පාප්වහන්සේ අද විශ්‍රාම ගනිති

16 වැනි බෙනඩික්‌ට්‌ ශුද්ධෝත්තම පියතුමන් අද (28 වැනිදා) සවස ධුරයෙන් විශ්‍රාම ගනු ලබයි.

ඒ අනුව අද සවස 5.00 ට වතිකානු පුරවරයේ සියලු කටයුතු අවසන්කර "කස්‌ටල් ගන්ඩල් ෆෝ මැදුරට" පිටත්ව යාමට නියමිතය.

පාප්තුමන්ගේ අවසාන බැතිමතුන්ගේ හමුව සඳහා ටිකට්‌පත් 50,000 ක්‌ ඉල්ලුම්කර ඇත. පාප්තුමන් වතිකානුවේ රැඳී සිටින්නේ සවස 5.00 දක්‌වා බැවින් අතිවිශේෂ අමුත්තන් සහ කාදිනල් හිමිවරුන් මුණ ගැසීමටත් කාලය යොදා ඇති බැවින් පෞද්ගලික මට්‌ටමේ සුභ පැතීම් සඳහා කිසිවකුටත් ඉඩ සැලසෙන්නේ නැත.

අද සවස 8 න් පසු 16 වැනි බෙනඩික්‌ට්‌ ශුද්ධෝත්තම පියතුමන්ගේ සියලු කටයුතු නිමාවන අතර ඒ සමගින් ශුද්ධාසනය හිස්‌වනු ඇත.

ඒ සමගින් මේ දක්‌වා ශුද්ධෝත්තම පියතුමන් ආමන්ත්‍රණය කළ ආකාරය වෙනස්‌වනු ඇත. මින්පසුව උන්වහන්සේව අමතනු ලබන්නේ ශුද්ධෝත්තම 16 වැනි බෙනඩික්‌ට්‌ විශ්‍රාමික පාප්තුමන් ලෙස හෝ විශ්‍රාමික ශුද්ධෝත්තම පියතුමන් ලෙසටය. උන්වහන්සේගේ ඇඳුම් ආයිත්තම් ලෙස භාවිත කරනුයේ මේ දක්‌වා පැළඳ සිටි ඇඳුම් ආයිත්තම් වෙනුවට ඉතා චාම් සුදු ලෝගුවක්‌ වශයෙනි. චාරිත්‍රානුකූලව ශුද්ධෝත්තම පියතුමෙකු පළඳින රක්‌ත වර්ණ පාවහන් වෙනුවට දුඹුරු වර්ණයේ පාවහන් උන්වහන්සේ පළඳිනු ඇත. එහි විශේෂතාව වනුයේ එම පාවහන් යුගල 2012 වසරේ මැක්‌සිකෝ චාරිකාවෙන් ලද තිළිණයක්‌ බවය.

අද සවස 5 ට වතිකානු පුරවරයේ සියලු කටයුතු අවසාන කරන 16 වැනි බෙනඩික්‌ට්‌ ශුද්ධෝත්තම පියතුමෝ කස්‌ටල් ගන්ඩල් ෆෝ මැඳුරට පිටව ගිය පසු එම මාළිගයට පැමිණීමත් සමග අදාළ ප්‍රදේශය නියෝජනය කරන අගරදගුරු තුමන් සහ රාජ්‍ය නායකයින් උන්වහන්සේව පිළිගෙන උන්වහන්සේට සුභ පතනු ඇත. මේ වන විට රැස්‌ව සිටින ජනතාවද උන්වහන්සේට ආචාර කරනු ඇත. ඉන්පසුව රාත්‍රි 8 කනිසමට උන්වහන්සේගේ සියලු කටයුතු නිමා කරමින් විශ්‍රාමික ජීවිත පිළිවෙතට අවතීර්ණය වනු ඇත. ඒ සමගින් 16 වන බෙනඩික්‌ට්‌ යුගය නිමා වූ බව ඉතිහාසය සනිටුහන් කරනු ඇත.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.