මනෝ වෛද්‍ය විශේෂඥ
ඩී.වී.ඡේ. හරිස්‌චන්ද්‍ර අභාවප්‍රාප්ත වෙයි

කීර්තිමත් විශේෂඥ මනෝ වෛද්‍යවරයකු වූ වෛද්‍ය ඩී. වී. ඡේ. හරිස්‌චන්ද්‍ර මහතා ඊයේ (01 දා) උදැසන කළුබෝවිල ශික්‍ෂණ රෝහලේදී අභාවප්‍රාප්ත විය.

ඊයේ උදැසන ගාල්ල සිට කොළඹ බලා යමින් සිටියදී හටගත් හෘදයාබාධයක්‌ මත රෝහල්ගත කිරීමෙන් පසු ඔහු මිය ගොස්‌ තිබේ.

ගාල්ල මිහිරිපැන්නේදී 1938 මාර්තු 11 වැනිදා උපත ලද ඔහු මිය යන විට 75 වැනි වියෙහි පසුවිය. වෛද්‍ය හරිස්‌චන්ද්‍ර මහතා ගාල්ල ශාන්ත ඇලෝසියස්‌ විදුහලේ ආදි ශිෂ්‍යයකු වන අතර "ජාතක කථාවල මනෝවිද්‍යාත්මක පසුබිම" හා මනෝවිද්‍යාව පිළිබඳ ග්‍රන්ථ රැසක්‌ සම්පාදනය කරන ලද කතුවරයෙකි.

1964 අගෝස්‌තු 20 වැනිදා පද්මා ශ්‍රියාලතා අබේසිංහ ගුණවර්ධන මෙනවිය සමග අතිනත ගත් ඒ මහතා ශ්‍රී ලංකාවේ අංක එකේ මානසික වෛද්‍යවරයා ලෙසින් ජනාදරයට ලක්‌විණි.

එසේම ඩී. වී. ඡේ. හරිශ්චන්ද්‍ර මහතා ශ්‍රී ලංකාවේ ප්‍රථම හෘද හා උරස්‌ ශල්‍ය වෛද්‍යවරිය වන තොළුෂා හරිශ්චන්ද්‍ර ඇතුළු දූවරුන් තිදෙනකුගේ පියෙකි. ත්‍රිපිටකය හා ධම්මපදය කටපාඩමින් කිව හැකි හරිශ්චන්ද්‍ර මහතා තම මනෝ වෛද්‍ය විද්‍යාව බුදු දහමින් පෝෂණය කරගත් සාර්ථක වෛද්‍ය විශේෂඥයෙකි.

අභාවප්‍රාප්ත ඩී. වී. ඡේ. හරිශ්චන්ද්‍ර මහතාගේ දේහය ගාල්ල එළියට්‌ පාරේ නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු මෙම මස 03 වැනිදා ඉරිදා පස්‌වරුවේ ගාල්ල සමනල ක්‍රීඩාංගණයේදී සිදුකිරීමට නියමිතය.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.