යෝජිත නව අධ්‍යාපන පනත 21 වැනි සියවසට ගැලපීම

වත්මන් රජය මගින් අධ්‍යාපනය සඳහා නව පනතක්‌ සකස්‌ කිරීමට ක්‍රියා කිරීම ඉතාම කාලෝචිත පියවරකි. විශේෂයෙන්ම දැනට පවත්නා අධ්‍යාපන ගැටලු නිරාකරණය කර ගැනීමත්, 21 වැනි සියවසට හා ගෝලීයකරණයෙහි වෙනස්‌කම්වලට ගැළපෙන පරිදි අධ්‍යාපනය ගළපාලීමත් මෙහි අරමුණ විය යුතුය. දැනට සෑහෙන ප්‍රගතියක්‌ දක්‌වා ඇති මෙම අධ්‍යාපන ප්‍රතිසංස්‌කරණ නව පනතක්‌ මගින් සකස්‌ කිරීමේ කාර්යයෙහි විශාල ඉදිරියකට ගොස්‌ ඇත. කෙසේ වෙතත් අධ්‍යාපන ප්‍රතිසංස්‌කරණ අසාර්ථක වන ප්‍රධාන කරුණු කීපයක්‌ පහත දැක්‌වේ.

1. අධ්‍යාපනඥයන්ගේ අදහස්‌ ලබා නොගැනීම.

2. අධ්‍යාපන න්‍යායන්, අධ්‍යාපන මූලධර්ම නොසලකා හැරීම.

3. නව අධ්‍යාපන පර්යේෂණ අනාවරණ භාවිත නොකිරීම.

4. රටේ පවත්නා ගැටලු විස¹ ගැනීමට අධ්‍යාපනය යොමු නොකිරීම.

5. අධ්‍යාපනය දැනුම් ආර්ථිකයට සම්බන්ධ නොකිරීම.

6. රටෙහි අධ්‍යාපන ඉතිහාස නොසලකා හැරීම.

7. අනවශ්‍ය පරිදි දේශපාලන අවශ්‍යතා මෙමගින් ඉටු කිරීම වැනි කරුණුය.

විශේෂයෙන්ම කන්නන්ගර අධ්‍යාපන දර්ශනය 21 වැනි සියවසේ යෝජිත බොහෝ අධ්‍යාපන අංග ඇතුළත් වූ යල් පැනගිය අධ්‍යාපන දර්ශනයකි. එහි පහත සඳහන් අංග 21 වැනි සියවසට අදාළ වූ නව අධ්‍යාපන පනත සඳහා ඉතා කාලෝචිතය.

ෆ නිෂ්පාදනය මුල් කරගත් අධ්‍යාපනය

ෆ වෘත්තීය අධ්‍යාපනය

ෆ ප්‍රාදේශීය සංවර්ධනය මුල් කරගත් අධ්‍යාපනය

ෆ ප්‍රාදේශීය සම්පත් දියුණු කර ගැනීමට පාදක වූ මධ්‍ය මහා විද්‍යාල ක්‍රමය.

ෆ විවිධ දක්‍ෂතා ඇති අය හා ගම්බද දක්‍ෂයන්ට අධ්‍යාපනය මගින් සමාජයේ ඉහළම තලයට යැමට අවස්‌ථාව දීම.

ෆ පහළ සමාජ ආර්ථික තත්ත්වයන්හි සිටින අය සඳහා සමාජ සඵලතාව ලබා දීම.

ෆ නිදහස්‌ අධ්‍යාපනය.

ෆ යටත් විජිතවාදය මගින් විනාශ කරන ලද හා ආපසු හරවන ලද අධ්‍යාපනය නැවත ජාතික සංවර්ධනයට යොදා ගැනීම.

ෆ සියලුම පුරවැසියන් සඳහා සම අධ්‍යාපන අවස්‌ථා ලබාදීම.

ෆ සදාචාර අධ්‍යාපන සංවර්ධනය.

මෙම අධ්‍යාපන දර්ශනය හැරුණු විට ශ්‍රී ලංකාව සඳහා අධ්‍යාපන පනතක්‌ සකස්‌ කිරීමේ දී සැලකිය යුතු කරුණු රැසක්‌ විද්‍යමාන වෙයි. ඒ අතර පහත දැක්‌වෙන,

1. යටත් විජිතවාදයෙන් උරුම වූ ජාතික සංවර්ධනයට බාධක වන කරුණු ඉවත් කිරීම.

2. වර්තමාන අධ්‍යාපන ගැටලු.

3. වසර 2500 ක්‌ තරම් පැරණි වූ දේශීය අධ්‍යාපනය හා සංස්‌කෘතිය.

4. සහශ්‍ර සංවර්ධන අරමුණු හෝ 21 වැනි සියවස සඳහා අධ්‍යාපනය.

5. ජාත්‍යන්තර අධ්‍යාපනය.

6. වර්තමාන අධ්‍යාපන ගැටලු ආදිය ද ඉන් කිහිපයකි.

අධ්‍යාපන පනත සම්පාදන කමිටුව සකස්‌ කර ඇති පත්‍රිකාව තුළින් ඔවුන් යෝජනා එක්‌රැස්‌ කර ගනු ලබන්නේ පහත දැක්‌වෙන කරුණු සඳහාය.

1.0 මාර්ගෝපදේශ හා මූලධර්ම ලබා ගැනීම.

2.1 අධ්‍යාපන පද්ධතිය ව්‍යqහය.

2.2 අධ්‍යාපන පද්ධතිය ක්‍රියාවලිය.

3.0 අධ්‍යාපන කළමනාකරණ නායකත්වය සුපරීක්‍ෂණය හා ඇගයීම.

4.0 අධ්‍යාපන ප්‍රමිති හා තත්ත්ව ආරක්‍ෂණය.

5.0 ගුරුවරුන් හා අධ්‍යාපන පද්ධතියේ නියෑලුණු අනෙකුත් පුද්ගලයන් සඳහා යෝජනා.

6.0 සම්පත් සැපයීම හා අධ්‍යාපනයට මූල්‍ය යෙදවීම.

7.0 නියෝග හා වැඩසටහන් පිළිබඳ කටයුතු සම්පාදනය.

මෙම නව අධ්‍යාපන පනත සකස්‌ කිරීමේ දී සැලකිය යුතු වැදගත් කරුණක්‌ වනුයේ අධ්‍යාපන ප්‍රතිපත්ති තීරණය කිරීමයි. විශේෂයෙන්ම අධ්‍යාපන ප්‍රතිපත්ති දෙකක්‌ දැනට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වෙයි.

1. රජයේ අධ්‍යාපනයක්‌ පවත්වා ගැනීම.

2. රජයට කිසිසේත් බලපෑම් කළ නොහැකි අධ්‍යාපනයක්‌ පැවතීම.

රජයට බලපෑම් කළ නොහැකි අධ්‍යාපනය ලංකාවේ සමාගම් ලියාපදිංචි කිරීමේ පනත යටතේ ක්‍රියාත්මක වෙයි. එබැවින් අධ්‍යාපන අමාත්‍යාංශයට එම අධ්‍යාපන ප්‍රතිපත්තියට බලපෑම් කළ නොහැකිය. අනෙක්‌ රජයේ පාසල් හා උපකෘත පාසල්ය. මෙබඳු අධ්‍යාපන ප්‍රතිපත්ති මගින් රාජ්‍ය පාලන අධ්‍යාපනයක්‌ ද රාජ්‍ය පාලනය නොවන අධ්‍යාපනයක්‌ ද ලෙස ප්‍රතිපත්ති දෙකක්‌ පැවැතීම ධනවත් නොවන බහුතර ප්‍රජාවට අවාසි විය හැකිය. කෙසේ නමුදු රටකට අධ්‍යාපනය මුළුමනින්ම රාජ්‍ය ප්‍රතිපත්ති මත රජයේ පාලනය මත තිබිය යුතුය. එසේ නොවන්නේ නම් සමාජයේ බිඳවැටීම් අතිප්‍රබල විය හැකිය. අධ්‍යාපන පනත සම්පාදනයේ දී අධ්‍යාපනය රාජ්‍ය ප්‍රතිපත්තියකින් ආවරණය විය යුතුය. අධ්‍යාපන ප්‍රතිපත්ති මගින් ජාතික අනන්‍යතා ද ආරක්‍ෂා කර ගත යුතුය.

1. සංස්‌කෘතික හා සමාජ අනන්‍යතා.

2. ආර්ථික අනන්‍යතා

3. දේශපාලනික අනන්‍යතා

ආදී ලෙස අනන්‍යතා රැසක්‌ ජාතියක්‌ සතුව පවතී. මෙම අනන්‍යතා තුළ ජාතියක සුවිශේෂී ලක්‍ෂණ මෙන්ම දැනුම් ද පවතී. සංවර්ධිත සෑම රටක්‌ම සංවර්ධනයට ළඟාවීමේ දී කෘෂිකර්මය ද දියුණු කරගෙන ඇත. එහෙත් අප අධ්‍යාපන ක්‍රමය තුළ ප්‍රබල අනන්‍යතාවක්‌ වන්නෙ ඝර්ම කලාපීය රටක්‌ වීම නිසා කෘෂිකර්මය සඳහා ඇති ස්‌වභාවයයි. මේ නිසා ආහාර හා කෘෂිකර්මය පිළිබඳ සංවර්ධනය සඳහා අධ්‍යාපන ප්‍රතිපත්ති සකස්‌ කිරීම අවශ්‍ය වෙයි. දක්‌වා ඇති අධ්‍යාපන පනත සඳහා සැලසුමෙහි මේ පිළිබඳ අදහසක්‌ දක්‌වා නැත. අධ්‍යාපන සංවර්ධනය තුළින් ජාතික අවශ්‍යතා හා අනයතා සම්පූර්ණ වන පරිදි ප්‍රතිපත්ති සකස්‌ කළ යුතුව ඇත.

අප රටෙහි 1970 හා 1980 යන දශක දෙකෙහි තරුණයන් පිළිබඳ ගැටලු පැනනැඟුණු අතර තරුණ අසහනය පිළිබඳ කොමිෂන් සභාවක්‌ ද පත්කරන ලදී. අ.පො.ස. (සා.පෙළ) විභාගයට ඉදිරිපත් වන අයගෙන් වැඩිම සංඛ්‍යාවක්‌ අසමත් වෙති. උසස්‌ පෙළ විභාගයෙන් ද වැඩි සංඛ්‍යාවක්‌ අසමත් වෙති. මේ හැර පාසල් හැර යැමද අසතුටුදායක මට්‌ටමක පවතින අතර පිරිමි ළමුන්ගේ පාසල් හැරයැම අධික වී තිබේ. මේ නිසා අදාළ සුදුසුකම් නොමැතිව සා.පොළ හා උසස්‌ පෙළ අසමත් වන සංඛ්‍යාව වාර්ෂිකව ලක්‍ෂ 5 කට වඩා ශ්‍රම බළකායට එක්‌ වෙති. පාසල් හැර යන අයගේ සංඛ්‍යාව ගතහොත් වාර්ෂිකව අධ්‍යාපන සුදුසුකම් සම්පූර්ණ නොකර ලක්‍ෂ 8 ක්‌ පමණ ශ්‍රම බළකායට එක්‌වෙති. ලංකාවේ විධිමත් අධ්‍යාපනය මුළුමනින්ම විශ්වවිද්‍යාල අධ්‍යාපනයට (2%) යොමු කර ඇත. මේ නිසා නව අධ්‍යාපන පනතක්‌ සකස්‌ කිරීමේ දී 2% ක්‌ වන විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන්නන් සඳහාම විධිමත් අධ්‍යාපනය සීමා කිරීමේ මෙතෙක්‌ පවතින ප්‍රතිපත්තිය වෙනස්‌ කළ යුතුව ඇත.

අනෙක්‌ අතට වැඩිම සංඛ්‍යාවක්‌ විධිමත් අධ්‍යාපනයෙන් හොඳ මට්‌ටමක ප්‍රතිඵල නොලැබීමත් පාසල් පද්ධතියෙන් ඵලදායී තත්ත්වයක්‌ නොලැබීමත් නිසා අඩු අධ්‍යාපන මට්‌ටම් ඇති අයත්, විභාග අසමත් වන්නනුත් අතරමං වී ඇත. ඔවුන් සමාජයට ගැළපෙන කුසලතා හිමි නොවීම නිසා රැකියා හිඟයක්‌ පවතී. මේ නිසා මෙම විශාලම කොටස සඳහා වෘත්තීය හා නොවිධිමත් අධ්‍යාපනය ලබාදීම අධ්‍යාපන ප්‍රතිපත්තියක්‌ බවට පත් කළ යුතුව ඇත. දැනට විවිධ ආයතන සතුව මෙම බලතල ඇතත් ඒවා නිසි අධ්‍යාපන ප්‍රතිපත්තියකින් ආවරණය නොවීම නිසා ඔවුන්ට සම අවස්‌ථා යටතේ කුසලතා ප්‍රගුණ කිරීමට නොලැබේ.

පාසල් අධ්‍යාපනය තුළ ද වෘත්තීය අධ්‍යාපනයට වැඩි නැඹුරුවක්‌ ලබා දීම තවත් වැදගත් අධ්‍යාපන ප්‍රතිපත්තියක්‌ විය යුතුය. පාසල් අධ්‍යාපනය තුළින් වෘත්තීය නැඹුරුවක්‌ දුන් පසු අවිධිමත් හෝ වෘත්තීය අධ්‍යාපනයක්‌ මගින් එය දියුණු කර රැකියා ක්‍ෂේත්‍රයට සම්බන්ධ කළ යුතුය.

අධ්‍යාපන පනත මගින් ඇති කළ යුතු අනෙක්‌ ප්‍රතිපත්තිය වනුයේ පාසල ශාස්‌ත්‍රීය අංශයටම සීමා නොකර වෘත්තීය අධ්‍යාපනය ලබා දීමේ දී ජාත්‍යන්තර රැකියා වෙළෙඳපොළ ද අරමුණු කර ගත යුතු බවයි. අධ්‍යාපන ක්‍ෂේත්‍රය හරවත් වන ලෙස සකස්‌ කරන්නේ නම් මෙරටට ලැබෙන ජාතික ආදායම ද ඉහළ නැංවිය හැකිය. නිදසුනක්‌ ගන්නේ නම්, සංචාරක ක්‍ෂේත්‍රයෙහි හා හෝටල් පාසල් හෙවත් සුප ශාස්‌ත්‍ර පාඨමාලාවලට ජාත්‍යන්තර ලෙස විශාල ඉල්ලුමක්‌ ඇති අතර මෙම අංශය තුළ ශ්‍රී ලංකාවේ පිරිමි අය සඳහා දැඩි ඉල්ලුමක්‌ පවතී. එසේ වුව ද ඒ සඳහා පාසල් විෂයමාලාවල කිසිම සූදානමක්‌ හෝ අවශ්‍යතාවක්‌ දක්‌නට නොලැබේ. පාසල් විෂයමාලාවල සුපවේදය ගැහැනු ළමුන්ට සීමා වී ඇත. එහෙත් වෘත්තීය තත්ත්වය තුළ සුපවේදය සිදු කරනුයේ පිරිමි අය විසිනි. එබැවින් පිරිමි අයට සුපවේදය පාසල් මට්‌ටමේ දීම ප්‍රගුණ කරන පාඨමාලා සකස්‌ කිරීම වැනි ප්‍රායෝගික අංශ ප්‍රතිපත්ති ගැන සැලකිලිමත් වීමට සිදුවෙයි.

මේ හැර නව අධ්‍යාපන පනත සකස්‌ කිරීමේ දී ශ්‍රී ලංකාවේ ඉදිරිපත් කරන ලද අධ්‍යාපන ප්‍රතිසංස්‌කරණ හා ධවල පත්‍රිකා ගණනාවක කරුණු හා ප්‍රතිපත්ති ද සැලකිය යුතුය. මේ අතරින් කන්නන්ගර ප්‍රතිසංස්‌කරණවල වැදගත් අංශ අද ද භාවිත කළ හැකිය. මේ හැර 1950 ධවල පත්‍රිකාවක්‌ 1961 අධ්‍යාපන කොමිෂන් සභා යෝජනා (මහාචාර්ය ෙ-. ආර්. ජයසූරිය වාර්තාව). 1966 අධ්‍යාපන ප්‍රතිසංස්‌කරණ, 1972 අධ්‍යාපන ප්‍රතිසංස්‌කරණ ලංකාවේ සුවිශේෂ ගණයෙහි ලා සැලකිය හැකිය. මෙම ප්‍රතිසංස්‌කරණවල ඉතා වැදගත් අංග ඉදිරිපත් කර තිබේ.

1961 අධ්‍යාපන කොමිෂන් සභා වාර්තාවෙහි දක්‌වා ඇති පහත සඳහන් වෘත්තීය විද්‍යාල අද ද සංශෝධන සහිතව භාවිත කළ හැකි වේ. එම වෘත්තීය විද්‍යාල පහත දැක්‌වේ.

1. ඇපෝතිකරි විද්‍යාල

2. වාණිජ විද්‍යාල

3. කෘෂි විද්‍යාල

4. වන විද්‍යාල

5. පශු පාලන විද්‍යාල

6. ධීවර විද්‍යාල

මේ හැර කෘෂි විද්‍යාල කීපයක්‌ නැවත දක්‌වා ඇත.

1. තේ කුඩු සඳහා

2. රබර් සඳහා

3. කොප්පරා සඳහා

4. මාළු ටින් කිරීම

5. කිරි ආහාර

6. පැඟිරි තෙල්

7. ධීවර විද්‍යාල

මෙබඳු අංශ සුදුසු පරිදි සකස්‌ කර ගත් හැකිය. තව අංශ මේවාට එකතු කළ හැකිය. විශේෂයෙන්ම පාසල් හැර යන අය සඳහා නව තාක්‍ෂණික අංශ ද ඇතුළත් වෘත්තීH විද්‍යාල එකතු කළ හැකිය. මේ හැර 1972 ප්‍රාග්වෘත්තීය විෂය සංකල්ප වඩාත් කාලීනව සංවර්ධනය කර ගත හැකිය. මේ අයුරින් පැරණි අධ්‍යාපන ප්‍රතිසංස්‌කරණවල හරවත් සංකල්ප භාවිත කළ හැකිය.

අප රටේ වත්මන් පාසල්, පද්ධතියෙහි අභ්‍යන්තරික ක්‍රියාකාරිත්වය අනුව පාසල් තුන් වර්ගයකට බෙදිය හැකිය.

1. රජයේ සුපිරි පාසල් ජාත්‍යන්තර පාසල්, පෞද්ගලික පාසල් - සිසුන්ට ස්‌ථිරසාර අනාගතයක්‌ ලබා දෙන පාසල්.

2. රජයේ සාමාන්‍ය පාසල් - සිසුන්ට අවදානම් අධ්‍යාපනයක්‌ දෙන පාසල්.

3. රජයේ ග්‍රාමීය, අර්ධ නාගරික හා නාගරිකව ඇති පාසල් - සිසුන් සදහටම අනාථ කරන පාසල්.

මෙම පාසල් වර්ග තුන මානව හිමිකම් හා ළමා හිමිකම් නැති කරන, සම අධ්‍යාපන අවස්‌ථා විනාශ කරන, ළමයින්ගේ සහජ දක්‍ෂතා නොසලකා හැර විනාශ කරන ධනවතුන්ට හා මධ්‍යම පාංතිකයන්ට පමණක්‌ සේවය කරන අයුරින් සකස්‌ වී ඇත. මෙම පාසල් පද්ධතිය මුළුමනින්ම නැති කර සිසුන්ගේ විභව ශක්‍යතා සංවර්ධනය කිරීමට උරදෙන පාසල් බවට නව අධ්‍යාපන පනත මගින් සකස්‌ කළ යුතුය.

වර්තමාන අධ්‍යාපන පනතෙහි ප්‍රතිපත්තිවලට ඇතුළත් කළ යුතු අනෙක්‌ අංගය වන්නේ සදාචාර අධ්‍යාපනයයි. වර්තමාන සදාචාරය පිරිහීම සඳහා ජනමාධ්‍යවල සෘන දායකත්වය තදින් බලපා තිබේ. එබැවින් ජනමාධ්‍ය හැකි තරම් දුරට අවිධිමත් අධ්‍යාපන සාධකයක්‌ ලෙස සැලකීමට වගබලා ගත යුතුව ඇත. අවිධිමත් අධ්‍යාපනය ළමයකුගේ කුඩා අවධියෙහි ඉතාම වැදගත් සාධකයක්‌ ලෙස අධ්‍යාපනඥයින් සලකන බැවින් ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතුය. දැනට මෙය අයාලේ යන බැවින් අධ්‍යාපන ප්‍රතිපත්තිවල අවිධිමත් අධ්‍යාපන සාධකයක්‌ ලෙස අර්ථගැන්වීමට වගබලා ගැනීම කාලෝචිත වනු ඇත.

වත්මන් අධ්‍යාපන පනත ප්‍රතිපත්තිවලට පැමිණිය යුතු වැදගත්ම කරුණක්‌ වනුයේ ගුරු අධ්‍යාපනයයි. දැනට ගුරු අධ්‍යාපනයෙහි ඉහළ ප්‍රමිතියක්‌ නැත. සමහර ගුරු අධ්‍යාපන පාඨමාලාවල තත්ත්වය කනගාටුදායකය. ගුරු අධ්‍යාපනයෙහි ප්‍රමිතිය රැකීම සඳහා වෘත්තීය තත්ත්ව පාලන ආයතනයක්‌ පැවැතිය යුතු අතර එය දේශපාලනයෙන් තොර විය යුතුය. මේ හැර එකම උසස්‌ මට්‌ටමකින් ඒවා පවත්වා ගත යුතුව තිබේ.

අධ්‍යාපන පනත සකස්‌ කිරීමේ දී විශේෂයෙන් සැලකිය යුතු අනෙක්‌ ප්‍රතිපත්තිය විය යුත්තේ නිදහස්‌ අධ්‍යාපනය විනාශ කිරීමට භාවිත වී ඇති ක්‍රමවේද හඳුනාගෙන ප්‍රජාවට නිදහස්‌ අධ්‍යාපනයෙහි වාසිය තවදුරටත් ලබා දීමය. මෙරට තාමත් ග්‍රාමීය ජනතාව බහුලය. බොහෝ දෙනකු ඉතා දුගී මට්‌ටමක ඇත. මහාචාර්ය හෙවාඩ් ගාඩිනර්ගේ බහු බුද්ධි න්‍යාය අනුව ඉතාම දක්‍ෂයන් හා බුද්ධිමතුන් ග්‍රාමීය ප්‍රදේශවල පැතිර ඇත. නිදහස්‌ අධ්‍යාපනය මගින් මෙරට සිටින දක්‍ෂයන් හඳුනා ගැනීමට හැකිවෙයි. අධ්‍යාපන සම අවස්‌ථා ලබාදීම යනු නිදහස්‌ අධ්‍යාපනයයි.

සම අධ්‍යාපන අවස්‌ථා සැමට ලබාදීම මෙම පනතින් සකස්‌ කළ යුතු තවත් ප්‍රතිපත්තියක්‌ විය යුතුය. මෙයින් සියලුම අයට සමාන ආකාරයේ අධ්‍යාපන සාධනය දීමට වඩා ඉගෙනුම් අවස්‌ථා සපයාදීමටත්, සාධාරණ අයුරින් ලබා දීමත්, යාවත්කාලීන ලෙස ලබා දීමත්, කිසිවකු අධ්‍යාපනයෙන් බෙදා වෙන් නොකරන ඉගෙනුම් අවස්‌ථා සම්පාදනය කිරීමත් අදහස්‌ විය යුතුය. විශේෂයෙන්ම ඉංග්‍රීසි භාෂාව සැමට ලබා දීම ශක්‌තිමත් විය යුතුය. සැමට විදේශීය භාෂා, මවු භාෂාව හා සංස්‌කෘතිය. සැමට වෘත්තීය අධ්‍යාපන අවස්‌ථා ආදිය ලබා දීම මගින් ශ්‍රී ලංකාව බහු සංස්‌කෘතික සමාජයකි. නව අධ්‍යාපන පනත සකස්‌ කිරීමේ දී බහු සංස්‌කෘතික ස්‌වභාවය හා ඒ සඳහා සංවර්ධනය විය යුතු ආකල්ප හා බහු සංස්‌කෘතික සමාජයක එකට ජීවත්වීම යන සංකල්ප සංවර්ධනය වන ආකාරයේ ප්‍රතිපත්ති අඩංගු කිරීම ඉතා වැදගත් වෙයි.

ලොව වර්තමානයෙහි බොහෝ අරමුණු හා ඉලක්‌ක සකස්‌ කර ඇත්තේ සහශ්‍ර සංවර්ධනය උදෙසාය. එසේ නැතහොත් 21 වැනි සියවස සඳහාය. සහශ්‍රයක්‌ තුළ කිසිවෙකුට ජීවත්විය නොහැකි වනවා මෙන්ම සියවසක්‌ තුළ ද බොහෝ අයට ජීවත්වීමට නොහැකිය. මෙයින් අදහස්‌ වන්නේ සිසුන් බිහි කළ යුත්තේ අනාගතය උදෙසා බවයි. නැතහොත් නොපෙනෙන අනාගතයක්‌ සඳහා සිසුන් සූදානම් කළ යුතු බවයි. අධ්‍යාපන පනත සකස්‌ කිරීමේ දී දැනට ඇති ස්‌වභාවයට වඩා අනාගතය උදෙසා සිසුන් සූදානම් කරන ආකාරයෙහි අධ්‍යාපන ප්‍රතිපත්ති අධ්‍යාපන පනතට ඇතුළත් කළ යුතුව තිබේ.

ජාතික සංවර්ධනය හා තරුණ ශ්‍රම බළකාය ජාතික ලෙස සවිමත් කිරීම උදෙසා ප්‍රාදේශීය සම්පත් විෂයමාලාවට ඇතුළත් කිරීමේ ක්‍රමවේදයක්‌ පිළිබඳව සිතිය යුතුව ඇත. පාසල් අධ්‍යාපනයෙන් ගිලිහෙන වැඩිම දෙනකු ප්‍රාදේශීය සම්පත්වල පිහිට පතයි. එබැවින් ඔවුන් යොමු වනුයේ පහළ ආර්ථික මට්‌ටම් ඇති රැකියා තෝරා ගැනීමටය. එහෙත් ප්‍රාදේශීයව ඇති සම්පත් පිළිබඳව ආකල්ප හා දැනුම ලබා දී තිබේ නම් ඔවුන්ට අධ්‍යාපනයෙන් වැඩි වාසියක්‌ අත්වේ. මේ අනුව ප්‍රදේශයෙහි ඇති සම්පත් විෂයමාලාවට ගොනු කළ හැකිය. ඒ අනුව ස්‌වයං රැකියාවලට ද ඔවුහු පෙළඹෙති.


ආචාර්ය ආනන්ද ජයවර්ධන
සමාජ විද්‍යා අධ්‍යාපන අධ්‍යයනාංශය,
අධ්‍යාපන පීඨය, කොළඹ විශ්වවිද්‍යාලය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.