සිරස්‌තලය බවටද පත්වෙයි. මෙවැනි වැදගත්කමක්‌ මේ එකතුවට මාධ්‍ය තුළ ලැබුණත් පොදු රාජ්‍ය මණ්‌ඩලයෙන් ලංකාවට වන සේවය කුමක්‌දැයි පාසල් ළමයකුගෙන්, සමාජ අධ්‍යයනය පිළිබඳ ගුරුවරයකුගෙන්, විශ්වවිද්‍යාල සිසුවකුගෙන් හෝ රජයේ සේවකයකුගෙන් අප ඇසුවොත් එක්‌ අයෙකුවත් එවැන්නක්‌ දන්නේ නැතුවාට සැකයක්‌ නැත. වෙනකක්‌ තියා පොදු රාජ්‍ය මණ්‌ඩලය ගැන පුවත් ලියන මාධ්‍යවේදියකුගෙන් හෝ විදේශ අමාත්‍යාංශයේ නිලධාරියකුගෙන් ඇහුවත් කිසිදු පිළිතුරක්‌ නොලැබීමට ඉඩ ඇත.

ලෝකයේ වැදගත් ජාත්‍යන්තර සංවිධාන බොහොමයක්‌ ඇත. ආර්ථික සහයෝගිතාවය හා සංවර්ධනය පිළිබඳ සංවිධානය එනම් ඕ.ඊ.සී.ඩී. සංවිධානය ලෝකයට වැදගත් වේ. එයට හේතුව ඒ යටතේ ලෝකයේ ආර්ථික වශයෙන් බලගතුම රටවල් එකට හමුවන නිසාය. මෙහිදී ගනු ලබන තීන්දු මුළු ලෝකයටම බලපායි. ඉන්පසු නොබැඳි ජාතීන්ගේ සමුළුව එතරම් ක්‍රියාකාරී නොවූවත් එය තවමත් වැදගත්ය. එයට හේතුව ලෝකයේ සංවර්ධනය වෙමින් පවතින රටවල් සියල්ල ඒ තුළින් නියෝජනය වන නිසාය. එක්‌සත් ජාතීන්ගේ සංවිධානයද අතිශයින්ම වැදගත්ය. එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා පිස්‌සු නටනවා විය හැක. නමුත් ලෝකයේ ලොකු කුඩා දුප්පත් පොහොසත් රටවල් සියල්ල එකට හමුවන ස්‌ථානය හැටියට එක්‌සත් ජාතීන්ගේ සංවිධානය වැදගත් වේ. එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලය ලංකාවට පිළිලයකි. ඒ තුළ සිදුවන්නේ තනිකරම බටහිර රටවල, දේශපාලන සෙල්ලම්ය. මැතකදී මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල් උද්ඝෝෂණය කොට මානව හිමිකම් කවුන්සිලය තුළ සේවය කරන බටහිර රටවල සුදු ජාතිකයන්ගේ ගණන අඩු කිරීමට තීන්දුවක්‌ ලබා ගත්තේය. කලින් මේ ආයතනය තුළ බටහිර රටවල සුදු ජාතිකයන් පමණක්‌ 70% ක්‌ පමණ සේවය කළේය. මෙවැනි ප්‍රශ්න තිබුණත් එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ කොටසක්‌ වන නිසා මානව හිමිකම් කවුන්සිලයද වැදගත්ය. සාක්‌ සංවිධානයෙන් කෙරිය යුතු දේවල් නොකෙරුනත් දකුණු ආසියානු කලාපයේ රටවල් ඒ තුළින් එකට හමුවන නිසා එය වැදගත්ය. ආසියාන් සංවිධානය අග්නිදිග ආසියානු රටවලට වැදගත්ය. නේටෝ සංවිධානය එහි සාමාජික රටවලට වැදගත්ය. මේ ආකාරයට එහි සාමාජික රටවලට වැදගත් ලෝක සෞඛ්‍ය සංවිධානය, ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය වැනි තවත් ජාත්‍යන්තර වශයෙන් වැදගත් සංවිධාන බොහොමයක්‌ eඅත.

නමුත් පොදු රාජ්‍ය මණ්‌ඩලය එහි සාමාජික රටවල්වලට වැදගත් වන්නේ කුමන ආකාරයටද? පොදු රාජ්‍ය මණ්‌ඩලය යනු තනිකර විහිළුවකි. එයට අයවැය තුනක්‌ ඇත. පොදු රාජ්‍ය මණ්‌ඩලීය ලේකම් කාර්යාලය පවත්වාගෙන යාමට බ්‍රිතාන්‍ය පවුම් මිලියන 14.9 ක්‌ වැය වේ. පොදු රාජ්‍ය මණ්‌ඩලීය තරුණ වැඩසටහන සඳහා පවුම් මිලියන 2.8 ක්‌ වෙන් වේ. පොදු රාජ්‍ය මණ්‌ඩලීය තාක්‍ෂණික සහයෝගිතා අරමුදල සඳහා වාර්ෂිකව පවුම් මිලියන 29.1 ක්‌ වෙන් වේ. පසුගියදා ලංකාවට පැමිණි බ්‍රිතාන්‍ය නියෝජ්‍ය විදේශ ඇමැතිවරයා පවසා සිටි ආකාරයට හැම වසරකම ලංකාවේ සිසුන් 8,000 ක්‌ පමණ බ්‍රිතාන්‍යයේ අධ්‍යාපනය ලබයි. මින් එක සිසුවකු සඳහා ලංකාවෙන් වසරකට බ්‍රිතාන්‍යයට පවුම් 10,000 ක්‌ යනවා යෑයි උප කල්පනය කළොත් එය පවුම් මිලියන 80 ක්‌ පමණ වෙයි. මුළු පොදු රාජ්‍ය මණ්‌ඩලයේ අයවැය තුනටම වඩා එය දෙගුණයකින් වැඩිය. බ්‍රිතාන්‍යයේ ඉගෙන ගන්නා සෑම සිසුවකුටම පවුම් 10,000 කට වඩා වැය වෙන බව බ්‍රිතාන්‍යයේ ඉගෙන ගන්නා ළමුන් සිටින දෙමාපියන් හොඳින් දනී. එය ඇතැම් විට ඒ ගණනින් දෙතුන් ගුණයකටත් වඩා වැඩිය. ඉතින් මුළු පොදු රාජ්‍ය මණ්‌ඩලයේ අයවැය තුනටම වඩා කීප ගුණයකින් වැඩි මුදල් ප්‍රමාණයක්‌ සෑම වසරකම ලංකාවෙන් එංගලන්තයට පොම්ප කරනු ලැබේ.

ඇත්ත තත්ත්වය වන්නේ පොදු රාජ්‍ය මණ්‌ඩලය යනු තම සාමාජික රටවල් වෙනුවෙන් සත පහක වැඩක්‌ නොකරන හිඟන සංවිධානයක්‌ බවයි. පොදු රාජ්‍ය මණ්‌ඩලයේ ලියවිලි විමසා බැලුවොත් එම සංවිධානයේ අරමුණු හැටියට විවිධ කාරණා සඳහන් වේ. මුලින්ම සඳහන් වන්නේ ලෝක බැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ජාත්‍යන්තර සංවිධාන තුළ සංවර්ධනය වෙමින් පවතින රටවල් වෙනුවෙන් වඩාත් හිතවාදී ප්‍රතිපත්තියක්‌ වෙනුවෙන් අරගල කිරීමයි. සාමාජික රටවල වෙළෙඳ ප්‍රතිපත්ති සාකච්ඡා කිරීමට හා වෙළෙ¹ම වැඩි දියුණු කිරීමට උදව් දීමයි. ණය කළමනාකරණයට උදව් දීමයි. පුද්ගලික ආයෝජන හා ව්‍යාපාර දිරි ගැන්වීම වැනි කාරණා සඳහන්ය. නමුත් මේ සියල්ලම පට්‌ටපල් බොරුය. පසුගිය වසර 60 පුරාම පොදු රාජ්‍ය මණ්‌ඩලයෙන් තම සාමාජික රටවල්වලට මේ එක කාරණයක්‌ සම්බන්ධයෙන්වත් සත පහක දායකත්වයක්‌ ලැබී නැත. සාමාජික රටක සුනාමියක්‌ ඇතිවුවහොත් ආධාර හැටියට එක පිටි මුට්‌ටයක්‌ වත් දීමට පොදු රාජ්‍ය මණ්‌ඩලයට ප්‍රතිපාදන නැත. මුදල් නොමැතිකම එක පැත්තකින් වරදක්‌ නොවේ යෑයි කිව හැක. නමුත් ඊළඟ ප්‍රශ්නය වන්නේ පොදු රාජ්‍ය මණ්‌ඩලයීය සාමාජික රටවල්වලට එයින් කට වචනයෙන් වත් උදව්වක්‌ ලැබෙනවාද යන්නයි.

පොදු රාජ්‍ය මණ්‌ඩලය විසින් එම සංවිධානයේ කලු ජාතික රටවල් වෙනුවෙන් ලෝකයේ වෙනත් ජාත්‍යන්තර සංවිධාන තුළ පෙනී සිටින්නේ නැත. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ප්‍රතිසංවිධානය කිරීම ගැන ඔවුන් කතා කළත් 2009 දී ඇමරිකාව හා යුරෝපය විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලංකාවට දිය යුතු, ලංකාවට ලබා ගැනීමට අයිතියක්‌ තිබුණු ණය පහසුකමක්‌ නොදී සිටීමට උත්සාහ කළ විට පොදු රාජ්‍ය මණ්‌ඩලයෙන් කළේ කුමක්‌ද? ඔවුන් යමක්‌ කළේ නම් ඒ ලංකාව හිර කිරීමට ඇමරිකාවටත් යුරෝපයටත් උදව් දීම පමණි. එදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තුළ ලංකාවට උදව් දුන්නේ ඉන්දියාවයි. පොදු රාජ්‍ය මණ්‌ඩලයෙන් අපි වෙනුවෙන් කිසිදු හඬක්‌ නැගුවේ නැත. එමෙන්ම පොදු රාජ්‍ය මණ්‌ඩලය සාමාජික රටවල්වල වෙළෙ¹ම වැඩි දියුණු කිරීමත්, පුද්ගලික ව්‍යාපාර දිරිගැන්වීමත්, ආයෝජන ප්‍රවර්ධනය කිරීමත් ගැන කතා කරයි. නමුත් 2010 දී යුරෝපා සංගමය විසින් ලංකාවට ලබාදී තිබුණු ජී.එස්‌.පී. ප්ලස්‌ බදු සහනය ලංකාවට අහිමි කළ විට එයට එරෙහිව පොදු රාජ්‍ය මණ්‌ඩලයෙන් කිසිදු හඬක්‌ නැගුවේ නැත. නැවත වතාවක්‌ ඔවුන් කළේ එය අහිමි කිරීමට පක්‍ෂව පෙනී සිටීම හැරුණුවිට අන් කිසිවක්‌ නොවේ. අඩුම වශයෙන් ලංකාවට එරෙහිව ඇති චෝදනා ඔප්පු කරන තුරු හෝ ඒ බදු සහනය පවත්වාගෙන යන්න යෑයි පොදු රාජ්‍ය මණ්‌ඩලය විසින් යුරෝපයට බලපෑම් කළ යුතුව තිබුණි. එයට හේතුව යම් රටකට බදු සහනයක්‌ ලබාදී අවුරුදු පහක්‌ වැනි කෙටි කාලයකට පසු එය එක්‌වරම නැවැත්වීමෙන් අදාළ රටට ආර්ථික වශයෙන් බලපෑමක්‌ වීමට ඉඩ තිබෙන නිසාය. ජී.එස්‌.පී. ප්ලස්‌ බදු සහනය ලබා නොදෙන්නේ නම් ලංකාවට එය බලපෑමක්‌ නොවන ආකාරයට අවුරුදු 3-4 ක්‌ ඇතුළත එය ක්‍රමයෙන් අඩු කළ යුතු යෑයි කියාවත් පොදු රාජ්‍ය මණ්‌ඩලයෙන් යුරෝපයට බලපෑම් කළ යුතුව තිබිණි.

මේ ආකාරයට පොදු රාජ්‍ය මණ්‌ඩලයෙන් අපට කට වචනයෙන් වත් උදව්වක්‌ ලැබී නැත. ඔවුන් මෙතෙක්‌ කර ඇත්තේ බටහිර රටවල් ලංකාව දඩයම් කරනවා නම් ඔවුන් ද බටහිර රටවල්වලට එක්‌වී ලංකාව දඩයම් කිරීමයි. මේ මොහොතේ ද සිදුවන්නේ එයමය. විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මීට සති දෙකකට පමණ පෙර සන්ඩේ ටයිම්ස්‌ පුවත්පතට ලියූ ලිපියකින් පෙන්වා දුන්නේ ලබන මාර්තු මාසයේදී එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලය විසින් ලංකාවට එරෙහිව යෝජනාවක්‌ සම්මත වීමට නියමිත අතර පොදු රාජ්‍ය මණ්‌ඩලයේ අමාත්‍ය ක්‍රියාකාරී කමිටුව අප්‍රේල් මාසයේදී හමුවී එකී යෝජනාව සැලකිල්ලට ගෙන ලංකාවේ පොදු රාජ්‍ය මණ්‌ඩලයේ සාමාජිකත්වය අත්හිටුවීමට ඉඩ ඇති බවයි. ඒ අනුව බලන විට පොදු රාජ්‍ය මණ්‌ඩලය තුළ සිටීමෙන් සිදුවන්නේ ලංකාවට සත පහකවත් ද්‍රව්‍යමය උදව්වක්‌ නොලැබී, කට වචනයෙන්වත් උදව්වක්‌ නොලැබී බටහිර රටවල් විසින් කරන ලද දඩයම තවත් තහවුරු වීම පමණි. එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුළ අප දඩයම් වූවාට කමක්‌ නැත. ඒ මන්ද යත් යුද්ධය පැවති සමයේ කොටි බලප්‍රදේශය තුළ ජීවත් වූ දෙමළ ජනතාවට කෑම ප්‍රවාහනය කිරීමට වත් එක්‌සත් ජාතීන්ගේ සංවිධානය උදව් වී තිබෙන නිසාය. 2009 දී පොදු රාජ්‍ය මණ්‌ඩලයේම අනුබද්ධ ආයතනයක්‌ වන රාජකීය පොදු රාජ්‍ය මණ්‌ඩලයීය සමාජය, එනම් රෝයල් කොමන්වෙල්ත් සොසයිටි යන ආයතනය විසින් පොදු රාජ්‍ය මණ්‌ඩලය පිළිබඳව සමීක්‍ෂණයක්‌ පවත්වන ලදී. මෙකී සමීක්‍ෂණය බ්‍රිතාන්‍යයේ, ඕස්‌ටේ්‍රලියාවේ. කැනඩාවේ, ඉන්දියාවේ, ජැමෙයිකාවේ, මලයාසියාවේ හා දකුණු අප්‍රිකාවේ පවත්වන ලදී. මෙයින් ලැබුණු ප්‍රතිඵලවලින් මෙම සංවිධානය මහත් කම්පනයකට පත් විය. ඒ සියලුම රටවල ඔවුන්ට පෙනෙන්නට තිබුණේ පොදු රාජ්‍ය මණ්‌ඩලය යනු සත පහකට වැඩක්‌ නැති සංවිධානයක්‌ය යන මතයයි. ඔවුන්ගේ සොයාගැනීම් අතර පහත දැක්‌වෙන කාරණා ද විය.

ෆ පොදු රාජ්‍ය මණ්‌ඩලය වැදගත් යෑයි සිතුවේ සංවර්ධනය වෙමින් පවතිsන රටවල මිනිසුන් පමණි. පොදු රාජ්‍ය මණ්‌ඩලයේ සංවර්ධනය වූ රටවල ජනතාව එයට කිසිදු වැදගත්කමක්‌ ආදේශ කළේ නැත. (යටත් විජිත මානසිකත්වය වැඩකරන්නේ කොයි පැත්තට දැයි මෙයින් මනාවට පැහැදිලි විය.)

ෆ ඉන්දියාව හා මලයාසියාව වැනි පරණ යටත් විජිතවල ජනතාව තමන්ගේ රට පොදු රාජ්‍ය මණ්‌ඩලයෙන් ඉවත් වුවහොත් ඒ ගැන දුක්‌ වන බව කීව ද ඕස්‌ටේ්‍රලියාව, කැනඩාව වැනි රටවල්වල ජනතාව නම් කියා ඇත්තේ තමන්ගේ රට පොදු රාජ්‍ය මණ්‌ඩලයෙන් ඉවත්වීම ගැන ඔවුන්ට කිසිදු ප්‍රශ්නයක්‌ නැති බවයි.

ෆ ඉන්දියානුවන්ට ඇමරිකාවට වඩා පොදු රාජ්‍ය මණ්‌ඩලය වැදගත් වේ. දකුණු අප්‍රිකානුවන්ට ද එය එසේමය. නමුත් කැනේඩියානු ජාතිකයන්ට ඇමරිකාව වැදගත් වුවත් පොදු රාජ්‍ය මණ්‌ඩලය වැදගත් නොවේ. ඕස්‌ටේ්‍රලියානුවන්ට වැදගත් වූයේ ආසියාවයි. බ්‍රිතාන්‍ය ජනතාවට යුරෝපය හා ඇමරිකාව වැදගත් වුවත් පොදු රාජ්‍ය මණ්‌ඩලය වැදගත් වූයේ නැත. පොදු රාජ්‍ය මණ්‌ඩලයට අඩුම පිළිගැනීම තිබුණේ මහා බ්‍රිතාන්‍යයේ ය.

ෆ මේ සියලුම රටවල් හරහා සමීක්‍ෂණයට සහභාගි වූ අයගෙන් බොහෝ දෙනකුට පොදු රාජ්‍ය මණ්‌ඩලය විසින් කරන එක ක්‍රියාකාරකමක්‌ වත් නම් කිරීමට නොහැකි විය. සමීක්‍ෂණයට සහභාගි වූ සමස්‌ත ජනතාවගෙන් තුනෙන් එකක්‌ පමණ පොදු රාජ්‍ය මණ්‌ඩලය විසින් කරන එකම ක්‍රියාකාරකම හැටියට නම් කොට තිබුණේ පොදු රාජ්‍ය මණ්‌ඩලයීය ක්‍රීඩා උළෙලයි.

අපේ රටේ ජනතාව නොදැන සිටියත් පොදු රාජ්‍ය මණ්‌ඩලයේ සැබෑ තත්ත්වය එයයි. පසුගිය වසරේ පොදු රාජ්‍ය මණ්‌ඩලයීය ක්‍රීඩා උළෙල ලංකාවේ පැවැත්වීමට ගත් උත්සාහය අසාර්ථක වූයේ අපේ වාසනාවටය. මීට වඩා හොඳ දෙයක්‌ වුවත් පොදු රාජ්‍ය මණ්‌ඩලයීය ක්‍රීඩා උළෙල වැනි දෙයක්‌ ලංකාවේ පැවැත්වීමෙන් සිදුවන්නේ වියදම් අධික ක්‍රීඩා පහසුකම් ඇති කොට උළෙලට පසුව ඒවා එක්‌කෝ අතහැර දැමීමයි. නැතිනම් අඩුවෙන් පාවිච්චි වීමයි. මෙවැනි ක්‍රීඩා උළෙලවල් පැවැත්වීම වෙනත් රටවලට බාරකළ යුතුය. සෑම රටක්‌ම කීර්තිනාමය දිනා ගැනීමට ජාත්‍යන්තර උළෙලවල් නැති නම් සම්මේලන නැතිනම් රාජ්‍ය නායකයන්ගේ හමුවීම් පැවැත්වීමට කැමැත්තක්‌ දක්‌වයි. නමුත් මෙවැනි දේ පැවැත්වීමෙන් ඒ බලාපොරොත්තු වන කීර්තිනාමය අපට ලැබිය යුතුය. 2013 පොදු රාජ්‍ය මණ්‌ඩලයීය රාජ්‍ය නායකයන්ගේ සමුළුව ලංකාවේ පැවැත්වීමෙන් අපට ලැබෙන්නේ කීර්තිනාමයක්‌ නොව ඇනුම් බැණුම් හා අපේ ස්‌වාධිපත්‍යටත් අභියෝගයක්‌ නම් මේවා පැවැත්විමේ තේරුම කුමක්‌ද? මගේ අදහස වන්නේ 2013 පොදු රාජ්‍ය මණ්‌ඩලයීය රාජ්‍ය නායක සමුළුව වෙනත් තැනක පවත්වාගන්නැයි කියා ලංකාව පොදු රාජ්‍ය මණ්‌ඩලයෙන්ද ඉල්ලා අස්‌විය යුතු බවයි. දැනට පොදු රාජ්‍ය මණ්‌ඩලයේ සිටින රටවල් 54 අතරින් බොහෝ දෙනෙක්‌ එය තුළ සිටින්නේ පුරුද්දටය. නැති නම් සම්ප්‍රදායටය. ලංකාව ඉල්ලා අස්‌වූ පසු මෙයින් කිසිදු වාසියක්‌ තමන්ට අත් නොවන බව තේරුම් ගත් තවත් රටවල් ඉදිරි වසර ගණනාව තුළදී පොදු රාජ්‍ය මණ්‌ඩලයෙන් හෙමින් සීරුවේ ඉවත්වනු ඇති බවට කිසිදු සැයක්‌ නැත.

පොදු රාජ්‍ය මණ්‌ඩලයෙන් කෙරෙන වැඩක්‌ නැති නිසා දැන් එය තුළ බොහෝවිට කෙරෙන්නේ බ්‍රිතාන්‍ය, කැනඩාව වැනි සංවර්ධිත සුදු ජාතික රටවල් විසින් පැරණි කලු ජාතික යටත් විජිත, දේශපාලනික වශයෙන් පාගාගෙන සිටීමේ ව්‍යාපෘතියක්‌ පමණි. පසුගිය වසරේ පොදු රාජ්‍ය මණ්‌ඩලය තුළත් එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමසාරිස්‌ තනතුරට සමාන තනතුරක්‌ ඇති කිරීමට බ්‍රිතාන්‍ය, කැනඩාව වැනි රටවල් උත්සාහ කළේය. නමුත් කලු ජාතික රටවල් මෙයට එරෙහි වී ඒ උත්සාහය ව්‍යර්ථ කළේය. ඉදිරි වසරවලදී පොදු රාජ්‍ය මණ්‌ඩලය තුළ සිදුවන්නේ මෙවැනි දේවල් මිස කිසිදු ප්‍රයෝජනයක්‌ ඇති දෙයක්‌ නොවේ. හරිනම් මෙය දැනටම අභාවයට ගොස්‌ තිබිය යුතු සංවිධානයකි. නමුත් පරණ යටත් විජිතවල බැල මෙහෙවරකම් කිරීමේ මානසිකත්වය කොතරම් ද කියතොත් අපි අතින් වියදම් කරගෙන මේ කුණු වූ යටත් විජිතවාදී නෂ්ටාවශේෂය පවත්වාගෙන යයි. මේ පොදු රාජ්‍ය මණ්‌ඩලයේ සිටින රටවල් සමග ලංකාව සම්බන්ධකම් පවත්වාගෙන යැමට පොදු රාජ්‍ය මණ්‌ඩලය කිසිසේත්ම අවශ්‍ය නැත. එම රටවල් සමග එක්‌කෝ ද්විපාර්ශ්වික මට්‌ටමේ නැතිනම් ලෝකයේ වැදගත්කමක්‌ ඇති අනෙක්‌ විවිධ ජාත්‍යන්තර සංවිධාන තුළ සම්බන්ධකම් පවත්වාගෙන යා හැකිය. මොවුන්ට අපේ රටට අවසාන වරටත් අපහාස කිරීමට හැකිවීමට පෙර කලින්ම පොදු රාජ්‍ය මණ්‌ඩලයෙන් ඉල්ලා අස්‌විය යුතු යෑයි මා කියන්නේ ඒ නිසාය.

සී. ඒ. චන්ද්‍රප්‍රේම

 

 
Powered By -


    සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.