ගොඩවාය පුදබිමේ ඓතිහාසිකත්වය

ජී. ඒ. ලෙස්‌ලි ගාමිණී, රේගු අධ්‍යක්‍ෂ



පෙරදිග චීනයේ සිට දුෂ්කර ගිsරි දුර්ග ඔස්‌සේ වැටී තිබූ අති බිහිසුණු සේද මාවතේ ගමන් කළ තවලම්කරුවෝ චීනයෙන් සේද පට පිළි හා පිගන් බඩු ආදිය රැගෙන අපරදිග යුරෝපයේ ඇතැන්සය දක්‌වා ගිය ඓතිහාසික චාරිකාව අපට සිහිනයක්‌ බඳු වේ. සැතැපුම් 4000 ක්‌ පමණ දුරක්‌ ගෙවා දින ගණනාවක්‌ තිස්‌සේ විවිධ බාධක කම්කටොලු මැදින් සිදු කළ මේ චාරිකාව කෙසේ වෙතත් බඩු ප්‍රවාහනය කරන වෙළෙඳ මාර්ගයක්‌ පමණක්‌ම නොවීය. එය ආගමික, සංස්‌කෘතික හා දාර්ශණික සිතුම් පැතුම් රැගත් මහා ඓතිහාසික වූත් අභිමානවත් වූත් ගමනක තොරතුරු සටහන් කරන්නක්‌ විය. මෙම ඓතිහාසික මාර්ගයට අමතරව ඉන්දියාවේ සිට වැටී තිබූ අතුරු මාර්ගයක්‌ද මෙයට සම්බන්ධ වී තිබුණි. මේ අනුව පෙරදිග කුළුබඩු යුරෝපයට යාමේ මං සැලසිණි.

මේ ගොඩබිම් සේද මාවතේ තිබු බිහිසුණු බව නිසාත් මේ කාලය වන විට රුවල් නැව් සොයා ගැනීමත් සමගම චීනයේ සිට මලක්‌කා සමුද්‍ර සන්ධිය පසුකර ඉන්දුනීසියාව, සිංගප්පූරුව ආදී රටවල් හරහා පැමිණි රුවල් නැව් යුරෝපයට යාමේ දී වැදගත් සන්ධිස්‌ථානයක්‌ ලෙස තෝරා ගත්තේ දකුණේ ගොඩවාය වරායයි. චීනය හා මධ්‍යධරණී මුහුද යා කරන වැදගත් සන්ධිස්‌ථානයක්‌ ලෙස පතලව තිබූ නිසාදෝ ඈත අතීතයේ සිටම මහා පරිමාණයේ විශාල නෞකාවෝ ගොඩවාය මුහුද අද්දරින් ගමන් කරන්නට වූහ. මේ නිසා ඈත අතීතයේ පටන් දකුණු මුහුද ප්‍රදේශයේ සිදුකළ නාවික කටයුතු පිළිබඳ වැදගත් ඓතිහාසික තොරතුරු රැසක්‌ දකුණු ප්‍රදේශයේ මුහුදු පත්ලෙන් හමුවෙමින් පවතී. අවුරුදු දෙදහසක්‌ පමණ පැරණි නැවක නටබුන් ගොඩවාය ආශ්‍රිත මුහුදු පතුලේ තිබී හමු වීමත් සමග මෙම මතය තවත් තහවුරු වන්නට විය.

ගොඩබිම් සේද මාවතේ වැදගත් මං සන්ධියක පිහිටි සිරියාවේ පැල්මයිරා තොටුපලෙන් හමුවූ රේගු බදු අයකිරීම පිළිබඳව දැක්‌වෙන ලොව පැරණිතම තීරු බදු ලේඛනයට සමගාමීව මුහුදු සේද මාර්ගයේ පිහිටි ගොඩවාය වරාය ආශ්‍රිතව සටහන් කළ බදු අය කිරීමේ ලිත සටහන ලාංකික අපට ආඩම්බර විය හැකි වැදගත් ඓතිහාසික සාධකයකි. මෙම ස්‌ථානයේ පිහිටි ගල් තලාවක අද ද මෙම සෙල් ලිපිය පියවි ඇසින් බලා කියවන්නට ලැබීම කොතරම් භාග්‍යයක්‌ දැයි වැටහෙන්නේ හෙට දින මහා පරිමාණයේ බහාලුම් රැගෙන එන විශාල ප්‍රමාණයේ නෞකා නැංගුරම් ලන්නට සූදානම් වන හම්බන්තොට වරාය ඉදිවී තිබෙන්නේ ද මෙම ස්‌ථානයට පේන තෙක්‌ මානයේ නිසාය.

ඓතිහාසික ගොඩවාය පුරා විද්‍යාත්මක භූමිය අවට ප්‍රදේශය අද ධීවර ගම්මානයකි. මෙහි පිහිටා තිබෙන ගොඩවාය පන්සලට හැරෙන ස්‌ථානයේ පුරා විද්‍යා දෙපාර්තමේන්තුව මගින් දැන්වීම් පුවරුවක්‌ සවිකර තිබේ. මෙතැනින් හැරී කී. මි. එකහමාරක්‌ පමණ යනවිට ගෝඨපබ්බත විහාරය හමුවේ. පැරණි වරායකට පමණක්‌ නොව අදටත් වරායකට සුදුසු පරිසරයක්‌ මෙම ස්‌ථානයේ දකින්නට ලැබේ. අනිත් පැත්තෙන් දිස්‌වන්නේ වලවේ ගඟ මුහුදට වැටෙන මුවදොරයි. එයට අමතරව මෙම ස්‌ථානය පිළිබඳව ජර්මන් ජාතික පුරා විද්‍යා කණ්‌ඩායමක්‌ ශ්‍රී ලංකාවේ පුරා විද්‍යා දෙපාර්තමේන්තුව හා ඒකාබද්ධ වී පර්යේෂණයක්‌ සිදු කර ඇත. මෙම ප්‍රදේශයෙන් හමු වූ කෞතුක භාණ්‌ඩ කීපයක්‌ මේ විහාරස්‌ථානයේ තැන්පත් කර ඇත.

ගොඩවාය වරාය පිහිටියේ ගොඩවාය පන්සලට නුදුරිනි. මෙහි ධීවර බෝට්‌ටු නවතා තබන ධීවර වරායක ලක්‍ෂණ දක්‌නට ලැබේ. ස්‌වාභාවිකව ගල්වලින් වට වූ දිය කඩනයක්‌ තිබෙන නිසා මෙතැන වරායකට සුදුසු පරිසරයක්‌ තිබෙන්නට ඇති ඉඩ කඩ වැඩි බව පෙනේ. පසුගිය දා මෙම ස්‌ථානයේ වැල්ලෙන් යට වූ වරාය ජැටියක යයි විශ්වාස කළ හැකි ගල් කණු 20 ක්‌ 25 ක්‌ පමණ මතු වු බව පැවසේ. අදටත් එහි එක්‌ ගල් කණුවක්‌ වෙරලේ සිටුවා ඇත.

අනුරාධපුරයේ රජකළ දේවානම්පියතිස්‌ස රජුගේ සොහොයුරෙකු වන මහානාග කුමාරයා රුහුණට පලා විත් මෙහි ප්‍රාදේශීය රාජ්‍යයක්‌ පවත්වා ගෙන ගිය බව මහාවංශයේ සඳහන් වේ මහානාගගේ පුත් යටාලතිස්‌ස කුමරු ඉන්පසුව රජවූ බවත් යටාලතිස්‌ස රජුගේ පුත් ගෝඨාභය කුමාරයා ඉන්පසු මෙම ප්‍රදේශය පාලනය කළ බවත් සැලකේ. වත්මන් ගෝඨපබ්බත රජ මහා විහාරයට එම නම ලැබී ඇත්තේ මෙම විහාරයේ වාසය කළ පබ්බත නම් තාපසතුමාට ගෝඨාභය රජතුමා විසින් විහාරස්‌ථානය පුද කළ නිසා බවට සැලකේ. ගෝඨාභය රජුගේ නමත් පබ්බත තවුසන්ගේ නමත් එක්‌කොට ගෝඨපබ්බත වී යෑයි ඇතමෙක්‌ අදහස්‌ පළ කරති. එසේම මෙම ස්‌ථානයේ පිහිටි මිටි පර්වතය හේතුවෙන් මෙයට ගෝඨපබ්බත යෑයි නම් කරන්නට ඇති බවට තවත් මතයකි.

මෙම විහාරය අදවන විට ඓතිහාසික වශයෙන් වැදගත් වී ඇත්තේ එහි පිහිටා ඇති සෙල් ලිපිය නිසාය. මෑතක සිට මහත් උනන්දුවකින් මෙම ප්‍රදේශය ආශ්‍රිත පුරා විද්‍යාත්මක කැණීම් සිදු කරන්නට පටන් ගත් නිසා අතීතයේ මෙම ස්‌ථානයේ පැවැති වැදගත් වරායක නටබුන් හා මිනිස්‌ වාසයක නටබුන් හමුවන්නට පටන් ගෙන ඇත. මෙහි ඇති විශේෂ වූ සෙල් ලිපි දෙකකි එක්‌ සෙල් ලිපියකින් කියෑවෙන්නේ.

"සිද්ධම්· ගොඩපවත පටනහි සුඛ සුරියි රජ ගාමිණී අභය විහරට දිනි" යනුවෙනි

මෙය ගොඩපවත සෙල් ලිපිය යයි හඳුන්වනු ලබන අතර එහි සඳහන් කරුණු අනුව ක්‍රි.ව 114-136 අතර කාලයේ දී රජකළ 1 වන ගජබාහු රජ විසින් ගොඩපවත වරායෙන් ලැබුණු තීරු බද්ද ගොඩවාය විහාරයට පුද කළ යුතු බවට වු පුවත හෙළි කරයි. මෙහි ඇති ඊළග විශේෂත්වය නම් රාජ්‍ය පාලකයා විසින් රජයට අයවිය යුතු බදු මුදල් ආගමික සිද්ධස්‌ථානයකට පූජා කිරීමට කරන ලද නියෝගයයි. මේ සඳහා විශේෂ වු නිලධාරීන් පත් කරන්නට ඇති බව විශ්වාස කළ හැකිය.

පන්සල් භූමියේ පිහිටි විශාල නුග ගස යට තිබෙන විශාල ගල් තලාවේ එක්‌ තැනෙක දැනට තාවකාලික ආරක්‍ෂාව සඳහා කලුගල් හා පස්‌වලින් වැසූ ස්‌ථානයක ගොඩවාය සෙල් ලිපිය දැක ගත හැකි වෙයි. දකුණු පස භූමියේ පැරණි විහාර ගෙයක නටබුන් හා ඉන් පහළ ප්‍රදේශයේ ගල් කණු දහ හතරක්‌ පමණ දැක ගන්නට ඇත. විහාර ගෙය යෑයි සැක කෙරෙන ගොඩනැඟිල්ලේ පියගැට පෙළ දක්‌නට ලැබේ.

මෙහි තිබෙන දෙවන සෙල් ලිපියෙන් පැවැසෙන්නේ පන්සලට දුන් ආරාමික මුදල් හා පන්සලේ නඩත්තුවට දුන් කරිස හතක කුඹුරක්‌ පිළිබඳවයි. මේ සෙල් ලිපි දෙකම ලියා තිබෙන්නේ අපර බ්‍රාහ්මීය අක්‌ෂර වලිනි. මෙය ක්‍රි. ව. 2 වන සියවසට අයත් වන සෙල් ලිපි දෙකක්‌ බව කියෑවේ. පළමුවන සෙල් ලිපියෙන් 1 වන ගජබාහු රජතුමා විසින් ගොඩවාය වරායෙන් ලැබෙන තීරු බද්ද ගොඩවාය විහාරයට දිය යුතු බවට වූ පුවතක්‌ හෙළි වීමෙන් අතීතයේ පැවැති වරායක්‌ හා තීරු බදු අයකිරීමක්‌ පිළිබඳව සඳහන් වේ.

ඒ සමගම තීරු බදු ගැන සෙල් ලිපියේ දැක්‌වෙන කරුණු සනාථ කිරීම සඳහා මෙම ස්‌ථානයේ අසළ පැරණි වරායක්‌ තිබූ බවට හෙළි වන පුරා විද්‍යාත්මක කරුණු රැසක්‌ ඒ අසලින් සොයා ගෙන තිබුණි. මෙම වරාය ආසන්නයේ දී මුහුදේ ගිලී ගිය පැරණි නැවක්‌ පිළිබඳව පුරා විද්‍යාඥයින් විසින් සාධක සොයා ගෙන තිබුණි. ගොඩවාය ගිරි ලිපියේ සඳහන් වන ආකාරයට, 1 වන ගජබාහු රජුගේ කාලයේ, එනම්, ක්‍රි. ව. 2 වන සියවසේ 114-136 අතර කාලයේ දී අපර බ්‍රාහ්මී අක්‌ෂරවලින් ලියූ පුරාණ සිංහල භාෂාවෙන් රචිත මෙම සෙල් ලිපියේ කියෑවෙන්නේ ගජබාහු රජුගේ සමයේ දී අහලය බතික නම් අමාත්‍යවරයා විසින් තුන් දහසක ආරාමික මුදල් හා හකල නම් නගරයෙහි ඇති කරිස තුනක කුඹුර ගොඩපවත විහාරයට පූජා කිරීම පිළිබඳවයි. එසේම චෛත්‍යය සඳහා කරිස හතක කුඹුරක්‌ පූජා කිරීම පිළිබද තොරතුරු ඇතුළත් වේ.

මෙම ස්‌ථානයේ තිබූ විශාල ගල් පරයක්‌ ගල් කැඩීම සඳහා යොදා ගනිද්දී එම ස්‌ථානයේ තිබී අවුරුදු 5000-7000 ක්‌ පමණ පැරණි මානව ඇට සැකිල්ලක්‌ හමු වී තිබිණි. එම ස්‌ථානයේ ප්‍රාග් ඓතිහාසික මානවයා විසින් පරිහරණය කරන ලද පැරණි ගල් ආයුධ සඳහා භාවිතා කරන ගල් කැබැලි, කහද ගල් කැබැලි ආදිය සොයා ගැනීම මෙහි ඓතිහාසික බව තවදුරටත් සනාථ කරන්නකි. මෙහි ඇති පස්‌ තට්‌ටුවල ස්‌වභාවය හා හමුවූ අවශේෂ අනුව එලෙස සාපේක්‍ෂ කාල නීර්ණයකට එළැඹ ඇතත් මෙම මානව ඇට සැකිල්ල ඉදිරි කාලයේ දී ජර්මනියට යවා කාබන් කාල නීර්ණය සිදු කිරීමෙන් එහි නිවැරදි කාල නීර්ණය තීරණය කරන බව පුරා විද්‍යාඥයෝ පවසති.

මෙම වරායේ නටබුන් පරීක්‍ෂා කරන ලද්දේ දකුණු පළාතේ සංචාරය කරන ලද ඊ. ආර්. අයර්ටන් නමැති පුරා විද්‍යාඥයා විසිනි. ඔහු විසින් මෙම ප්‍රදේශයේ තිබෙන සෙල් ලිපි දෙක සොයා ගන්නා ලදී. මෙහි සඳහන් ගාමිණී අභය හෙවත් ගාමිණී අභය රජ පළමුවන ගජබාහු හෝ ඔහුගේ අනුප්‍රාප්තිකයෙකු විය හැකි යෑයි අනුමාන කෙරෙන අතර ආමණ්‌ඩ ගාමිණී යෑයි ද සැක කෙරේ.

අයබදු එකතු කිරීම පිළිබඳව සඳහන් වන සෙල් ලිපියට අමතරව 6 වන සියවසට අයත් සෙල් ලිපියක්‌ ද මෙම ප්‍රදේශයෙන් හමු වී ඇත. දැඩි ලෙස ක්‍ෂය වී ගිය අක්‌ෂර සහිත මෙම සෙල් ලිපියේ මෙම විහාරය සඳහන්ව ඇත්තේ ගොඩව වෙහෙර යනුවෙනි. මහාවංශ ටීකාව අනුව මෙය ගෝටපබ්බත ලෙස දක්‌වා ඇත. මෙය ගෝඨාභය රජ විසින් කරවන ලද බවත් 1 වන ගජබාහු රජ විසින් එය පිළිසකර කළ බවත් පිළිගැනීමට සාධක තිබේ. දැනට හමු වී ඇති පුරා වස්‌තු අතර කලු ගලින් නිමවන ලද නැංගුරමක්‌ හඳුනාගෙන ඇත. වංසත්ථප්පකාසිනී නම් මහා වංශ ටීකාවේ මෙම විහාරය සඳහන් වන්නේ ගෝඨපාෂාණ විහාරය යනුවෙනි. ගොඩවාය විහාරයේ වැඩ වාසය කරන රහතුන් වහන්සේලා ධම්මචක්‌කපවත්තන සූත්‍රය දේශනා කළ බවත්, එය ඇසූ දේව පුත්‍රයෙක්‌ සාදු කාර දුන් බවත් මෙහි තවත් එක්‌ ජනප්‍රවාදයකි. මෙම ප්‍රදේශයේ තවත් විශේෂ අවස්‌ථාවක්‌ වනුයේ කැණීම් මගින් විශේෂ භාජන හා කාසි වර්ග හඳුනා ගැනීමට හැකි වීමයි. මෙහි දි පැරණි රෝම කාසි අති විශාල ප්‍රමාණයක්‌ ලැබීමෙන් අතීතයේ පැවැති ජාත්‍යන්තර වෙළෙඳාම පිළිබඳ වැදගත් සාධක රැසක්‌ අනාවරණය වේ.

වලවේ ගං මෝය අද්දරට පිහිටි ස්‌වභාවික වරායක්‌ වීම නිසාත් රුහුණු මාගම් රාජධානියේ ආර්ථික සමාජයීය හා සංස්‌කෘතික කටයුතු පිළිබඳ මධ්‍යස්‌ථානයක්‌ ලෙස පිහිටි නිසාත් මෙම ගොඩවාය වරාය ආශ්‍රිත පුදබිම් අන්තර්ජාතික වශයෙන් වැදගත්කමක්‌ උසුලයි.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.