"මම ඊළඟ
අගමැතිගේ පුතා" කියමින්
ඩී.අයි.ජී. ගේ
පුතාට පහර දුන්
ඇමැති පුතා
ඇප පිට මුදාහරී


චමින්ද සිල්වා

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ මහ ලේකම් සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පුත්‍රයා වන දහම් සිරිසේන ඇතුළු මිතුරන් පිරිසක්‌ විසින් පෙරේදා (24 වැනිදා) සවස පාසිකුඩා වෙරළේදී නැගෙනහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්‌පති රවී වෛද්‍යාලංකාර මහතාගේ පුත්‍රයා වන අසේල වෛද්‍යාලංකාරට පහර දී ඇත.

මේ සම්බන්ධයෙන් ඇමැති පුත්‍රයා සහ ඔහුගේ මිතුරන් 13 දෙනකු අත්අඩංගුවට ගෙන වාලච්ෙච්න අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇපමත මුදාහැර තිබේ.

නැගෙනහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්‌පතිවරයාගේ පුත්‍රයා ඇතුළු මිතුරන් පිරිසක්‌ පාසිකුඩා වෙරළ තීරයේ දිය නාමින් සිටියදී වෙනත් පිරිසක තරුණයකු විසින් ඔවුන් සමඟ දිය නෑ තරුණියන්ගේ දර්ශන ඡායාරූපගත කරමින් සිට ඇත.

නියෝජ්‍ය පොලිස්‌පතිවරයාගේ පුත්‍රයා මේ පිළිබඳව එම තරුණයාගෙන් විමසීමේදී "රටේ ඊළඟ අගමැති අපේ තාත්තා" යෑයි පවසමින් නියෝජ්‍ය පොලිස්‌පතිවරයාගේ පුත්‍රයාට ඔහු පහර දී ඇත. එම අවස්‌ථාවේ ඇමැති පුත්‍රයා සමඟ සිටි මිතුරන් පිරිසක්‌ ද නියෝජ්‍ය පොලිස්‌පතිවරයාගේ පුත්‍රයාට පහරදීම නිසා බරපතළ තුවාල ලැබූ ඔහු මඩකලපු රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති අතර ඊයේ (25 වැනිදා) කොළඹ ජාතික රෝහලට මාරුකර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් කල්කුඩා පොලිසිය පරීක්‍ෂණ ආරම්භ කර ඇමැති පුත්‍රයා ඇතුළු 13 දෙනකු පෙරේදා (24 වැනිදා) රාත්‍රි අත්අඩංගුවට ගෙන වාලච්ෙච්න අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇපමත මුදාහැර තිබේ. ඇමැති පුත්‍රයා ඇතුළු මිතුරන් පිරිස නියෝජ්‍ය පොලිස්‌පතිවරයාගේ පුත්‍රයා ඇතුළු ඔහුගේ මිතුරන්ට පහරදුන් බවට කල්කුඩා පොලිසියට පැමිණිල්ලක්‌ ද ලැබී ඇතැයි පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් නැගෙනහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්‌පති රවී වෛද්‍යාලංකාර මහතාගෙන් කළ විමසීමේදී ඔහු කියා සිටියේ මඩකලපුව රෝහලේ සිට වැඩිදුර ප්‍රතිකාර ලබාදීම සඳහා තම පුත්‍රයා කොළඹ ජාතික රෝහල වෙත එම අවස්‌ථාවේ තමා විසින් රැගෙන එමින් සිටින බවයි.

කල්කුඩා පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.