අපේ ස්‌ථාවරය ඉතා නිවැරදියි
- මානව හිමිකම් පිළිබඳ රජයේ නියෝජිත මහින්ද සමරසිංහ

ශ්‍රී ලංකාවට එරෙහි ව ඉදිරිපත් කිරීමට සූදානම් වන යෝජනාව පිළිබඳ සාකච්ඡා කිරීමට මානව හිමිකම් කොමිසමේ මහ කොමසාරිස්‌ නව නීදන් පිල්ලෙයි විසින් ඔබ ඇතුළු ශ්‍රී ලංකා නියෝජිත කණ්‌ ඩායමට කරනු ලැබූ ඇරයුම ඔබ පිළි නොගත් බවට චෝදනා වක්‌ තිබෙනවා. ඔබ එසේ කළේ ඇයි...?

මොකටද ඒ ඇරයුම අපි පිළිගන්නේ. රට ගැන කියන්න තියෙන දේ මම මානව හිමිකම් කවුන්සිලය හමුවේ ඉදිරිපත් කළා. ඇය ඉදිරිපත් කර තිබුණු ප්‍රශ්නවලටත් එහිදී පැහැදිලි අදහස්‌ හා කරුණු දැක්‌වීමක්‌ අපි කළා. ඉදිරියටත් අපි අවශ්‍ය කරුණු කවුන්සිලයට ඉදිරිපත් කරනවා. මහා කොමසාරිස්‌වරිය සමඟ පුද්ගලික සාකච්ඡා අවශ්‍ය නැහැ. අපි ඇය හමුවී කතා කරනවාට වඩා වැදගත් ම දේ වන්නේ ඇය මේ රටට පැමිණ යථාර්ථය දැකීමයි. කරුණු නොදැන දිගින් දිගටම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සෘණාත්මක කරුණු පමණක්‌ ම ඉදිරිපත් කිරීමෙන් සිදු වන්නේ මහ කොමසාරිස්‌වරියගේ අපක්‍ෂපාතී බව බිඳ වැටීමයි.

නමුත් පසුගිය 05 වැනිදා ඇය සමුළුව හමුවේ ශ්‍රී ලංකාව පිළිබඳ ධනාත්මක කරුණු දක්‌වා තිබුණා නේද?

ඇය දැන්වත් නිවැරැදි භාවයකින්, විනිවිද භාවයකින් යුක්‌තව අපි මේ රටේ මානව හිමිකම් ක්‍රියාවට නංවා ඇති ආකාරය පිළිබඳ දකිනවා නම් ඒ ගැන සතුටට පත් වෙනවා.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් සමුළුවේදී ඉදිරිපත් වීමට නියමිත යෝජනා සම්බන්ධයෙන් ඔබ සූදානම් ද?

අනිවාර්යයෙන්ම ඔව්. ඇතැම් විට එම යෝජනා රටක්‌ හැටියට හොඳ ඒවා විය හැකියි. ඇතැම්විට නුසුදුසු ඒවා විය හැකියි. මුහුද හත්ගව්වක්‌ තියෙද්දී පිට පොට ගහන්න අවශ්‍ය නැහැනේ. අපි බලමු මොකද වෙන්නේ කියලා. පිළිගත හැකි යහපත් යෝජනා නම් අපට ඒවාට සංවේදී විය හැකියි.

ඇතැම් රටවල් දෙමළ ඩයස්‌පෝරාව ඉහළින් ම පිළිගන්නවා. මෙම තත්ත්වය ඔබ දකින්නේ කෙසේද?

දෙමළ ජනතාවගේ ඡන්දය ලබා ගැනීම සඳහා ඒ රටවල පාලකයන් ඕනෑම දෙයක්‌ කරනවා. මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාවට එරෙහිව ඡන්දය පාවිච්චි කළොත් ඊළඟ මැතිවරණයේදී දෙමළ ඡන්ද සියල්ල ලැබෙනවා නම් ඔවුන් එසේ කරනවා.

අපේ රටේ තත්ත්වයත් එසේමයි නේද?

ඔව්. අපේ රටට ඇවිත් ඔය ඉන්න ඇතැම් පක්‍ෂවල නියෝජිතයන්ගෙන් ඇහුවොත් ඒ අය කරන්නෙත් ඔවුන්ට වාසි වන දේ ප්‍රකාශ කිරීම විතරයි. ඒකෙන් පොදුවේ රටක්‌ හැටියට ඇතිවන ප්‍රශ්න ගැන කවුරුත් හිතන්නේ නැහැ. එකම ප්‍රශ්නයකට විවිධ පුද්ගලයන්, පරස්‌පර පිළිතුර සපයද්දී කාට වුණත් සැක මතුවීම සාමාන්‍ය දෙයක්‌. අපේ රටේ ඇතැම් පිරිස්‌ සත්‍ය වසන් කරමින් ඔවුන්ගේ වාසි උදෙසා බොරු ගෙතීම හා බොරු මවාපෑම නිසා පොදුවේ රටට විශාල හානියක්‌ සිදු වෙනවා. දිනා ගත්ත නිදහස භුක්‌ති විඳීමේ උවමනාව නැති කම සහ රටේ සමහරුන්ට රට ගැන කැක්‌කුමක්‌ නැතිකම ගැන අවංකවම කණ ගාටුයි.

පශ්චාත් යුද සමයේ මානව හිමිකම් කොමි සම සමඟ ශ්‍රී ලංකා රජයේ සබඳතා තිබුණාද?

ඔව්. අපි නිරන්තරයෙන්ම ඔවුන් සමඟ සහයෝගයෙන් කටයුතු කළා. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර මානව හිමිකම් ආයතනය විශේෂ උනන්දුවක්‌ දක්‌වන බව අපි දැනගෙන හිටියා. අප ලබාගත් ජයග්‍රහණය මෙන්ම අපට මුහුණ දීමට ඇති අභියෝග සම්බන්ධයෙන් ඔවුන් සමඟ විවෘතව කතා කළා. ඊට අවශ්‍ය විසඳුම් පිළිබඳවත් ඔවුන් හා සාකච්ඡා කළා.

එහෙම නම් ඔබ ඇතුළු රජය තෝරාගෙන ඇති මාර්ගය නිවැරැදි නොවන බවට ඔවුන් චෝදනා නගන්නේ ඇයි?

වෙනත් අයගේ බලපෑම් නිසයි ඔවුන් එසේ කරන්නේ. ඔවුන්ගේ තනි උවමනාවක්‌ නොවෙයි. ඔවුන් අපට අවවාද කිරීම කිසිසේත්ම සුදුසු දෙයක්‌ නොවෙයි.

අපේ රටේ මානව හිමිකම් පිළිබඳ උපදෙස්‌ දීමේ සාධාරණ අයිතියක්‌ ඔවුන්ට නැහැ කියලා ද ඔබ පවසන්නේ?

ඔව්. කොහෙත්ම නැහැ. අපේ රටට දැනමුතුකම් දෙනවා නම්, අපව නිවැරැදි කරන්න කියලා කවුරුන් හෝ උත්සාහ දරනවා නම් එසේ කළ යුත්තේ අපේ රටේ ඉතිහාසය, සංස්‌කෘතිය, සමාජ දේශපාලන වටපිටාව පිළිබඳ අවබෝධයක්‌ ඇති අයයි. අපේ රටේ මානව හිමිකම් ආරක්‍ෂා කිරීම පිළිබඳ ඉතිහාසය ක්‍රිස්‌තු පූර්ව තුන්වැනි සියවසටත් එහාට ගමන් කරනවා. ඒ පිළිබඳ උගත් පාඩම් ඕනෑතරම් අපට තිබිය දී අපේ ඉතිහාසය, ශිෂ්ටාචාරය පිළිබඳ කිසිම දැනුමක්‌ නැති පුද්ගලයන්ගේ පාඩම් ඉගැන්වීම් අපට අවශ්‍ය නැහැ.

ඔවුන් චෝදනා නගන්නේ ඉතිහාසයේ මානව හිමිකම් ආරක්‍ෂා නොකළා කියා නොව, පශ්චාත් යුද සමයේ මානව හිමිකම් කඩකර ඇති බවටයි. ඉතිහාසය ආරක්‍ෂක පලියක්‌ කොටගෙන වර්තමානය බේරා ගැනීමට හැකියාවක්‌ තිබෙනවාද?

වර්තමානය බේරා ගන්න දෙයක්‌ නැහැ. ඉතිහාසයේ දී වගේම රජයක්‌ හැටියට පශ්චාත් යුද සමයේදීත්, අදටත් මේ රටේ මානව හිමිකම් උපරිම අයුරින් ආරක්‍ෂා කරනවා. ත්‍රස්‌තවාදී බලපෑම් තිබුණු කාලයේ මේ රටේ සිංහල, දෙමළ, මුස්‌ලිම් පවුල් ත්‍රස්‌තවාදීන් විසින් අමු අමුවේ ඝාතනය කරනු ලැබුවා. ගම්මානවලට පැනලා පවුල් පිටින් කපා කොටා මරා දැමුවා. ඔවුන් එවැනි අවස්‌ථාවලදීවත් දෙමළ පවුල් ආරක්‍ෂා කරලා අනෙක්‌ අයව විතරක්‌ මැරුවේ නැහැනේ. ත්‍රස්‌තවාදී ප්‍රහාරවලින් වැඩිපුරම පීඩනයට පත් වූණේ උතුරේ හා නැගෙනහිර දෙමළ ජනතාවයි. ඔවුන් වසර තිහක්‌ පමණ ම රාත්‍රිය ගත කළේ කැලෑවල්වල, පොළොව යට තැනූ බංකර්වල ඉතාම දුක්‌ඛිත ලෙසයි. ඔවුන්ගේ දරුවන්ට අධ්‍යාපනයක්‌ ලැබුණේ නැහැ. හරියකට කන්න අඳින්න ලැබුණේ නැහැ. තරුණියන් දූෂණය වුණා. තරුණ තරුණියන්ව විතරක්‌ නොවෙයි පුංචි දරුවන්ව ළමා සොල්දාදුවන් ලෙස බඳවා ගත්තේ කටේ කිරි සුවඳ යන්නත් ඉස්‌සෙල්ලායි. ත්‍රස්‌තවාදීන් දෙමළ ජාතිය ගැන කල්පනා කළා නම් එහෙම කරනවාද... අදටත් අපට එරෙහිව ජාත්‍යන්තරයට ගතු කියන මේ රටේ ඇතැම් සංවිධාන හා දේශපාලන නියෝජිතයන්ට අවශ්‍ය වී තිබෙන්නේ මානව හිමිකම් කවුන්සිලයට බොරු කේළම් කියමින් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය අවුල් කරලා, ඔවුන්ගේ බලය තහවුරු කර ගැනීමටයි. නැවත යුද්ධයක්‌ ඇති කරන්නට මේ රජයෙන් කිසිම ඉඩක්‌ දෙන්නේ නැහැ. අපි මොනතරම් හොඳට මානව හිමිකම් ආරක්‍ෂා කළත්, ආරක්‍ෂා කරන බව තහවුරු කළත් අපට එරෙහි චෝදනා හා කුමන්ත්‍රණ නවතින්නේ නැත්තේ මෙම දේශපාලන න්‍යායපත්‍ර ක්‍රියාත්මක කර ගන්නට සැලසුම් සකස්‌ කරන සුළුතරයක්‌ පිරිස නිසයි. අවංකව ම ඔවුන්ට රට ගැනවත්, දෙමළ ජනතාව ගැනවත්, රටේ මානව හිමිකම් රකින්න හෝ ප්‍රවර්ධනය කරන්නටවත් උවමනාවක්‌ නැහැ. ඔවුන්ගේ පටු අරමුණු ඉටු කරගන්න මානව හිමිකම් කවුන්සිලය යොදා ගන්නවා.

ඔබ ඔය කියන දේ ජාත්‍යන්තරයට පැහැදිලි නොකරන්නේ ඇයි?

අපි දිගින් දිගටම සිදු කරන්නේ එම පැහැදිලි කිරීම කරගෙන යන එකයි. නමුත් ඇතැම් සංවිධාන දිගින් දිගටම ජාත්‍යන්තරය නොමග යවනවා. මේ රටට ඇඟිලි ගැසීමට බලාගෙන සිටින ජාත්‍යන්තර සංවිධානවලින් ඔවුන්ට ඒ සඳහා සහාය ලැබෙනවා. චැනල් 4 වැනි නිර්මාණ හදන්න විශාල වශයෙන් මුදල් වැය කරනවා. ඒ සඳහා මුදල් වැය කරන්න බලාගෙන නොයෙකුත් සංවිධාන ඉන්නවා. යුද්ධ කාලේ රටේ ප්‍රශ්න අවුලවන්නට ජාත්‍යන්තර සංවිධාන රැසක්‌ යටින් ගින්දර ගෙනිච්චා. අපි ඔවුන්ව රටින් පිටුවහල් කළා. එවැනි සංවිධාන මේ රජය සමඟ බද්ධ වෛරයකින් පසු වෙනවා. ඔවුන් මේ රටේ ම සිටින ඇතැම් පාර්ශ්වවලට මහා පරිමාණයෙන් උදව් කරමින් රජය අපහසුතාවට පත් කිරීමේ කුමන්ත්‍රණ දැවැන්ත ආකාරයෙන් ක්‍රියාත්මක කරනවා. අපි මොනතරම් උත්සාහ ගෙන මේ රටේ මානව හිමිකම් ආරක්‍ෂා කරන බව ජාත්‍යන්තරයට තහවුරු කළත් ඊට එරෙහිව බලපෑම් මේ තරම් එල්ල වන්නේ ඒ නිසයි.

ශ්‍රී ලංකාවේ ඇතැම් දේශපාලන බලධාරීන් යුද්ධ කාලයේ වූ අතුරුදන් වීම් පිළිබඳ ප්‍රශ්නය පසුගිය කාලයේ මතු කළා, ඔවුන් පවසන්නේ යුද්ධ කාලයේ අතුරුදන් වූ පුද්ගලයන් පිළිබඳ රජය කිසිදු සොයා බැලීමක්‌ නොකරන බවයි. ඒක ඇත්තද?

අමූලික බොරුවක්‌. මේ රටේ ඉන්න, එවැනි චෝදනා කරන අය ම තමයි මේ වගේ අභූත චෝදනා නිර්මාණය කරමින් ජාත්‍යන්තරයට අරගෙන යන්නේ. ලෝකය ම අවුල් කරන්නට මූල බීජ සපයන්නේ ඔය කියන සුළුතරයයි. ඔවුන්ට ඒ සඳහා සීමා මායිම් නැති වාසි හිමි වෙනවා. ඔවුන් බටහිර රටවල සිටින එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ඇතැම් කොටස්‌ සමඟ ගනුදෙනු කරමින් සිටිනවා. ඇතැම් රටවල රජයන්, මතවාද සකසන්නන්, මාධ්‍ය උපයෝගී කර ගනිමින් ශ්‍රී ලංකාවේ සාමය, සංහිඳියාව ගොඩනැගීමේ ක්‍රියාවලිය කඩා බිඳ දමන්නට ඔවුන් උපරිම ශක්‌තිය යොදවනවා. ඇතැම් රටවල් මෙම අසත්‍ය ප්‍රචාර, වැරදි තොරතුරු, විකෘති කිරීම්වල ගොදුරු බවට පත් වෙනවා. සැලසුම් සහගතව සකස්‌ කරන ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවලට එම රටවල් පක්‍ෂව ඡන්දය පාවිච්චි කරන්නේ ඒ නිසයි.

තුෂාරී කළුබෝවිල

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.