පුහුණු ගුරුවරුන් නැති අධ්‍යාපනය කොයිබටද?

ගොවියා රටටම බත සපයයි. එහෙයින් හෙතෙම දේශයේ පියෙකි. වෛද්‍යවරයා හැමටම නිරෝගි බව ලබා දෙයි. එහෙයින් හෙතෙම අපට ජීවකයෙකි. ගුරුවරයා අපට නැණ නුවණ දැනුම සමග උගත්කම ලබා දෙයි. එහෙයින් හෙතෙම අපට ඉටු දෙවියෙකි.

ගුරු යන වදනේ අරුත බර යන්නයි. එම බර ශාරීරික බර නොවේ. උගත්කම පිළිබඳ බරයි. එහෙයින් වචනාර්ථයෙන්ම ගුරුවරයාට ගුණවත්කමේ, අර්ථවත්කමේ, සාධාරණත්වයේ මනුෂ්‍යත්වයේ හා දැනුමේ සියලු බර අන්තර්ගත විය යුතුය.

අප ගුරු ක්‍ෂේත්‍රයට පිවිසුණු යුගයේදී ඒ පදවිය ලැබීම සඳහා කඩුලු දෙක තුනක්‌ම පනින්නට සිදු විය. ගුරු සහතික පත්‍ර විභාගය සමත් වීම සඳහා අධ්‍යාපන මූලධර්ම, අධ්‍යාපන ක්‍රම, ළමා මනෝවිද්‍යාව වැනි දැනුමත් නිවැරැදි භාෂා දැනුම ඇතුළු විෂයයන් කීපයක්‌ පිළිබඳ පෘථුල දැනුමකුත් විය යුතුය. ලිත විභාගයෙන් සමත් වූ පසු නැවත වාචික සම්මුඛ පරීක්‍ෂණයකටද පෙනී සිට ඒ කඩුල්ලෙන් පැන දක්‍ෂතා පෙන්විය යුතු විය.

ගුරු සහතික පත්‍ර විභාගයට වඩා ගුරු අභ්‍යාස විද්‍යාල විභාගයෙන් සමත් වීම වඩාත් අසීරු විය. විවිධ විෂයයන් යටතේ අතිදක්‍ෂතා ඇති අයට පමණක්‌ එම විභාගයෙන් සමත් විය හැකි විය. ඒ විභාගයෙන් සමත්ව ගුරු අභ්‍යාස විද්‍යාලයකට ඇතුළුව අවුරුදු දෙකක්‌ හෝ තුනක්‌ දක්‍ෂ ගුරු පියවරුන් යටතේ පුහුණුව ලැබිය යුතු විය. ඒ වසර දෙක තුනදී පන්තියේ ළමයින්ගේ අවධානය දිනා ගන්නා හැටි, පාඩම ඉදිරිපත් කරන හැටි, ගුරුවරයා විසින් කළු ලෑල්ල පාවිච්චි කරන හැටි, ගුරුවරයා ගේ ඇඳුම, කථාව ආදී සියලු දේ පිළිබඳ එම අවුරුදු දෙක තුන තුළදී පුහුණුවක්‌ ලැබිය යුතුය. එහෙයින් එදා ගුරු තනතුරකට පත්වීම අති දුෂ්කර කටයුත්තක්‌ විය. අති දක්‍ෂ පිරිසක්‌ පමණක්‌ ගුරුවරුන් වශයෙන් තේරී පත් වූහ.

ඒ යුගයේ නිට්‌ටඹුව ගුරු අභ්‍යාස විද්‍යාලය, කටුකුරුන්දේ ගුරු අභ්‍යාස විද්‍යාලය, පොල්ගොල්ල, උයන්වත්ත ගුරු අභ්‍යාස විද්‍යාල, පත්තලගෙදර ගුරු අභ්‍යාස විද්‍යාලය යන මේ ශාස්‌ත්‍ර පීඨවලින් පඬිවරුන් වැනි ගුරුවරු සමාජයට පිවිසුහ. මුනිදාස කුමාරතුංග පඬිවරයා කෙරෙන් නිට්‌ටඹුව ගුරු විදුහලෙන් පුහුණුව ලැබ සමාජයට පිවිසුණ හැම කෙනෙක්‌ම අතිදක්‍ෂ ගුරුවරු වූහ. රැපියෙල් තෙන්නකෝන්, අරිසෙන් අහුබුදු, ආ. දොa චන්ද්‍රසේකර, දා. දු. න වීරකෝන් වැනි ගුරුවරුන් ගැන සිතෙන විට එදා ගුරුවරයකු සතුව පැවතුණු දැනුම ගැන අදත් අපට ආඩම්බර විය හැකිය.

අද ගුරුවරයකු වශයෙන් පත්වීමක්‌ ලබන්නට විභාගවලට පෙනී සිටිය යුතු නැත. දක්‍ෂතා ප්‍රදර්ශනය කළ යුතු නැත. දේශපාලනඥයකුගේ තුණ්‌ඩු කෑල්ලක්‌ ලබා ගත් පමණින් ගුරුවරයෙකි. මේ ගුරුවරයා විෂය දැනුම ඉගැන්වීමේ මූලධර්ම, මනෝ විද්‍යාව ආදි කිසිවක්‌ පිළිබඳව සොයා බැලීමක්‌ නැත. එහෙයින් ඒ අයගෙන් අධ්‍යාපනය ලබන ශිෂ්‍යයාගේ ආදරයට එබඳු ගුරුවරුන් පත් වන්නේ නැත. ශිෂ්‍යයාගේ ස්‌වභාවය පිරුණු දැනුමක්‌ ඇති ගුරුවරයා ඇදහීමයි. ගුරුවරුන් තෝරා ගැනීමේදී අනුගමනය කරන ක්‍රමයේ වරද නිසා ළමයින්ට සුවිශේෂ දැනුමක්‌ ලැබිය නොහැකිය. ගුරුවරුන්ට පහර දෙන ශිෂ්‍යයන් ගැන, ශිෂ්‍යයන්ට අමානුෂික දඬුවම් දෙන ගුරුවරුන් ගැන නිතර නිතර පුවත්පත්වල වාර්තා පළවන්නේ මේ වරද නිසාය. නොමේරු මනසක්‌ ඇති දරුවකුට වැරැදි දඬුවමක්‌ දීම නිසා ආත්මාභිමානයෙන් පැරැදුණු ශිෂ්‍යාවක සිය දිවි නසාගත් පුවතක්‌ මේ නොබෝදා අසන්නට ලැබුණි.

වත්මන් ගුරුවරුන්ගෙන් වැඩි දෙනෙකු මත් පැනට පුරුදු වී ඇති බවක්‌ දක්‌නට ලැබේ. ඒ ගුරුවරුන්ගේ ඉගෙනීම හෝ ඇසුර ලබන ශිෂ්‍යයා එම ගුරුවරයා අනුකරණය කළොත් අත්වන ඉරණම කුමක්‌ද? ශිෂයාගේ ස්‌වභාවය තමා ප්‍රිය කරන ගුරුවරයාගේ පැවැත්ම අනුගමනය කිරීමය.

ඉහළ පන්තියක අප ඉගෙනීම ලබද්දී එම පන්තියේ ළමයින් 20 ක්‌ පමණ වූ බව මට මතකය. ඒ කිසිම ශිෂ්‍යයෙක්‌ මේ දක්‌වා දුම් වැටියක්‌ දෙතොලේ රඳවාගෙන නැත. මත් පැනට ගොදුරුවී නැත. එහෙම වුණේ අපට ඉගැන්වු ගුරුවරයාද යහපත් පැවැතුම් ඇති කෙනෙකු වීම නිසාය.

අධ්‍යාපනයේ කඩාවැටීම සිදු වූයේ ගුරු අභ්‍යාස විද්‍යාල වසා දැමූදා සිට යෑයි විශ්‍රාම ලැබ සිටින පරණ ගුරුවරු කියති. පුහුණු ගුරුවරයකුට තිබුණු විෂය දැනුම හා ඉගැන්වීමේ හුරු බුහුටි කම සරසවියෙන් පමණක්‌ දැනුම ලබාගත් උපාධිධරයකුට නැතැයි බොහෝ දෙනෙක්‌ කියති. ඒ කථාවේ සත්‍යයක්‌ නැත්තේ ද නොවේ.

ගුරුවරයා දේශපාලනඥයාගේ අනුගාමිකයකු වූ දා සිට අධ්‍යාපනය දුර්වල වූ බවටද මතයක්‌ වේ. දැනුමේ ශක්‌තියට වඩා දේශපාලන ඇයි හොඳයි කමේ ශක්‌තිය ප්‍රබල වූ විට එහි අවාසිය ශිෂ්‍යයාටය. මධ්‍යස්‌ථ ගුරුවරයාටද එය බාධාවකි. පැරැණි ගුරුවරයා සමාජය කෙරෙහි, ශිෂ්‍ය පරපුර කෙරෙහි උසස්‌ම ගෞරවය ලැබුවේය. වත්මන් ගුරු පරපුරට එම ගෞරවය අහිමි වෙමින් පවත්නා බව සඳහන් කරන්නේ වත්මන් ගුරුවරයා අව තක්‌සේරුවකට ලක්‌ කිරීමේ අදහසින් නොවේ.

ගුරුවරයාද සිය රාජකාරිය වෙනුවෙන් කිසියම් වැටුපක්‌ ලබන නිසා ඒ අයට සුවිශේෂ ගෞරවයක්‌ දැක්‌විය යුතු නැත යන විෂබීජය සිසුන්ගේ පපුවට ඇතුළු කළේ එක්‌තරා දේශපාලන පක්‍ෂයක්‌ විසින් නොවෙයි නම් නරුමවාදී පිරිසක්‌ විසිනි. ඒ ආකල්පයම මා පියන් කෙරෙහිත් බලපාන තරමටම ඒ දුෂ්ට හැඟීම ව්‍යාප්තව ඇත. අදත් සිය ගුරුවරයාට භක්‌ති පුරස්‌සරව දුටු තැන නමස්‌කාර කරන්නේ ජ්‍යෝතිෂ ශිෂ්‍යාත් වෛද්‍ය ශිෂ්‍යාත් විසින් පමණය.

අධ්‍යාපන ගමනේ අතීතය දෙස බලන විට බුදු බව අත්වීමට තරම් සුවිශේෂ මෙහෙවරක්‌ කළ අධ්‍යාපන ඇමැතිවරයා සී. ඩබ්. ඩබ්. කන්නන්ගර මැතිතුමා බව මෙහිලා සඳහන් කළ යුතුය. නුගවෙල ඇමැති තුමාගේ පටන් කළුගල්ල, දහනායක, රිචඩ් පතිරණ හා අයි. එම්. ආර්. ඒ. ඊරියගොල්ල යන අධ්‍යාපන ඇමැතිවරුද ජ්‍යෙෂ්ඨ ගුරුවරුන්ගේ පැසසුමට ලක්‌වෙයි මුදල් අයකිරීමක්‌ නොමැතිව ඇති හැකි හැමටම නොමිලයේ ඉගෙනීම ලැබිය හැකි නිදහස්‌ අධ්‍යාපනය ඇති කිරීම නිසා කන්නන්ගර ඇමැතිතුමා අදත් පැසසුම් ලබයි. ගුරු විදුහලට ඇතුළු වූ දා සිට පුහුණුව ලබන කාලයේදීම වැටුප ලබාදීම ගැන දහනායක ඇමැතිතුමා ගෞරවයට පාත්‍රවෙයි. ගුරු විභාග පවත්වා සුදුසු ගුරුවරුන් තෝරාගැනීම අතින් කළුගල්ල ඇමැතිතුමා සුවිශේෂ වෙයි. ගුරුවරයාට ඉහළ වැටුපක්‌ ලබා දීමට පුරෝගාමි වූ රිචඩ් පතිරණ මහතාට වත්මන් ගුරුවරයා ණයගැති වෙයි. භාෂා ව්‍යවහාරයේ දී හෙවත් ලිත ක්‍රමයේ විවිධ වෙනස්‌කම් නැතිකර සම්මත සිංහලයක්‌ අධ්‍යාපන ක්‍ෂේත්‍රයට ඉදිරිපත් කළේ ඊරියගොල්ල ඇමැතිතුමාය. එහෙත් සිංහල භාෂාවට කුඩම්මාගේ සැලකීමක්‌ දැක්‌වූ එසේම කොහොම ලිව්වත් හරි යන නිගමනයක සිටි පේරාදෙණි සරසවි ගුරුවරුන් පිරිසක්‌ විසින් එවකට අධ්‍යාපන ඇමැතිව සිටි බද්යුද්දීන් ඇමැති තුමාට කරුණු පෙන්වා එම සම්මත සිංහලය කුණු බක්‌කියට දැම්මේය. සිංහල භාෂාව පිළිබඳ හය හතර නොදන්නා බද්යුද්දීන් ඇමැතිතුමා ලෙහෙසියෙන් මුළා කිරීමට එම සරසවි ඇදුරන්ට හැකි විය. එය එසේ වුවද පැරැණි සිංහල ගුරුවරයා ලේඛන කටයුතුවලදී ඊරියගොල්ල මහතාගේ සම්මත සිංහල ක්‍රමය අනුගමනය කරයි.

සමාජය නිරවුල් කිරීමේ වගකීමත් හැකිකමත් ඇත්තේ ගුරුවරයාටය. ළමා වියේදීම දවසේ වැඩි කාලසීමාවක්‌ දරුවා හැසිරෙන්නේ ගුරු ඇසුරේය. එහෙයින් ගුරුවරයා දැනුමෙන් පැවතුමෙන්, කාරුණිකත්වයෙන්, පරිත්‍යාගශීලී බවින් හා ආකල්පවලින් පවිත්‍රව සිටිය යුතුය. අප ගුරුවරුන් වශයෙන් ගුරු ක්‍ෂේත්‍රයට ඇතුළු වීම සඳහා ලිත පරීක්‍ෂණයකට අමතරව වාචික පරීක්‍ෂණයකටද යොමු විය යුතු විය.

එවන් සම්මුඛ පරීක්‍ෂණයක දී මා මුහුණ පෑ අත්දැකීමක්‌ තවමත් මට මතකය.

ඔබ කියවා ඇති පත පොත මොනවා දැයි පරීක්‍ෂණ මඬුල්ල මගෙන් ප්‍රශ්න කළේය. සියලුම සිංහල පත පොත කියවා ඇතැයි මම පිළිතුරු දුනිමි. සංදේශ කාව්‍ය තුන හතරක නම් කියා එහි සඳහන් කවියක්‌ කියන්නැයි මට අණ කළේය. මම ඒ ප්‍රශ්නයට සාර්ථකව පිළිතුරු දුනිමි. වැඩියෙන්ම කියෑවූ පොත කුමක්‌දැයි නැඟු ප්‍රශ්නයට වැඩියෙන්ම සතිපතා කියවන පොත හාල් පොත බව මා කී විට පරික්‍ෂණ මඬුල්ලේ සිටි තිදෙනා ගෙන් දෙදෙනෙක්‌ම උදහස්‌ වූහ. එහෙයින් පරීක්‍ෂණයෙන් මා අසමත් කිරිමේ අදහසින් එක්‌ අයෙක්‌ ඔබ කාටවත් ප්‍රේම කරනවාදැයි ප්‍රශ්න කළේය. ඔව් මම මගේ මෑණියන්ට ප්‍රේම කරමියි දුන් පිළිතුරෙන් මම අනූනවයෙන් ගැලවුණෙමි. ඒ නිදසුන ඉදිරිපත් කළේ අද මෙන් නොව එවකට ගුරු ක්‍ෂේත්‍රයට ඇතුළු වීම සඳහා එක්‌තරා විශාරද බවක්‌ ඇතිව සිsටි යුතු බව පසක්‌ කිරීමටය. ඒ අතින් වත්මන් තත්ත්වය ෙ€දනීය වේ. දැනුම පිළිබඳව හා ආකල්ප පෙරදැරිව කිසිදු විමැසීමක්‌ නොකර, දේශපාලනමය තෝරා ගැනීම නිසා නොවේ නම් රස්‌සාවක්‌ සපයා දීමේ ක්‍රමයක්‌ වශයෙන් ගුරුවරුන් බඳවා ගැනීම අසාර්ථක බව වත්මන් සිදුවීම්වලින් සනාථ වී ඇත. එහෙයින් යළිදු ගුරුවරයා පුහුණු කර සමාජගත කිරීම සඳහා පෙර පැවති ගුරු අභ්‍යාස විභාගය වැනි ක්‍රමයක්‌ ගැන කල්පනා කිරීමට කාලය එළඹ තිබේ.

එදා පුහුණුව ලබන ආධුනික ගුරුවරයා සමුහයක්‌ ඉදිරියේ ප්‍රායෝගික ඉගැන්වීමක්‌ කර ලකුණු ලබා ගත යුතු විය. එහෙත් ඇතැම් පාසලක ජ්‍යෙෂ්ඨ පන්තියකට එසේ ඉගැන්වීමට අසීරු අවස්‌ථා විය. පාසලේ ගුරුවරුන්ගේ මෙහෙයවීම මත පුහුණුව සඳහා උගන්වන්නට පැමිණෙන ගුරුවරයා අසීරුවට පත් කිරීමේ හැසිරීම් රටාවක්‌ වූ බැවිනි.

දිනක්‌ ගුරු විදුහල්පතිතුමා අභ්‍යාස විද්‍යාලයේ සිටි ගුරුවරුන් දිරිගන්වමින් එම පන්තියට උගන්වන්නට තරම් ආත්ම ශක්‌තියක්‌ හා නිර්භය කමත් ඇති කෙනෙකු මේ තැන නැද්දැයි ප්‍රශ්න කළේය. දෙවියන් වහන්සේ පය තබන්නට බිය උපදවන තැන පිනුම් ගසන්නට නොබිය එක්‌ ගුරුවරයෙක්‌ එම අභියෝගය පිළිගත්තේය.

එම ගුරුවරයා අමාරුවේ වැටෙන හැටි දැක බලා ගැනීමට ගුරු විදුහලේ සිටි වැඩි පිරිසක්‌ පන්තිය ඉදිරියේ වූහ. ගුරු මඬුල්ලේ කීප දෙනෙක්‌ද වූහ.

පන්තිය ඉදිරියට ගොස්‌ ආයුබෝවන් යෑයි කී ගුරුවරයා ශිෂ්‍යයන් නොකඩවා හෙළන ආයුබෝවන් වැස්‌සෙන් තෙමුණේය. එය නොතකා අප අද භූගෝල පාඩමක්‌ ඉගෙනීමට යමුයි කියමින් ලෝක සිතියම ගෙනෙන්නැයි සිසුවකුට කී විට සිතියමක්‌ නෑ සර් නෑ සර් නෑ සර් යන පිළිතුරම එක හඬින් ගලා එන්නට විය එයින්ද අපරාජිත ගුරුවරයා මෙසේ කීය.

ළමයිනේ රැවුල නැතුව දෙන හාදුවයි, අබ නැතිව උයන මස්‌ හොද්දයි, සිතියමක්‌ නැතිව උගන්වන භූගෝල පාඩමයි යන තුනම අසාර්ථක බව පවසා ඇයි සිතියමක්‌ නැතිව උගන්වන භූගෝල පාඩම් අසාර්ථක? ඇයි අබ නැතිව උයන මස්‌ හොද්ද නීරස? ඇයි රැවුල නැතිව දෙන හාද්ද අසාර්ථක යන ප්‍රශ්න තුනම මහත් අභිමානයෙන් ඉදිරිපත් කරත්ම පන්තිය නිහඬ විය. කුමක්‌ දොa අලුත් යමක්‌ දැන ගන්නට ලැබෙන බවක්‌ ඉඟියෙන් වටහාගත් පන්තියේ සිටි සියල්ලෝම සැණින් නිහඬව එය දැනගැනීමේ රිසියෙන් ගුරුවරයාට අවධානය යොමු කළෝය.

ගුරුවරයාගේ පාඩම් කාලය විනාඩි 30 කි. හෙතෙම විනාඩි 28 ක්‌ම අබ නැතිව උයන මස්‌ හොද්ද ගැනත්, සිතියමක්‌ නැතිව උගන්වන භූගෝල පාඩම ගැනත් කරුණු පහදා දී කාලය ඉතිරිව ඇත්තේ විනාඩි 2 ක්‌ පමණක්‌ බැවින් අපි ඊළඟ දවසකදී ඒ පාඩම ඉගෙන ගනිමුයි කියා සිය කාර්යයෙන් සමු ගත්තේය.

හැම පාඩමකම ඉගැන්වීම විවේචනයට ලක්‌වීම එදා සිරිත විය. භූගෝලය ගැන යමක්‌ ඉගැන්වූයේ නැති නිසා පාඩම අසාර්ථකයෑයි කෙනෙක්‌ කීහ. දඩබ්බර පන්තියක අවධානය විනාඩි 28 ක්‌ තුළ තබා ගැනීමට පොහොසත් වූ හෙයින් පාඩම සාර්ථකයෑයි තවත් පිරිසකගේ මතය විය.

ගුරුවරයාගේ පළමු කාර්යය විෂය ඉගැන්වීමට පළමු ළමයින්ගේ දැඩි අවධානය තමා වෙත රඳවා ගැනීම බව කී විදුහල්පතිතුමා ගුරුවරයාගේ ඉගැන්වීම සර්වප්‍රකාරයෙන් සාර්ථක බවත් කීවේය.

ඒ නිදසුන ඉදිරිපත් කළේ ඉගැන්වීම යනු පහසු කාර්යයක්‌ නොවන බවත් දැනුම පමණක්‌ නොව උපායශීලී බව හා ස්‌ථානෝචිත ප්‍රඥව විය යුතු බවත් පසක්‌ කිරීමටය.

ඇතැම් ළමයකු අසන ප්‍රශ්නයකට පිළිතුරු දීමට බැරි අවස්‌ථාද උගන්වන ගුරුවරයාට වෙයි. පන්ති භාර ගුරුවරයා නොපැමිණි දිනෙක බලාංශ පන්තියකට ඉගැන්වීමට ගොස්‌ සිල්පද පහ ගැන උගන්වමින් සතුන් මැරීම, හොරකම් කිරීම ආදී පස්‌ පව් වලින් වළකින්නැයි බුදුන් වහන්සේ කියා ඇති බවත් කී විට එක්‌ දරුවෙක්‌ අත උස්‌සා ප්‍රශ්නයක්‌ නඟමින් ළමයින්ට ගහන්න එපා යි බුදුහාමුදුරුවෝ කියා නැද්දැයි ප්‍රශ්න කළේය. එම ප්‍රශ්නය මානසික අසහනය නිසා නඟන ලද්දක්‌ නොව දැනගත යුතුව හෙයින් අසන ලද්දක්‌ බව දරුවාගේ ඉරියව්වලින් පැහැදිලි විය. ඒ ප්‍රශ්නයට ඕව් නෑ යන පිළිතුරු දෙකම දිය නොහැකිය. එහෙයින්, තියෙනවා ඒ ගැන ඊළඟ පන්තියේදී ඉගෙනගත හැකි බව කියා ගැලවුණේය.

නැවේ ඉතිහාසය ගැන උගන්වන පස්‌ වැනි පන්තියට ගිය විටෙක වනගතව ජීවත්වූ මිනිසා බියකරු සතුන්ගෙන් ගැලැවීම සඳහා උපායක්‌ සොයද්දී ජලාශයකට පිවිසීම නැණවත් බවත් කල්පනා කළේය. දියේ පාවන ඇතැම් ලී කොටයක්‌ මත කුරුල්ලකු වසා ඇති බවත් දැක ගහක්‌ කපා දියට දැමුවේය. ගස දියයට ගියේය. ඒ සඳහා වේලුණු ගසක්‌ අවශ්‍ය බව පසක්‌ විය. එය ජලයේ යට ගියේ නැත. එම දැව කඳ හාරා පාරුවක්‌ මෙන් හදාගත්තොත් මැනවැයි කල්පනා විය. එසේ කළේය. එවිට ඔරුව පෙරැළෙන්නට බලයි. ඒ නිසා කොල්ලෑවක්‌ අවශ්‍ය බව වැටහී එසේ කළේය. දැන් හබලක ආධාරයෙන් ඔරුව පැදවිය හැකි බව වැටහිණි. තවත් පහසුව සඳහා හුළං පෙත්තක්‌ ඔරුවට සවි කර ගැනීමට කල්පනා කළේය. එසේ කළ විට ඔරුව තුළට වතුර වැටෙන බව කී සැණින් එක්‌ ළමයෙක්‌ නැගී සිට ඇයි එයට මඩ පෝරුවක්‌ සවි කරගන්නට හැකිනේදැයි ප්‍රශ්න කළේය.

ඇතැම් බුද්ධිමත් ළමයින් ගුරුවරයාට වඩා ඉදිරියට සිතන අවස්‌ථාවේ ඒ නිදසුන ඉදිරිපත් කළේත් ඉගැන්වීම කරන්නේ පණ ඇති බුද්ධිය ඇති විචාරය ඇති පිරිසකට හෙයින් ඒ සඳහා පූර්ව පුහුණුවක්‌ හා සුවිශේෂ දක්‍ෂකමක්‌ විය යුතු බව පසක්‌ කිරීමය.

සමාජයේ හොරුන්, අපරාධකරුවන්, වැඩිවෙමින් පවතින්නේ පාසලේ උගන්වන විෂය ධාරාව අසම්පූර්ණ නිසා බව පැහැදිලි වේ.

යුද්ධයෙන් පසුව රට සංවර්ධනය වෙමින් පවතී. දරුවා සමාජගත කරන්නේ ගුරුවරයා විසින් නිසා ඒ කටයුත්තට පොහෝනා පිරිසක්‌ම ගුරු ක්‍ෂේත්‍රයට ඇතුළත් කර ගත යුතු බවත් ඒ සඳහා යළිදු ලිත වාචික පරික්‍ෂණ මගින්ම ගුරුවරුන් බඳවා ගත යුතු බවත් ඒ සඳහා යළි ගුරු අභ්‍යාස විද්‍යාල පැරැණි අයුරින් ඇති කළ යුතු බවත් කල්පනා කරන්නේ නම් වඩාත් වැදගත් වේ. දැනට ජීවතුන් අතර සිටින පැරැණි පුහුණු ගුරුවරුන් ටික දෙනාගෙන් මේ සඳහා මහත් ප්‍රයෝජනයක්‌ ගත හැකි බවද මතක්‌ කරමි.

ආචාර්ය
පියසේන රතුවිතාන

 

 
Powered By -


    සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.