සුන්දර රාත්‍රියක්‌ මෙතරම්....

ශත වසරකට මදක්‌ වැඩි ලෝක වොලිබෝල් ඉතිහාසයද, ශත වසරකට මදක්‌ අඩු මෙරට වොලිබොල් ඉතිහාසයද අතහැරුණු තැනක්‌ නොමැති තරමටම එකතුකර පිටු 295 ක්‌ මත සටහන් කිරීම වූ කලී 'වොලිබෝල් එදා සිට අද' ග්‍රන්ථයයි. ඉකුත් 12 වැනිදා සැන්දෑවේ කොළඹ ගෝල්ෙෆ්ස්‌ හෝටලයේදී මේ පොත එළිදැක්‌වුනේ නිකම්ම නොවේ. මෙරට වොලිබෝලයේ 'සජීවී ඉතිහාසය පොත්' දුසිම් ගණනක්‌ එකම සභාවකට කැඳවා පිදුම් දෙමිනි.

වොලිබෝලය මේ සා බැබලුණු දවසක්‌ මෑත යුගයේ නොමැති තරම්ය.

ජීවිතයේ ජවසම්පන්නම අවධිය හෙවත් හොඳම කාලය වොලිබෝල් වෙනුවෙන් උපරිමයෙන් කැපකිරීමේ ප්‍රතිඵලයක්‌ ලෙසින් ජාතික කණ්‌ඩායම නියෝජනය කරන්නට වරම් ලැබූ, නමුත් ලෝක දහමට අනුව ගත සවි ගිලිහුණුදා ඒවා මතකයන් පමණක්‌ බවට පත්ව සිටි එදා වොලිබොල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 'කල්ලිගැසී' ඒ මිහිරි මතක අවධිකරනු අපි ඒ සැන්දෑවේ දුටුවෙමු. එය සොඳුරු හමුවක්‌ විය. එදා කළ ඒ කැපකිරීම්, සම්මානයෙන් පිදුම් ලැබූ අපූරු රාත්‍රියක්‌ විය.

තමන් ජීවිතය මෙන් ආදරය කළ ක්‍ෂේත්‍රය 'උන්නාද මළාද?' තරමටවත් තමන් ගැන නොසිතන්නේදැයි දෝමනස්‌සයෙන් සිටි එදා වොලිබෝල් 'දැවැන්තයන්' මෙදා ඔවුන්ව ඇගයද්දී ඒ දැනුණු දැවැන්ත සතුට සිනහව තුළින් නැගෙන කඳුලක්‌ බවට පත්ව දෝරෙගලනා අයුරු අතිශයින් සංවේදී විය.

උත්සව සභාව අරඹමින් වොලිබෝල් සම්මේලනයේ සභාපති අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා කළ පිළිගැනීමේ කථාව හානා හීය ගැන පානා අඬහැරයක්‌ම වුණි. ඔහු හදවතින් කථාකළේය. දේශපාලන වේදිකාවක්‌ මත ගැලරියේ 'විසිල් හඬට' ලොල්ව කරනා කථාවකින් බොහෝ ඈතට ගිය ඒ කථාවේ සැලකියයුතු ඉඩක්‌ 'වොලිබොල් එදා සිට අද ' ග්‍රන්ථයේ සංස්‌කාරක,වොලිබෝල් සම්මේලනයේ ප්‍රධාන ලේකම් සුසිල් රණසිංහ මහතා වෙනුවෙන් වෙන්කළේය.

සැබැවි. සුසිල් ගැන කථානොකර එම අවස්‌ථාව ගැන කථාකිරීම උගහටය. මේ ඉතිහාසගතවන අවස්‌ථාව සඳහා දරදිය ඇද්දේද, හේතු සැපයුවේද, දේශීය වොලිබෝලය අපේක්‍ෂාවක්‌ පමණක්‌ ලෙසින් සදහටම පැවතීමට නියමිත වූවක්‌ යථාර්ථයක්‌ බවට පත්කළේද සුසිල් රණසිංහ විසිනි. මෙය සුසිල්ගේම මංගල්‍යයකි.

එහෙත් ඒ සා උත්කර්ෂවත් මේ මොහොතට සුසිල්ගේ බිරිඳ පැමිණ නොසිටියාය.

'ඇයි සුසිල් කෝ නෝනා?' කියා ඩිලාන් පෙරේරා උත්සවය ඇරඹීමට මොහොතකට පෙර සුසිල්ගෙන් ඇසුවේය.

'මෙතන ඉන්න අය තරම් එයා වොලිබෝල් වලට දෙයක්‌ කරල තියෙනවද?'

සුසිල් සිනාසෙමින් එසේ කීවේ මෙදා මේ සභාව සෑදී ඇත්තේ වොලිබෝලය වෙනුවෙන් උපරිමයෙන් දායක වූ පිරිසටය යන්න නොකියා කියමිනි.

උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වූ ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා වොලිබෝලයට සහතික පිට සහතික දුන්නා පමණක්‌ නොව නුදුරේදීම මෙරට සෑම ග්‍රාමසේවා වසමකින්ම වොලිබෝල් කණ්‌ඩායමක්‌ හෙවත් සමස්‌ත ශ්‍රී ලංකාවෙන් වොලිබෝල් කණ්‌ඩායම් 15,000ක්‌ පමණ බිහිකරන බවට 'දැවැන්ත' පොරොන්දුවක්‌ද මෙහිදී ලබා දුන්නේය.

අනතුරුව 'වොලිබෝල් එදා සහ අද ' පොත ප්‍රධාන අමුත්තන් අතට පත්කෙරිණි. මාධ්‍යයේ අපටද පිටපත බැගින් ලැබුණි. මුල සිට අගට එහි තැනින් තැන අහඹූ ලෙස පෙරලද්දී ඒ හැමතැනකට දුටු තොරතුරු, ජායාරූප, දත්ත ආදී සියල්ල පැවසූවේ මෙය නම් එසේ මෙසේ කාර්යයක්‌ නොවන වගය.

1955දී පළමු වරට මෙරටට පැමිණි විදෙස්‌ වොලිබෝල් කණ්‌ඩායම වන ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් කණ්‌ඩායමේ සියලු තතුද, 1956දී ශ්‍රී ලංකාවෙන් විදේශයකට ගිය පළමු වොලිබෝල් කණ්‌ඩායම හෙවත් ටී.ඩී.එල් චාල්ස්‌ගේ නායකත්වයෙන් යුත් කණ්‌ඩායම ගැනද ලෙසින් ඉතිහාසක්‌ පුරා ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර තරග සහභාගීත්වය එකක්‌ නෑර මේ පොතේ ඇත්තේය. 1951දී අග්‍රාණ්‌ඩුකාර ශ්‍රීමත් සෝල්බරි සාමිතුමාගේ අනුශාසකත්වයෙන් සහ ශ්‍රීමත් රිචඩ් අලුවිහාරේ මහතාගේ සභාපතිත්වයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රථම වොලිබෝල් සම්මේලනය පිහිටුවීම සහ එමගින් සංවිධානය කළ අන්තර් පාසල් තරගාවලියේ පළමු කුසලාන වැල්වැටිතුරේ සිදම්බරම් විදුහලත්, අධ්‍යාපන දෙපාර්තමේන්තුව සංවිධානය කළ රජයේ පාසල් තරගාවලියේ පළමු කුසලාන යාපනය විග්නේශ්වර විදුහලත් දිනාගැනීම ආදී එහි සඳහන් කරුණු අපට කාලය සහ යුද්ධය විසින් වලදැමූ වටිනා අතීතයක්‌ හෙළි කරන්නේය. ඒ පොතේ නොමැත්තක්‌ නොමැත. නිමාවද අගනේය.

ඒ පොත දොරට වැඩි ඒ සන්µdවද ඒ පොත මෙන්ම 'අගනා නිමාවකින්' යුක්‌ත විය. පිදිය යුත්aතෝ පිදුම් ලැබූහ. කරන්නන් වාලේ නොකර කොළඹ තරු හෝටලයක්‌ තුළ, නැටුම් ගැයුම් වැයුම් වලින් අපූරුවට 'සරසා' කළ 'වැඩිහිටි වන්දනාවක්‌' වුණි ඒ සැන්දෑව.

1956 වසරේ ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් වෙත ගොස්‌ මෙරට පළමු ජාත්‍යන්තර තරග අත්දැකීම ලැබූ කණ්‌ඩායමේ දැනට ජීවතුන් අතර සිටින එකම ක්‍රීඩකයා වන එල්.ඒ.ඩී. ප්‍රේමරත්න හෙවත් පාසල් වයසේදීම ලංකා කණ්‌ඩායම මෙහෙයවීමේ වරම් හිමිවූ සුවිශේෂී ක්‍රීඩකයා පළමුවෙන් පිදුම්ලබද්දී, 1959 ශ්‍රී ලංකාවේදී සමස්‌ත ඉන්දීය කණ්‌ඩායම සමගින් තරගවැදුණු ජාතික කාන්තා කණ්‌ඩායමේ ක්‍රීඩිකාවක්‌ වූ සුනේත්‍රා කුලතුංග සම්මාන ලැබුවේ සම්මාන ලැබූවන් අතර ජ්‍යෙෂ්ඨම කාන්තාව වශයෙනි. දශකයෙන් දශකයට ලෙස උපහාර පිදුණු උළෙලේ 1982/90 වකවානුවේ මෙරට ජාතික කණ්‌ඩායම නියෝජනය කළ රන්තිලකා ජයවීර වැනි එදා පිටිය හෙල්ලු ක්‍රීඩිකාවන්ද,එකල්හී ජාතික තලයේ කැපී පෙනුණු ආනන්ද වන්නිතිලකද, 1993 සිට 2006 දක්‌වා ජාතික කණ්‌ඩායම නියෝජනය කරමින් වැඩිම කලක්‌ ජාතික කණ්‌ඩායමේ රැඳීසිටීමේ වාර්තාව උසුලන කාලික වසන්තප්‍රිය (1993/2006)ද ලෙසින් එකී මෙකී නොකී සියලු වොලිබෝල් 'විරුවෝ' පිදුම් ලැබූහ.

1991 සාෆ් ක්‍රීඩා උළෙලේ රන් පදක්‌කම දිනාගනිමින් ඉතිහාසයේ පළමු ජාත්‍යන්තර වොලිබෝල් රන් පදක්‌කම ශ්‍රී ලංකාවට දිනාදුන් රේණුකා අබේගුණවර්ධන යාපා ප්‍රමුඛ කණ්‌ඩායමට උපහාර පිදීමේදී සංරක්‍ෂිත දර්ශන මගින් ඒ අතීතය කැඳවන විට රෝමකූප සෘජු නොවුණු අයෙක්‌ ඒ උත්සව සභාවේ සිටියායෑයි අපි නොසිතමු.

මේ මොහොත මොනතරම් හැඟුම්බරවීද යත් කිසිදාක නොසිතූ මෙවන් කෙළෙහිගුණ දැක්‌වීමක්‌ දරාගත නොහැකිව ඒ ඇස්‌ අගින් කඳුලු කැට කඩාවැටෙනු දුටුවෙමු. ඒ කඳුලු අතර සුවිශේෂී කඳුල වූයේ සුසිල් රණසිංහගේ නෙතෙහිය. වොලිබෝලයේ තැනක්‌ නොතැනක්‌ නෑර, වෙලාවක්‌ අවේලාවක්‌ නෑර සිය දැඩි ප්‍රතිපත්ති හරහා සේන්දුවන ඒ මිනිසාට කඳුලු උනන ග්‍රන්ථි පිහිටා ඇති බවක්‌ වොලිබොල් ප්‍රජාව පළමුවරට දැකගත් මොහොත මෙය විය යුතුය.

ඒ සියල්ලට වඩා එකී සන්µdවේ අප දුටු අසිරිමත් සිදුවීම නම් මෙයයි. ඒ චරිත රත්වත්තේ හෙවත් මෙරට වොලිබෝල් ක්‍රීඩාවේ අද්විතීය චරිතයට එහි රැඳුණු පිරිස්‌ ලබාදුන් ගෞරවයයි.

සුදුස්‌සාට සුදුසුතැන දෙමින් ඔහුව ඒ සභාවට කැඳවීමට වොලිබෝල් සම්මේලනය ක්‍රියාකර තිබීම රත්වත්තේ මහතා විෂයෙහි පළමු ගෞරවය විය. ඒ ගෞරවය හේතුවෙන්ම 80 දශකයේ ක්‍රීඩකයන්ට උපහාර පිදීමට රත්වත්තේ මහතා ආරාධනා ලැබුවේය. ඔහු අතින් සම්මාන හිමිකරගත් කිසිවෙකුත් අතට අතදී පමණක්‌ යන්නට ගියේ නැත. එදා වොලිබොල් සම්මේලනයේ සභාපති ධූරය දරමින් සහ ජාතික තරුණ සේවා සභාව වොලිබෝල් තෝතැන්නක්‌ බවට පත්කරමින් තමන්ව ජාතික තලයට කැඳවීමට මේ මහාර්ඝ මිනිසා කළ සේවය පිළිබඳ ක්‍රීඩක ක්‍රීඩිකාවන් තුළ වූ ගෞරවය කොතෙක්‌ද යත් ඒ හැමකෙක්‌ම සම්මාන ලබාගත්තේ රත්වත්තේ මහතාගේ දෙපා නැමැදය.ඒ වැඳුමක්‌ වැඳුමක්‌ පාසාම චරිත රත්වත්තේ නම් සාර්ථක වොලිබෝල් පාලකයා වෙනුවෙන් එම ක්‍රීඩකයන් නිහඬ සම්මානයක්‌ පිදුවේය.

ඒ දසුන්, ඕනෑම පරිපාලකයෙකුට ගන්නට ආදර්ශයක්‌ම විය. පරිපාලකයෙක්‌ වීමද පහසු නැත. එහෙත් අනාගතය විසින් ඉතිහාසයේ ගෞරවාන්විත චරිතයක්‌ බවට පත්කර වැඳුම් ලබන පරිපාලකයෙක්‌ වීම කිසිසේත් පහසු නැත.

මේ සියල්ල දැකගැනීම, දැනගැනීම වෙනුවෙන් වේදිකාව සැපයූ ඩිලාන් පෙරේරාද අනාගතයේ දිනක චරිත රත්වත්තේ කෙනෙකු වීමට කැමති විය යුතුය.

ඉන්ද්‍රජිත් සුබසිංහ

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.