ඉරාකයට යවා
වධ බන්ධනවලට ලක්‌කළ
ඉනෝකාට පිහිට වන්න


ඉනෝකා කුමාරි ඉංගිරිය, පාදුක්‌ක ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණියකි. කොයි තරුණ තරුණියටත් දැනෙන ආර්ථික අපහසුතා ඇයට ද දැනෙන්නට ගත්තේ පාසල් ජීවිතයට ආයුබෝවන් කියන්නටත් පෙර සිටය.

පාසල් ජීවිතයට ආයුබෝවන් කී ඇය රැකියා සිහිනයත් සමඟ අහස පොළව ගැටලන්නට මෙන් කල්පනා කළේ අපේක්‌ෂා භංගත්වයද සමගිනි.

අවසානයේදී රට රස්‌සාවක්‌ පිළිබඳ සිතට අමුතු බලාපොරොත්තුවක්‌ ඇති කළේ රට රස්‌සා සොයාදෙන තැරැව්කරුවෙකි.

දහසකුත් එකක්‌ ප්‍රාර්ථනා පොදි බැඳගෙන රට රස්‌සාවකට යන්නට ඕ සිහින පතන්නට ගත්තේ එතැන් සිටය.

ඉනෝකා කුමාරි නිරෝගී තරුණියකි. ඇය රට රස්‌සාවට ගිය හැටි හා ඊට පසුව සිදුවූ දේ පිළිබඳ "මැදපෙරදිග" ට කියා සිටියේ මෙලෙසිනි.

"2012 නොවැම්බර් 05 මම පාදුක්‌කේ සබ් ඒජන්ට්‌ කෙනෙක්‌ හරහා කොළඹ යුනිsක්‌ ඒජන්සියකින් රට ගියා. ඩුබායිවලට යවනවා කියලා තමයි මුලින් කීවේ. පටන්ගත්ත තැනම බොරු කරලා සාජා ගුවන් තොටුපළේ මාව බැස්‌සුවා. සාජාවලට ආපු පුද්ගලයෙක්‌ එහෙ ඒජන්සියකට අරගෙන ගියා. ඊට පහුවෙනිදා නෝනා කෙනෙක්‌ එතනට ආවා. එයා මාව ඉරාකයට අරන් ගියා. එහේ ගෙනිහිං මාව තියා ගත්තේ දවස්‌ 2 යි. ඒ නෝනා එයාගේ අම්මාගේ ගෙදරට මාව අරගෙන ගියා. ඒ මනුස්‌සයගේ ඔළුව හොඳ නෑ. ඒ කාන්තාව මගෙ කොණ්‌ඩෙ කැපුවා. කන්න දුන්නේ රොටි. ඊට පස්‌සේ මට ගහන්න බනින්න ගත්තා. පොලුවලින් ගහලා මගේ අතපය ඉදිමුණා. රෑට නිදාගන්න දුන්නේ නෑ. පැයෙන් පැය ඇවිත් කකුල් මිරිකන්න කීවා. දවසම උපරිම වධ දුන්නා. බැරිම තැන මම මගේ තාත්තා නැතිවුණා කියලා ඇඬුවා. දෙන්න පුළුවන් උපරිම වධ දීලා අන්තිමේ ගුවන් ටිකට්‌ හදලා දුන්නා. 2013 පෙබරවාරි 05 ලංකාවට ආවා. ඒ එනකොට කෙලින් හිටගෙන ඉන්නවත් බෑ. හෝමාගම රජයේ රෝහලට ඇතුල් වුණා. දවස්‌ අටක්‌ ප්‍රතිකාර කරලා තමයි ටිකට්‌ කැපුවේ. ඉනෝකා කුමාරි හැඬූ කඳුළින් කියා සිටියේ ඒ ටිකය.

ඉනෝකාගේ ප්‍රාර්ථනා සියල්ල සුන් වී ඇත.

2012 නොවැම්බර් මස 05 වැනිදා ඩුබායි හි රැකියාවකට ගිය ඇයට සිදුවූයේ ඩුබායි නොව ඉරාකයට යන්නටය. එරට අකාරුණික ගැහැනියකගේ රැවුම් ගෙරවුම් හා අවසානයේ ගුටි බැට කන්නටය. රැකියා ඒජන්සියත්, රැකියා ඒජන්සිය වෙත රැගෙන ගිය රැකියා තැරැව්කරුවාත් ඇයට කර ඇත්තේ මහ අපරාධයකි.

නිරෝගි තරුණියක ලෙස විදේශ රැකියාවට ගිය ඉනෝකා දැන් රෝගීව සිටින්නීය. අතේ තිබූ තඹ සතෙත් දැන් ඇය අත නැත. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්‌ති කාර්යාංශයට මේ පිළිබඳව පැමිණිලි කළත් කිසිම විසඳුමක්‌ නැත. ඒ අයද ඒජන්සිවල, බලයට යටව ඇති සෙයකි.

ඉනෝකාට සිදුවූ නස්‌පැත්තියට සාධාරණයක්‌ ඉටුවී නැත.

මැදපෙරදිග, රටවල ගෘහ සේවයට යන අපේ කාන්තාවන්ට හිරිහැර වන එක අමුත්තක්‌ නොවන බව ඇත්තකි. නමුත් ඉනෝකාට සාධාරණයක්‌ ඉටුකළ යුතුය. ඒජන්සිකරුවාත්, රැකියා තැරැව්කරුවාත්. ඔවුනගේ කොමිස්‌ මුදල ලබාගෙන අත පිසදමාගෙන ඇති වග ද ඇත්තකි. නමුත් ඉනෝකා කබලෙන් ළිපට වැටී ඇත. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්‌ති කාර්යාංශයේ අවධානය ඇය කෙරෙහි යොමු කිරීම වටී.

හංවැල්ල -  මධුර ප්‍රියන්ජිත්

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.