සංස්‌කරණය : නාරද නිශ්ශංක


පත්තර එළියෙන්
සිනමාව බබළවන ආතර් යූ.අමරසේන

ඔබට චිරං ජයතු!

කෘතහස්‌ත පත්‍ර කලාවේදියකු, ග්‍රන්ථ කර්තෘවරයකු, සිනමා පුවත්පත් කතුවරයකු ලෙස ශ්‍රී ලාංකේය සිනමාවේ පුනරුදයටත් එදා මෙදා එහි නිරත කලාකරුවන් බොහෝ දෙනකු රට හමුවේ පළමුවරට හඳුන්වා දෙමින්ද පුවත්පත් කලාවේ නව පරපුරක ගොඩනැඟීමට එදා තම ජීවිතයම කැප කළා වූ ආතර් යූ. අමරසේනයන් ස්‌වකීය පත්‍ර කලා ජීවිතයේ 50 දශකය සමරයි. සිංහලේ මහා සිනමා වංශය ශ්‍රී ලංකාවේ සිනමා ප්‍රකාශන ඉතිහාස ඇතුළු චිත්‍රපට මාධ්‍ය පිළිබඳව ලියෑවුණු ග්‍රන්ථ කිහිපයකම කතුවරුන්ද වන අමරසේනයන් තම පෞද්ගලික මෙහෙයවීම මත වරෙක මෙරට සිනමා මාධ්‍ය වෙනුවෙන් කැපවූ මාධ්‍යවේදීන්ට සම්මාන ප්‍රදානය කරමින් ප්‍රණාම දක්‌වන උළෙලක්‌ද පැවැත්වූයේ එම කාර්යය ගැන කාගේත් නොමඳ ප්‍රශංසාවට භාජනය වෙමිනි. ආතර් යූ. අමරසේනයන්ගේ ජන්ම දිනය ද යෙදෙනුයේ මෙම ඉරිදා (3 දා) දාටය. එතුමන්ට චිරං ජීවනය පතමින් පහත ලිපිය අප පළ කරමු. මෙය "අමරසේනයන්ගේ සිනමා වංශය" කෘතිය සඳහා මහාචාර්ය සුනිල් ආරියරත්නයන් වරෙක ලියන ලද්දකි.

ජාතික ලේඛනාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ තැන්පත් වී ඇති පැරැණි පත්තර නිරීක්‌ෂණය කරන විට අප නොදන්නා කාලයක නොදන්නා ක්‌ෂේත්‍රයක තොරතුරු මතුවන්නට පටන් ගන්නේ සරුසාර පතලකින් මැණික්‌ මතුවන්නා සේය. එම පත්තර පිටු අතර කුරා කුහුඹුවන් සේ සැඟවී සිට කල එළියට එන්නේ අද අලි ඇතුන් මෙන් පෙළහර පානා ඇතැම් කවීන්ය. ප්‍රබන්ධ කතාකාරයන්ය. නාට්‍ය රචකයන්ය. සිනමා කරුවන්ය. දේශපාලනඥයන්ය. පුවත්පත් කලාවේදීන්ය. මහගමසේකර ඇන්දා වූ විකට චිත්‍ර පංතියක්‌ වරෙක හමුවෙයි. සුගතපාල ද සිල්වා ඒ. පී. සුගතපාල නමින් ලියූ "අනූනමය" නමැති මාරක කතාවක්‌ ගැන 1948 දිනමිණ පත්‍රයක පළවී ඇත. තවත් තීරුවක ආනන්ද තිස්‌ස ද අල්විස්‌ මහතා රැම්ස්‌බොතම් ආර්යාව සමග යුග ගී කිහිපයක්‌ ගයන්නට සරණ ගුප්ත අමරසිංහ මහතා යටතේ පුහුණුවූ බවක සටහනකි. සිනමා පැන තීරයකින් ප්‍රශ්නයක්‌ අසා එවන්නේ රත්නපුරේ පාඨශාලාවක ඉගෙනුම ලබන ජයවිලාල් විලේගොඩය. කරුණාසේන ජයලත් සිනමා සඟරාවකට කොටස්‌ වශයෙන් පළවන නවකතාවක්‌ ලියයි. මේ අතර "චලන චිත්‍ර" අර්ධ මාසිකයෙහි කටුගස්‌තොට ශ්‍රී රාහුල මහා විද්‍යාලයෙහි උසස්‌ පෙළ පන්තියේ ඉගෙනුම ලබන අමරසේන නමැති ශිෂ්‍යයකුගේ සිනමා ලිපි ලේඛනද ඉඳහිට දක්‌නට ලැබේ. ඒ වූ කලී අද සිය පුවත්පත් කලා ජීවිතයේ පනස්‌ වැනි වසර පසුකරන ආතර් යූ, අමරසේනමය.

අමරසේන උපන්නේ පානදුරේ වැල්ලබඩය. හැදුණේ වැඩුණේ මහනුවර කටුගස්‌තොට නගරයට මයිල කිහිපයක්‌ ඔබ්බෙන් පිහිටි හමංගොඩ නම් හද්දා පිටිසර ගම්මානයේය. ඔහුගේ පියාට අයිති වතුපිටි හා මහගෙදර ඇත්තේ එහිය. පරම්පරා ගණනක්‌ තිස්‌සේ දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවයේ යෙදී සිටි අමරසේනගේ තාත්තලාට, මහප්පලාට, කුඩප්පලාට, මාමලාට ඕනෑ වූයේ අමරසේන ද තම රැළේ රඳවා ගැනීමටය. එබැවින් පියා විසින් අමරසේනට දුම්රිය දෙපාර්තමේන්තුවේ උප නියාමක පදවියක්‌ සඳහා ඉල්ලුම් පතක්‌ දමන මෙන් ඉල්ලා සිටියේය. පරීක්‌ෂණයකට ඉදිරිපත් වූ අමරසේන ඉන් සමත් විය. එහෙත් පාසල් අවධියේ පටන් පත්තර කලාවට ඇල්ම කළ අමරසේන එම රැකියාව ප්‍රතික්‌ෂේප කරමින් යළිත් උපන් ගමට ආවේ සිය අභිමතාර්ථය සාධනය කර ගැනීමේ පරම අධිෂ්ඨානයෙනි. පත්තර කන්තෝරුවලට ඇවිදීමෙන් සපත්තු අඩි දිය විය. ලියූ ඉල්ලුම් පත්‍රවලට පෑනේ තීන්ත නිමවිය. සාක්‌කුවේ කාසි හිඟ විය.

ශිෂ්‍ය අවධියෙහි සිය ලිපි පළ කළ චලන චිත්‍රයෙහි කර්තෘ සෝමපාල රණවීර ඉන් ඉල්ලා අස්‌වී ලංකා චලන චිත්‍ර ඇරැඹීම අමරසේනගේ පුවත්පත් ජීවිතයෙහිද ආරම්භය වූයේය. ලංකා චලන චිත්‍රයට බැඳී එහි තෙවසරක්‌ සේවය කළ අමරසේන 1961 දී ඉන් ඉවත් වී "චිත්‍රවාහිනී" නමින් කලා අර්ධ මාසිකයක්‌ ආරම්භ කළේය.

මෙරට පහළවු අග්‍රගණ්‍ය පුවත්පත් කලාවේදී ඩී. බී. ධනපාල සූරීන් (ඩී.බී. නිහාල්සිංහ සිනමාවේදියාණන්ගේ පියාණන්) විසින් ආතර් යූ. අමරසේන "දවස" පත්‍රයේ ස්‌වාධීන ප්‍රවෘත්ති ලේඛකයකු වශයෙන් බඳවාගෙන එම ආයතනය ඔහුට තක්‌සලාවක්‌ කොටදී පුවත්පත් කලාව පිළිබඳ මනා ප්‍රාගුණ්‍ය ලබාදෙන ලද්දේ මේ අතරය. ශිල්ප මැනවින් ප්‍රගුණ කළ අමරසේනට දෙවසරක්‌ තුළ දවස ආයතනය මගින් පළකළ "විසිතුර" සිනමා පුවත්පතෙහි ප්‍රධාන කර්තෘ පදවිය ප්‍රදානය කෙරිණි.

සිනමා පුවත්පත් සඟරා ඉතිහාසය දෙස ආපසු හැරී බලන්නකුට විසිතුර පුවත්පතෙහි රූ රටා සැලැස්‌මේ, ඡායාරූප ශිල්පයේ, ලිපියේ, ලේඛනයේ, සිරස්‌තලයේ, කැප්ෂනයේ, මුද්‍රණයේ එක්‌තරා විප්ලවීය බවක්‌ දැක්‌ක හැකි යෑයි මම සිතමි. පත්තර පිටු මත පැදුරු එලුවා සේ අකුරු පිරුණු පත්තර තීරු එලූ අවදියක එම පැදුරු ඉරා කීතු කීතු කර දමන්නට පසුව ඒවා ක්‍රමවත් ප්‍රියංකරව තැන තැන අතුරන්නට හයි හක්‌තියක්‌ එඩිතරකමක්‌ අමරසේනලාට විය. විසිතුරේ පළවූයේ අන් බොහෝ පුවත්පත්වල පළ නොවුණ මුරණ්‌ඩු ඡායාරූපය. (ඉන් බොහෝමයක්‌ රැලෙක්‌ස්‌ රණසිංහගේ යෑයි සිතමි) එළිසම සිවුපද කාව්‍ය ආකෘතිය පුපුරවා හළ නිදහස්‌ කවීන් සේ විසිතුරේÊඡායාරූප ශිල්පීහු ද සිය ශිල්පයේ මූලික ව්‍යාකරණ බිඳිමින් අන්තර්ගතය කලාත්මක කිරීමට අර්ථවත් කිරීමට වෙර දැරූහ. එහි පළවූ ඇතැම් අඩනිරුවත් ඡායාරූපයන් අපේ සංස්‌කෘතික සීමාවන්ට අනුකූල වෙතියි එදා මෙන් අද අපට නොසිතෙන්නේ නොවේ.

අමරසේනලා හොඳ සිනමාවට පක්‌ෂග්‍රාහී වූහ. හොඳ නාටකයට හොඳ සාහිත්‍යට පක්‌ෂග්‍රාහී වූහ. බමුණු මාල්ලන් විසින් වැටකොටු බැඳ නතර කරගෙන සිටි කලාවේ තාරුණ්‍යයට පක්‍ෂග්‍රාහී වූහ. සිදුවිය යුතුව තිබුණේද එයමය.

විසිතුර නිසා සුගතපාල ද සිල්වා, ධර්මසිරි වික්‍රමරත්න ඇතුළු අපේ කට්‌ටිය වැනි නාට්‍ය කණ්‌ඩායම්ද සිරිල් බී. පෙරේරා, තිස්‌ස අබේසේකර, සුනන්ද මහේන්ද්‍ර, නීල් අයි. පෙරේරා වැනි ලේඛකයන්ද, ඩී. බී. නිහාල්සිංහ, ජී. ඩී. එල්. පෙරේරා, සුගතපාල සෙනරත් යාපා, රංජිත් ලාල් වැනි සිනමාකරුවන්ද, නළු නිළියන්, සංගීතකරුවන් සිය ගණනක්‌ද රසිකයෝ දැන හැඳින ගත්හ. පහත දැක්‌වෙන්නේ අමරසේන විසින් පුවත්පත් කලාවට හඳුන්වා දෙන ලද පුවත්පත් කලාකරුවන්ගේ අසම්පූර්ණ නාමලේඛනයකි. ප්‍රේමකීර්ති ද අල්විස්‌, බන්දුල පද්මකුමාර, ඩී. කීරිගලආරච්චි, ඩබ්ලිව්. කේ. ඩී. නවරත්න, රොඩ්නි විදානපතිරණ, සෑම් පෙරේරා, දයාරත්න රටගෙදර, කුමුදු කුසුම් කුමාර, ඒ. ඩී, රංජිත් කුමාර, වින්සන්ට්‌ පෙරියප්පෙරුම, කුලරත්න ආරියවංශ, අනුර සොලමන්ස්‌, ජගත් කුමාරසිංහ, සත්‍යජිත් මා ඉටිපේ, තිලක්‌ රත්නායක, කාරියවසම් ජී. ජී. දයානන්ද, හෙන්රි ප්‍රියශාන්ත මෙන්දිස්‌ ආදී වශයෙනි.

දශක පහක පමණ පුවත්පත් කලා ජීවිතයේදී පත්‍ර කලාව සම්බන්ධ නඩුහබ කිහිපයකට පැටලීමද අමරසේනගේ මුරණ්‌ඩු පුවත්පත් කලාවේ ස්‌වභාවය අපට පෙන්වා දෙයි. මේ නඩු හබ අතරින් බොහොමයක්‌ සිනමා ජාවාරම්කරුවන්ගේ නිරුවත පෙන්වාදීම හේතු කොටගෙන අස්‌ථානයේ පවරන ලද ඒවාය. අමරසේනගේ අස්‌ථානය දෙදරවාලීමට එම නඩු හබ සමත් වූයේ නැත. එමෙන්ම එයින් ප්‍රත්‍යක්‍ෂ වන්නේ ඔහුගේ පුවත්පත් කලාව හොඳ සිනමාවේ අභිවර්ධනය සඳහා මෙන්ම පවිත්‍ර සිනමාව කෙළෙසන්නවුන් විද්වංශනය කිරීම සඳහා ද යෙදවූ වගයි.

අමරසේන පුරා එකොළොස්‌ වසක්‌ විසිතුර පුවත්පතේ කර්තෘ ලෙස කටයුතු කළේය. සේවක වැඩ වර්ජනයකින් පසු "දවස" වැසී ගොස්‌ යළි විවෘත කරන ලද්දේ බොහෝ කලකට පසුවය. මේ නිසා දවස නිවසින් නිකුත් වූ විසිතුර ඇතුළු සියලුම සති පුවත්පත් තාවකාලිකව නතර කිරීමට එහි පාලකයන් තීරණය කරන ලදී. තාවකාලිකව විසිතුර වැසී යැම නිසා අමරසේනට "රිවිදින" ඉරිදා පුවත්පතේ (ගුණදාස ලියනගේ කර්තෘ ධුරය දැරූ) නියෝජ්‍ය කර්තෘ ලෙස අවුරුදු දෙකක්‌ පමණ සේවය කිරීමට සිදුවිය. ඉන්පසු සුරතුර (ටයිම්ස්‌ ඔµa සිලෝන් සමාගම), සත්සර (සීමාසහිත මල්ටිපැක්‌ස්‌) යන සිනමා පුවත්පත්වල කර්තෘ ධුරය හෙබවූ අතර තමන්ගේම වියදමින් පියකරු නමින් සිනමා පුවත්පතක්‌ වසර දෙකක්‌ පමණ අඛණ්‌ඩව පවත්වාගෙන ගියේය. පසුකලකදී සිනමා පුවත්පත්වලින් ඉවත් වූ අමරසේන මුදල් සහ ක්‍රම සම්පාදන අමාත්‍යාංශය යටතේ පවත්වාගෙන යන බැංකු තුනක අනුග්‍රහයෙන් පළවූ "කල්පනා" මාසික සඟරාවෙහි සහකාර සංස්‌කාරකවරයා විය. ඉන්පසු ඔහු "සුරලිය" (කාන්තා) සහ මැදපෙරදිග යන පුවත්පත්වල ප්‍රධාන කර්තෘ ලෙස කටයුතු කළ අතර නිදහස (ඉරිදා) පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ ලෙසද විශ්වලේඛා ප්‍රකාශනයක්‌ වන "විශ්ව තරංග" මාසික සඟරාවේ (කර්තෘ මහාචාර්ය නන්දසේන රත්නපාල) සම කර්තෘ ලෙසද කටයුතු කළේය. දැනට ඔහු කැනඩාවේ සහ යුරෝපාකරයේ වෙසෙන කාන්තාවන් වෙනුවෙන් "ලියතඹරා" නමින් මාසික සඟරාවක්‌ සංස්‌කරණය කරයි.

ආතර් යූ, අමරසේන සිය ජීවිතයේ වැඩි කොටස කැපකර ඇත්තේ සිනමාව වෙනුවෙනි. කිසියම් විෂයයක්‌ කෙරෙහි සැබෑ ආලයක්‌ දක්‌වන මිනිසකුගේ ගති ස්‌වභාවයයි. ඒ ඔහුගේ පුද්ගලික ජීවිතයද සිනමා හා ඓන්ද්‍රීයව බැඳී තිබේ. ඔහුගේ බිරිය ශ්‍රියානි අමරසේන ප්‍රවීණ නිළියකි. දියණිය ඉනෝකා අමරසේන රංගන ශිල්පිනියක ලෙස එකල කටයුතු කළාය. පුතා සම්පත් චන්දන අමරසේනයි.

ඔහු ලියූ සිංහලේ සිනමා වංශය ඇතුළු කෘති ශ්‍රී ලාංකේය සිනමා සාහිත්‍යයේ පෝෂණයට ඉමහත් සේ දායක විය.

ඔබට සුබ උපන් දිනයක්‌ !

 
Powered By -


  සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.