සංස්‌කරණය : නාරද නිශ්ශංක

අනිත්‍යා වෙනස්‌ම ප්‍රේම කතාවක්‌
- අධ්‍යක්‍ෂ නාලක විතානගේ

සිනමාව නමැති මහා සාගරය තරණය කිරීමට තරුණ අධ්‍යක්‍ෂවරයෙක්‌ සිය පළමු පියවර සටහන් කරයි. නියත නැති ජීවිතය තිරය ඔස්‌සේ දිගහරිමින් සිනමාවට පා තබන මේ තරුණයා... නාලක විතානගේය.



නාලකගේ සිනමා සම්ප්‍රාප්තිය "අනිත්‍යා"ය. "අනිත්‍යා" මෙම 22 දා පටන් එම්. පී. අයි. මණ්‌ඩලයේ සිනමා ශාලාවල ප්‍රදර්ශනය වේ.

මිලාන් වයස අවුරුදු විසිඅටයි. පෞද්ගලික ආයතනයක රැකියාව කරන තරුණයෙක්‌. ෙච්තනා වයස අවුරුදු විසිපහයි. මිලාන්ගේ පෙම්වතිය වන ඈ විදේශ රටක අධ්‍යාපනය හදාරන්නීය. ෙච්තනා රිය අනතුරකින් මියගිය පුවත අසන මිලාන් තම ජීවිතයද පෙම්වතිය වෙනුවෙන් කැප කිරීමට තීරණය කරයි. මැදියම් රැයේ කොළඹ පාලමක්‌ මතට ඔහු එන්නේ ඉන් පැන දිවි තොරකර ගැනීමටය. "සියල්ල අවසන්" යෑයි සිතමින් මිලාන් පාලමෙන් පහළට පැනීමට උත්සාහ දරද්දී උදව් ඉල්ලා කෑගසන තරුණියකගේ හඬ මිලාන්ට ඇසේ. ඔහු වටපිට බලයි. දිවි තොරකර ගැනීමට පාලමෙන් පහළට පැනීමට ගොස්‌ අතරමග සිරවී සිටින තරුණියක්‌. ඇය කෞෂි. ජීවිතය නිමකිරීමට පාලම මතට ආ මිලාන්ට සිදුවන්නේ සියදිවි හානි කර ගැනීමට උත්සාහ කළ කෞෂිව බේරා ගැනීමටය. හති හලමින් දෙදෙනා ඉදිරියට ගමන් කරති. නැවතීම වන්නේ කෞෂි ජීවත්වන කුලී නිවසය.

දැන් මේ දෙදෙනා හොඳ මිතුරන්ය. දෙදෙනාම එකම කුලී නිවසේ ජීවත් වෙති. දිනක්‌ උපන්දින සාදයකදී මිලාන්ගේ මිතුරකු වන ඉම්රාන් හඳුනා ගැනීමට කෞෂිට අවස්‌ථාව ලැබේ. නිරූපණ ශිල්පියෙකු වන ඉම්රාන් කෙරෙහි කෞෂිගේ සිතේ ආදර හැඟීමක්‌ උපදී. සාදය අවසන සුරාමතින් සිටින ඉම්රාන්ද කෞෂිගේ කුලී නිවසට යයි. එදින රාත්‍රියේ කෞෂි සහ ඉම්රාන් එක්‌වන්නේ මිලාන්ට හොර රහසේය.

ඉම්රාන් සහ කෞෂි දැන් පෙම්වතුන්ය. දිනක්‌ දහවලක කුලී නිවසට හදිසියේ පැමිණෙන මිලාන්ට ඉම්රාන්ගේ වාහනය නවතා තිබෙන අයුරු දැක ගැනීමට ලැබේ. සියල්ල වටහා ගන්නා මිලාන් පසුව ඒ පිළිබඳ කෞෂිගෙන් විමසයි. තම පෞද්ගලික ජීවිතය පිළිබඳ ප්‍රශ්න නොකරන ලෙස කෞෂි මිලාන්ට පවසයි. මිලාන්ගේ සිත යළි කලකිරෙයි. දුක ඉවසමින් ජීවත්වන මිලාන්ට ඉම්රාන් විවාහ වීමට නියමිත තරුණිය හමුවේ. ඒ මිලාන් පෙම් කළ ෙච්තනාය. රිය අනතුරකින් මියගිය බැව් කී වේතනාය. කෝපයට පත් මිලාන් මේ බව කෞෂිට කියයි. ඇය එය පිළිනොගනී. එහෙත් දිනක්‌ ඉම්රාන්ගේ දෙබිඩි ජීවිතය සියෑසින් දකින කෞෂි හඬා වැටේ... මේ නිසා මිලාන් සතුටට පත්වේ. එහෙත් කෞෂි මංගල උත්සවය සඳහා ඉම්රාන්ටත්, ෙච්තනාටත් උදව් කරන්නීය. මෙය දරාගත නොහැකි මිලාන් කෞෂිට බැණ වදී. ඇය ගණිකාවක්‌ යෑයි දොස්‌ නඟයි. මිලාන්ගේ දොස්‌ නැගීම හමුවේ කෞෂි මෙතෙක්‌ කලක්‌ සඟවාගෙන සිටි රහසක්‌ හෙළි කරන්නීය. එය අසන මිලාන්ගේ තත්ත්වය කෙබඳු වේද.. ඉන්පසු කෞෂිට, මිලාන්ට, ෙච්තනාට, ඉම්රාන්ට කුමක්‌ සිදුවේවිද? අනිත්‍යා මේ පැනයට පිළිතුරු සපයනු ඇත.

මෙරට ප්‍රවීණ වේදිකා සහ රූපවාහිනි ශිල්පි බන්දුල විතානගේ නාලකගේ පියාණන්ය. පියා විසින් නිර්මාණය කළ "ඩෝන්ට්‌ ෙඩ්‍රස්‌ ෙµda ඩිනර්" නමැති බ්‍රිතාන්‍ය නාට්‍ය ඇසුරින් "රාත්‍රි භෝජනය" වේදිකාවට ගෙන එමින් නාලක විතානගේ 2004 දී නාට්‍ය ක්‍ෂේත්‍රයට පිවිසියේය.

බ්‍රිතාන්‍ය ඉංග්‍රීසි නාට්‍යවල ඇති ප්‍රගසනවල සුවිශේෂී ලක්‍ෂණවලට දැඩි ලෙස ඇලුම් කළ නාලක එකී නාට්‍ය ශෛලිය පිළිබඳ හැදැරීමට පටන් ගත්තේය. ඒ අනුව "කාසිමල්ල" නමින් ස්‌වතන්ත්‍ර පිටපතක්‌ රචනා කර එය වේදිකාවට ගෙන ආ නාලක පසුව රූපවාහිනි නාට්‍ය නිර්මාණකරණයට යොමු වූයේය.

ඔහු කළ දෙකොන ගිනි, අයි ලව් ජෙනී, අල්ලපු ගෙදර, මයි ස්‌වීට්‌ ස්‌ටැන්ලි, රූපවාහිනි නාලිකා ඔස්‌සේ විකාශය විය.

දේශපාලනය හා මාධ්‍ය අතර පවත්නා අශෝභන ගනුදෙනුව "උපන්දා මරණය" නමින් 2009 දී වේදිකාවට ගෙන ආ හෙතෙම පසුව එය "බ්‍රේකින් නිව්ස්‌" නමින් වත්මන් වේදිකාවේ රඟ දක්‌වයි.

මේ ක්‍ෂේත්‍ර දෙක ඔස්‌සේ ලද අත්දැකීම් උපයෝගි කර ගනිමින් නාලක හැදූ "අනිත්‍යා" ඔහුගේ පළමු චිත්‍රපටයය. ඔහු කළ දෙවැනි චිත්‍රපටය, "රූපාන්තරණ" චිත්‍රපටයද මෙම වසර තුළදීම තිරගත වීමට නියමිතය.

අපි අද නාලක විතානගේ සමඟ කතා කරන්නේ "අනිත්‍යා" ගැනය.

ඔබේ පළමු චිත්‍රපටයට.. මෙවැනි කතාවක්‌ තෝරාගත්තේ ඇයි?

පසුගිය කාලේ දිගටම අපි අපේ සිනමාවෙන් දැක්‌කේ ඉතිහාස කතා, බොළඳ ප්‍රේම කතා හැරෙන්න මෑත කාලයේදී අපි ආදර කතාවක්‌ අපේ සිනමාවෙන් දැක්‌කේ නෑ. එනිසා තමයි මම වෙනස්‌ම ප්‍රේම කතාවක්‌ සිනමාවට ගෙන ආවේ.

සංගීතා වීරරත්න, රොජර් සෙනෙවිරත්න හැරෙන්නට සෙසු ප්‍රධාන චරිත රඟන්නේ සිනමාවට නවකයන්. ඇයි මේ?

මට වුවමනා වුණා රංගනයෙන් අලුත් ශෛලින් කිහිපයක්‌ එළියට දාන්න. වැඩමුළු පවත්වලා තමයි මණික්‌ විඡේවර්ධන, විශ්වලංකා, උදිත අබේරත්න සහ නිශානි අලංති සොයා ගත්තේ. අලුත් ඉදිරිපත් කිරීමක්‌ කරන්න ඕන වුණා. සංගීතා, රොජර් ප්‍රවීණ ශිල්පීන් දෙදෙනාගේ අත්දැකීම්, පළපුරුද්ද අලුත් අයට වැදගත් වුණා. අලුත් නළු නිළි පිරිසකගේ ඉදිරිපත් කිරීම වෙනස්‌ නිසා ප්‍රේක්‍ෂකයන්ට අලුත් ඇත්දැකීමක්‌ 'අනිත්‍යා' නරඹද්දි දැනේවි.

අද ඉන්න නළු නිළියෝ නිතර දකින්න ලැබෙන නිසාද ඔබ අලුත් අය යොදාගත්තේ?

මෑතකදී ක්‍ෂේත්‍රයට ආ අයගේ රංගනයන් දකිද්දී ඔවුන්ගේ හැකියාවන්ගේ මට්‌ටම ගැන හිතාගන්න පුළුවන්. ඒකට විසඳුමක්‌ ලෙස තමයි මේ අලුත් අය තෝරාගත්තේ.

අලුත් පිරිසක්‌ සමඟ වැඩ කිරීම ප්‍රශ්නයක්‌ වුණාද?

නෑ... නිෂ්පාදනය පැත්තෙන් එය ලොකු පහසුකමක්‌ වුණා. ප්‍රේක්‍ෂකයා වෙත ගෙන යද්දී ලොකු අභියෝගයක්‌ අලුත් අය ගැනීම. ඒ අභියෝගය මම භාරගත්තා. අලුත් අය ගැනීමෙන් හොඳක්‌ මෙන්ම නරකක්‌ද වෙන්න පුළුවන්. අපිට වුවමනා වුණේ හොඳ නිර්මාණයක්‌ කරන්න. එය කළා.

තරුණයකු ලෙස ඔබ සිනමාවට එද්දි කර්මාන්තය තුළ ඔබට මුහුණ පාන්න වූ තත්ත්වයන් සතුටුදායකද?

ඇත්තම කිව්වොත් ලංකාවේ කර්මාන්තය ඇතුළට එන එක අභියෝගයක්‌. නිර්මාණයක්‌ කළ පසුව ප්‍රදර්ශන මණ්‌ඩල හරහා ප්‍රදර්ශනය කිරීම, ශාලාවලට ඇතුළු කිරීම අභියෝගයක්‌. කර්මා න්තයක්‌ ලෙස අපේ සිනමාව දුවනවා, නැත්තේ නෑ. ඒත් ඒ තත්ත්වය යටතේ අලුත් අය ප්‍රශ්න රැසකට මුහුණ දෙනවා. මම ඒ ප්‍රශ්නවලට මුහුණ දුන්නා. දැන් පුළුවන් මේ ප්‍රශ්නවලට මුහුණ දෙන්න.

සමහරු චිත්‍රපට හදන්නේ අපේ රටේ ප්‍රේක්‍ෂකයන්ට නොවේ, විදෙස්‌ උළෙලවලට කියා චෝදනාවක්‌ තියෙනවා. ඔබ?

අපි කළ යුත්තේ අපේ රටේ ප්‍රේක්‍ෂකයාට නරඹන්න පුළුවන් චිත්‍රපට හැදීමයි. එවිට තමයි කර්මාන්තය දියුණු වෙන්නේ. උළෙලවලට අපි යා යුතුයි. ඒත් උසස්‌ නිර්මාණ ශක්‌තිය තිබෙන අයට අපේ ප්‍රේක්‍ෂකයා ගැනත් හිතන්න පුළුවන් නම් ඒක කර්මාන්තයට හොඳක්‌. අපේ කර්මාන්තයේ ඉන්නේ නිෂ්පාදකයන් කිහිප දෙනායි. ඒ අය නිසා තමයි අදටත් කර්මාන්තය රැඳී තිබෙන්නේ. පිටරට උළෙලවලට යන බොහෝ චිත්‍රපට අපේ රටේදි අසාර්ථකයි. නිෂ්පාදකයා අමාරුවේ වැටෙනවා. එවිට ඔවුන් යළි චිත්‍රපට කරන්න මැලිවෙනවා. හැත්තෑ ගණන්වල අපේ සිනමාව ඉන්දියාව සමඟ කරට කර සිටියා. ඒත් පසුව අපි ආපස්‌සට ගියා. ඉන්දියාව පෙරට ආවා. පිටරටට හදන අපේ චිත්‍රපට බොහෝමයක අන්තර්ගත වෙන්නේ අපේ රටේ ප්‍රශ්න. ඉන්දියාව එහෙම නොවේ. ඉන්දියාවේ කැත ඔවුන් චිත්‍රපටවලින් පෙන්වන්නේ නෑ. ඔවුන් චිත්‍රපටවලින් µeන්ටසි ලෝකයක්‌ පෙන්වනවා. චිත්‍රපටවල යථාර්ථය වගේම µeන්ටසියත් තිබිය යුතුයි.

ඔබේ පියාගෙන් ඔබට ලැබෙන සහාය?

තාත්තාගේ චිත්‍රපට කර්මාන්තය ඔස්‌සේ තමයි නාට්‍යයටත්, රූපවාහි නියටත් ආවේ. මට තාත්තාගේ සහාය නිතර ලැබෙනවා. ඒ වගේම තාත්තාට හිතවත් සිනමාවේ දැවැන්තයන් වන ආචාර්ය ඩී. බී. නිහාල්සිංහ, ධර්මසේන පතිරාජ, ධර්මසිරි බණ්‌ඩාරනායක, තිස්‌ස නාගොඩවිතාන වැනි ප්‍රවීණයන්ගෙන් ලැබෙන උපදෙස්‌ සහ සහාය මට ශක්‌තියක්‌.

ඔබේ ඊළඟ චිත්‍රපටය සූදානම්ද?

ඔව්. රූපාන්තරණ. අනිත්‍යා විශේෂ දර්ශනයක්‌ කලකට ඉහතදී මාධ්‍ය සහ තවත් පිරිසක්‌ හමුවේ ප්‍රදර්ශනය කළා. එහිදී "අනිත්‍යා" නැරඹූ ආචාර්ය අරෝෂ ප්‍රනාන්දු මහතා කැමැති වුණා රූපාන්තරණ නිෂ්පාදනය කරන්න. ජූලි මාසයේදී එය තිරගත කළ හැකිවේවි. ඒ සමඟම "අනිත්‍යා" නිෂ්පාදනයේදී දායක වූ සම්පත් ජයසුන්දර, සුජිත් දොලමුලගේ, උදාර විදානගමගේ, හරේන් නාගොඩවිතාන, චින්තක රණවීර සහ නුවන් වැලිවිට යන අයත් ස්‌තූති පූර්වකව සිහිපත් කරනවා.

අජිත් අලහකෝන්
 

 
Powered By -


  සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.