හකීම් ඇතුළු 6 දෙනාගේ මන්ත්‍රී ධුර අහෝසි කිරීම වළක්‌වයි
එජාප මහ ලේකම්ට වාරණ නියෝගයක්‌


සරත් ධර්මසේන

ශ්‍රී ලංකා මුස්‌ලිම් කොග්‍රසයේ නායක අධිකරණ අමාත්‍ය රාවුෆ් හකීම් මහතා ඇතුළු 6 දෙනකුගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර අහිමි කිරීමට පියවර ගැනීමෙන් වළකින්නැයි කොළඹ දිසා අධිකරණය පෙරේදා (19 දා) එක්‌සත් ජාතික පක්‍ෂයේ මහ ලේකම් තිස්‌ස අත්තනායක මහතාට වාරණ නියෝගයක්‌ නිකුත් කළේය.

කොළඹ දිසා විනිසුරු අමල් වනරාජා මහතා විසින් නිකුත් කරන ලැබූ එම නියෝගය ලබන මස 05 වැනිදා තෙක්‌ බල පැවැත්වේ.

ඉකුත් පාර්ලිමේන්තු මැතිවරණයේදී ඇතිකරගත් එකඟතාවක්‌ මත ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසය, එක්‌සත් ජාතික පක්‍ෂ අපේක්‍ෂක ලැයිස්‌තුවෙන් තරග වැදී ඇත. හිටපු අගවිනිසුරුවරියට එරෙහිව ගෙනා දොaෂාභියෝගයට විරුද්ධව ඡන්දය දීමට එක්‌සත් ජාතික පක්‍ෂය තීරණය කර ඇති නමුත් ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඊට පක්‍ෂව ඡන්දය ප්‍රකාශ කර ඇත. මුස්‌ලිම් කොංග්‍රසය ගත් එම තීරණය දෙපාර්ශ්වය ඇතිකරගත් එකඟතාව කඩ කිරීමක්‌ වන නිසා යෝජනාවට පක්‍ෂව ඡන්දය දුන් රවුෆ් හකීම් මහතා ඇතුළු 6 දෙනා එක්‌සත් ජාතික පක්‍ෂ සාමාජිකත්වයෙන් පහකරනු ලැබූ බව එ.ජා.ප. මහ ලේකම්වරයා ඉකුත් 30 දා මැතිවරණ කොමසාරිස්‌වරයාට ලිතව දැනුම් දී තිබේ.

අනතුරුව එම මන්ත්‍රීවරුන් 6 දෙනා එ.ජා.ප. මහ ලේකම්වරයාට එරෙහිව කොළඹ දිසා අධිකරණය හමුවේ නඩුවක්‌ පැවරූ අතර දිසා විනිසුරුවරයා එකී වාරණ නියෝගය නිකුත් කළේ නඩුවෙන් කර තිබූ අතුරු ඉල්ලීමකට අනුවය.

මුස්‌ලිම් කොංග්‍රසයේ 6 දෙනා කියා සිටින්නේ තමන් එක්‌සත් ජාතික පක්‍ෂයේ සාමාජිකයන් නොවන නිසා එ.ජා.ප. මහ ලේකම් ගත් තීරණය නීsතියට වලංගු නැති බවයි.

එක්‌සත් ජාතික පක්‍ෂ අපේක්‍ෂක ලැයිස්‌තුවෙන් පාර්ලිමේන්තු මැතිවරණයට තරග කළේ තම පක්‍ෂයේ අනන්‍යතාව ආරක්‍ෂා වෙන පරිදි එකඟත්වයකට එළඹීමෙන් පසුව බවත් තම පක්‍ෂයේ තීරණයට අනුව ක්‍රියා කිරීමට තමන්ට අයිතියක්‌ ඇති බවත් දොaෂාභියෝග චෝදනාවට පක්‍ෂව ඡන්දය දීම නිසා තම පාර්ලිමේන්තු මන්ත්‍රීධුර අහිමි කිරීමට එජාපයට නීතියෙන් බලයක්‌ නැති බවත් රාවුෆ් හකීම් මහතා ඇතුළු 06 දෙනා කියා සිටිති.

වැඩිදුර විභාගය ලබන 05 දා පැවැත්වේ.

ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා නීතිඥ ජී. ජී. අරුල්ප්‍රකාශන් ගේ උපදෙස්‌ පිට පැමිණිලිකරුවන් 06 දෙනා වෙනුවෙන් පෙනී සිටියේය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.