ශ්‍රී ලාංකික මව සහ දියණිය ලෙබනන්හි මියයැම අබිරහසක්‌

නාත්තන්ඩිය - රෙක්‌ස්‌ හැරිසන්

ලෙබනන් හි රැකියා කළ ශ්‍රී ලාංකික මවක හා දියණියක සතියක්‌ ඇතුළත එකම රෝගී තත්ත්වයකින් මිය යැම අබිරහසක්‌ බව ඔවුන්ගේ පවුලේ ඥතීහු පවසති.

මෙසේ මියගොස්‌ ඇත්තේ මීට වසර 28 කට පෙර රැකියාව සඳහා විදේශ ගතවූ නාත්තන්ඩිය මහවැව කොස්‌වාඩිය පදිංචිව සිටි එච්. පී. මාග්‍රට්‌ (62) සහ මීට වසර හයකට පමණ පෙර විදේශගතවූ මහවැව වීහේනවැල්ල කැලේ පදිංචිව සිටි මල්ලිකා කුසුමලතා (37) නමැති මවක හා දියණියකි.

මොවුන් දෙදෙනාම ලෙබනන්හි බීරූට්‌ නගරයේ රැකියා කරමින් කුලියට ගත් නිවසක නැවතී සිට ඇත.

හදිසියේ ඉකුත් 15 දා අසනීපවූ මාග්‍රට්‌ නමැති මව 17 දා මියගොස්‌ ඇත්තේද 20 දා අසනීප වූ මල්ලිකා 24 දා මියගොස්‌ ඇත්තේද බීරූට්‌හි රෝහලකය. ඔවුන්ට සෙම් රෝගයක්‌ වැළඳී තිබිණැයි ඥතීන්ට දැන ගැනීමට ලැබී ඇත. එහෙත් ඔවුන් පවසන්නේ එය විශ්වාස කළ නොහැකි බවයි. මේ වන විට නාත්තණ්‌ඩිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී නන්දන මුණසිංහ මහතා අමාත්‍ය දයාශ්‍රිත තිසේරා මහතා හමුවී දේහයන් ගෙන්වා ගැනීමට විදේශ කටයුතු අමාත්‍යාංශයට පසුගිය 26 දා ලිපි ලේඛන ඉදිරිපත් කර ඇත. මියගිය දෙදෙනාගේ ඥතීන් රජයෙන් ඉල්ලා සිටින්නේ සාධාරණ පරීක්‍ෂණයක්‌ සිදුකර නොපමාව දේහයන් මෙරටට ගෙන්වා දෙන ලෙසයි.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.