හොරණ සමාජ දේශපාලන අන්දරය

(1956-1957) අධිරාජ්‍ය නම්බුනාම අහෝසි කෙරේ

ඇමැති මණ්‌ඩලය රැස්‌වූ පළමු දිනයේදීම හාල්, සීනි ප්‍රධාන අත්‍යවශ්‍ය ද්‍රව්‍යයන්හි මිල අඩු කරන ලදි. අධිරාජ්‍ය නම්බුනාමද අහෝසි කෙරිණි.

1956 මැයි 1 වැනි දිනය යෙදී තිබුණේ අඟහරුවාදා දිනයකටය. වෙනත් වසරවල අඟහරුවාදා නිවාඩු දිනයක්‌ නොවීය. 1934 සිට 1955 දක්‌වාම මැයි දිනයට සහභාගි වීමට නිවාඩු ලබාගත යුතු විය. විශේෂයෙන් වමේ පක්‍ෂ විසින් සමහර අවස්‌ථාවලදී මැයි දිනය පැවැත්වූයේ ඉතා රහසිගතවය. 56 ජනතා ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකාවේ පළමුවන වරට මැයි දිනය රජයේ නිවාඩු දිනයක්‌ බවට ප්‍රකාශයට පත්කරන ලදි. 1934 පටන් ලෝක කම්කරු දිනය පවත්වන්නට පෙළපාලි යන්නට රැස්‌වීම් තබන්නට ධනපති ආණ්‌ඩුවලට එරෙහිව පෙරමුණ ගන්නට ඇප කැපව සිටි පිලිප් ගුණවර්ධන, ටී. බී. ඉලංගරත්න, පී. එච්. විලියම් ද සිල්වා, ඩබ්ලිව්. දහනායක පෙරළිකාරයෝ හතර දෙනාම නව ඇමැති මණ්‌ඩලයට පත්ව සිටියහ. 1947 පැවැති මහා වැඩවර්ජනය නිසා රැකියාව අහිමිව සිටි ගලහ මන්ත්‍රී ටී. බී. ඉලංගරත්න මහතා කම්කරු නිවාස හා සමාජ සේවා ඇමැති ධුරයට පත්ව සිටීම සුවිශේෂ සිද්ධියක්‌ විය. චිරප්‍රසිද්ධ සාහිත්‍යධරයෙකු, කවියෙකු, ලේඛකයෙකුවූ ටී. බී. ඉලංගරත්න කවියෙකු පුවත්පත්කලාවේදියකු, ලේඛකයෙකු වූ හොරණ මන්ත්‍රී සාගර පලන්සූරිය මහතාගේ සමීපතම හිතවතකු වූ වග කිවයුතු නොවේ. ඒ අතර තමන්ගේ දේශපාලන නායකයා වූ පිලිප් ගුණවර්ධන මහතාට ආහාර හා කෘෂිකර්ම අමාත්‍ය ධුරය හිමිවීමත් සාරංගගේ මහත් අමන්දානන්දයට හේතු සාධක විය. ඇමැති පී. එච්. විලියම් සිල්වා මහතා විප්ලවකාරී ලංකා සමසමාජ පක්‍ෂයේ උපනායක විය. උග්‍ර සමසමාජ පාක්‍ෂිකයෙකු වූ ඩබ්ලිව්. දහනායක මහතාට අධ්‍යාපන ඇමැති ධුරය හිමිවීම වෘත්තියෙන් ගුරුවරයෙකුව සිටි ආචාර්ය සාගර පලන්සූරිය මහතාගේ අති මහත් ගෞරවයට බඳුන් විය.

හොරණ නවක මන්ත්‍රී සාගර පලන්සූරිය මහතා විශේෂයෙන් මෙම ඇමැතිවරුන් සතර දෙනා සමග තිබූ ගජ මිතුරුකම හොරණ ජනතාවට ද මහත් ශක්‌තියක්‌ විය. මැයි 1 වැනිදා රජයේ නිවාඩු දිනයක්‌ වශයෙන් ප්‍රකාශයට පත්වීමත් සමග අප්‍රසිද්ධියේ මැයි දිනයට සහභාගි වූ හොරණ වමේ ක්‍රියාකාරීන් මැයි 1 වැනිදා ගෝල්ෆේස්‌හි පැවැත් වූ අති දැවැන්ත මැයි රැළියට සහභාගි වූයේ සාගර පලන්සූරිය මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙනි. ඇස්‌. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්‌ඩාරනායක අගමැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති විජයග්‍රාහී මැයි දින රැළියේදී කම්කරු ඇමැති ටී. බී. ඉලංගරත්න මහතා දුන් ප්‍රතිඥවක්‌ මත 1957 අංක 27 දරන වේතන සංශෝධන පනතත් 1957 අංක 60 දරන වෙළෙඳ සල් සේවක සංශෝධන පනතත් ඒකමතිකව සභා සම්මත කෙරිණි. පෞද්ගලික අංශයේ නියුක්‌තව සිටි ලක්‍ෂ සංඛ්‍යාත කම්කරුවන්ට අසීමිත යහපතක්‌ සැලසූ 1958 අංක 15 දරන සේවක අර්ථසාධක අරමුදල් පනත ක්‍රියාත්මක විය.

ඒ පනත් පිළිබඳ විවාදවලදී හොරණ මන්ත්‍රී සාගර පලන්සූරිය මහතා කළ සාර ගර්භ කතාව හොරණ ජනතාව දැන ගත්තේ පුවත්පත් වාර්තා මගිනි. අද මෙන් විද්යුත් මාධ්‍යයන් එකල තිබුණේ නම් සාගර මන්ත්‍රීවරයාට හොරණින් හිමිවෙන උණුසුම් ප්‍රතිචාරය කොතරම්ද? එම වසර දෙක තුන තුළදී කම්කරු ඇමැති ටී. බී. ඉලංගරත්න මහතා විසින් සමස්‌ත කම්කරු ජනතාවට ලබාදුන් විවිධ ප්‍රතිලාභ සම්බන්ධයෙන් අතිරේක ලිපියක්‌ සකස්‌ කළ යුතු වේ. එම ප්‍රගතිශීලී අණපනත් නිසා හොරණ ප්‍රදේශයේ විසූ කම්කරු ජනතාවගෙන් මහත් ආශිර්වාදයක්‌ සහ ගෞරවයක්‌ සාගර පලන්සූරිය මහතාට නිතැතින්ම හිමිවිය.

ආහාර සහ කෘෂිකර්ම අමාත්‍ය පිලිප් ගුණවර්ධන මහතා 1958 අංක 01 දරන කුඹුරු පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ සියලු ප්‍රගතිශීලී බලවේගයන්හි ජන ජය ඝෝෂා මධ්‍යයේ. ලංකා සමසමාජ පක්‍ෂය ආරම්භ කළ 1935 දෙසැම්බර් 18 වැනිදා ගොවි ජනතාවට ලබාදුන් ප්‍රතිඥව මල් පල ගන්වමින් එදා සමසමාජ ව්‍යාපාරයට, නායකත්වයට පණ දුන් පිලිප් ගුණවර්ධන මහතා විසින්ම වසර 21 කට පසු ආහාර සහ කෘෂිකර්ම ඇමැති වශයෙන් කුඹුරු පනත මැති සබයට ඉදිරිපත් කිරීම ඓතිහාසික සමාජ දේශපාලන සංසිද්ධියක්‌ වූයේය. 1936 සිට රාජ්‍ය මන්ත්‍රණ සභාව තුළින් 1947 පටන් පාර්ලිමේන්තුව තුළත් මේ රටේ දුක්‌ විඳින ගොවි ජනතාවගේ අසීමිත අයිතිය උදෙසා නැඟූ උද්ඝෝෂණය මල් පල ගැන්වීම මහජන එක්‌සත් පෙරමුණ රජයේ තවත් ජනතා ප්‍රතිඥවක්‌ සාක්‌ෂාත් කර ගැනීමකි.

විය යුතු ආකාරයෙන්ම කුඹුරු හිමියන්ගේ පාර්ශ්වය ගත් එක්‌සත් ජාතික පක්‍ෂයේ පාර්ලිමේන්තු කණ්‌ඩායම කුඹුරු පනත පිළිබඳ විවාදයේදී සුපුරුදු ආකාරයටම පනතට එරෙහිව තර්ක විතර්ක ඉදිරිපත් කළේය. හිටපු අගමැති සර් ජෝන් කොතලාවල මහතා වැඩි කාලයක්‌ ගත කළේ එංගලන්තයේ නිසා පාර්ලිමේන්තු කණ්‌ඩායමේ නායකත්වය හෙබවූයේ මතුරට මන්ත්‍රී ඇම්. ඩී. බණ්‌ඩා මහතාය. ඒ මහතා 1952 කැබිනට්‌ මණ්‌ඩලයේ අධ්‍යාපන ඇමැති ධුරය හෙබවීය. හක්‌මන මන්ත්‍රී සී. ඒ. ධර්මපාල, හොරොව්පතාන මන්ත්‍රී ඊ. එල්. බී. හුරුල්ලේ,ප්‍රධාන එජාප මන්ත්‍රී කණ්‌ඩායම කුඹුරු පනතට එරෙහිව ජනමතයක්‌ ද ගොඩනඟන්නට ප්‍රයත්න දැරුවද එම වෑයම ඵලදායක නොවීය.

විශේෂයෙන්ම මල්වතු අස්‌ගිරි පාර්ශ්වයෙන්ද නින්දගම් විහාරගම් දේවාලගම් හිමි විහාරාධිපතිවරු ද කුඹුරු පනතට එරෙහිව නැගී සිටි බව සිහිපත් කළ යුතු වේ. ප්‍රවේනි දාසයන් වශයෙන් කුඹුරු ඉඩම්වලට පාරිම්පරිකව ශ්‍රමය වැයකළ ජාතියේ මහා සම්පත වූ ජනතාවට සිය සාධාරණ අයිතිය ලබාදීමට එරෙහිව ප්‍රතිගාමී පිල තමන්ට කළ හැකි සියලු විරෝධතා ව්‍යාපාරවලද නිමග්න වූහ. ලේක්‌හවුස්‌ පුවත්පත් අධිකාරිය කුඹුරු පනතට එරෙහිව ජනතාව උසිගැන්වීමට විශේෂ ක්‍රමවේදයක්‌ සකස්‌ කළහ. දේශපාලන වශයෙන් පරාජිතව සිටි පක්‍ෂයේ ප්‍රබල නායකයෙකු වූ එවකට හිටපු අමාත්‍ය ඡේ. ආර්. ජයවර්ධන මහතා තිරය පිටුපස සිට පුළුල් මෙහෙයුමක්‌ දියත් කළේය.

එවකට ලේක්‌හවුස්‌ පුවත්පත් ආයතනයේ අධ්‍යක්‍ෂ මණ්‌ඩල ධුරය හෙබවූ එඩ්මන්ඩ් වික්‍රමසිංහ මහතා සිය පුවත්පත ඔස්‌සේ කුඹුරු පනතට එරෙහිව ජන මතයක්‌ ගොඩනඟන්නට විශේෂ කාර්යභාරයක්‌ ඉටුකළ වගද අමතක කළ යුතු නොවේ.

ඒ, මීමන ප්‍රේමතිලක මහතා ජනතා කර්තෘ ධුරය හොබවමින් සිළුමිණ පුවත්පතට විශේෂාංග ලිපි සැපයූ අවධියයි. එවකට විද්‍යාරත්න පිරිවෙන්හි ආචාර්ය ධුරයක්‌ හෙබවූ හොරණ වජිරඤාණ හිමිපාණන් විශේෂයෙන් සිළුමිණ පුවත්පතට විශේෂාංග ලිපි සැපයූ අවධියයි. මීමන සහ වජිරඤාණ හිමිපාණන් අතර පැවතුණේ වචනයෙන් කිව නොහැකි තරම් පුළුල් වූ සාහිත්‍ය ලේඛන කලා සම්බන්ධතාවකි. වජිරඥණ හිමිපානන්ට ද මව්පිය උරුමයෙන් හිමි කුඹුරක්‌ තිබිණි. යෝජිත පනත අනුව වජිරඤාණනහිමිපාණන්ගේද කුඹුරු ඉඩම අඳ ගොවියා සතුවේ.

ලේක්‌හවුස්‌ අධ්‍යක්‍ෂ මණ්‌ඩලයේ නියෝගයක්‌ මත එක්‌ දිනක්‌ විවේක පහසු ඇති වේලාවක මීමන, වජිරඥණ හිමිපානන් හමුවුණේය. එකල හොරණ උඩවත්තේ පදිංචිව සිටි මීමනට වජිරඤාන හිමිපාණන්ගේ කුටිය සුපුරුදු බුද්ධි මණ්‌ඩපයක්‌ වූ වග කිවයුතු නොවේ.

සුළු වේලාවක්‌ සුහද කතා බහක නිරතව සිටි මීමන වටෙන් වටේ ගොස්‌ අධ්‍යක්‍ෂ මණ්‌ඩලයේ තීරණය වජිරඤාණ හිමිපාණන් වෙත යොමු කළේය. මීමන පැරැණි සමසමාජ පාක්‍ෂිකයෙකි. වජිරඤාණ හිමි පනස්‌ හයේ අරගලයට කැප වූ මධ්‍යස්‌ථා මතධාරී භික්‍ෂුවකි. හාමුදුරුවෝ සුපුරුදු නිහතමානිත්වයෙන් සිනාසීමේ අර්ථය කුමක්‌දැයි මීමනට අවබෝධ වී ඇත.

මීමන මහත්තයෝ අපේ සාහිත්‍ය කලා භාෂා ක්‍ෂේත්‍රයට ඕව අදාළ නෑ. සමස්‌ත ලංකා වාසී ගොවි ජනතාවට කුඹුරු පනත ක්‍රියාත්මක වීමෙන් ලැබෙන ප්‍රතිලාභ කොච්චරද? මගෙත් අඳේට වැඩ කරන කුඹුරක්‌ තියෙනවලු. මට ඕව හොයන්න ඕන නෑ. ඒ ගොවි මහත්තය අපේ පන්සලේ දායක මහත්මයෙක්‌. හෙට ඉඳන් හරි ඒ මනුස්‌සයට සෙතක්‌, යහපතක්‌ වෙනව නම් අපි කොච්චර සතුටු වෙන්ඩ ඕනද?

හාමුදුරුවන්ට දොහොත් මුදුන් තබා නමස්‌කාර කළ මීමන සුපුරුදු සිනහවෙන් යුතුව නික්‌ම ගියේය.

වාද විවාද, තර්ක විතර්ක, උද්ඝෝෂණ, පෙළපාලි, විරෝධතා මධ්‍යයේ මහජන එක්‌සත් පෙරමුණේ ප්‍රථම ප්‍රගතිශීලී පනත බහුතර ඡන්දයෙන් සභා සම්මත විය. වාම ව්‍යාපාරයේ සෙන්පතියන් වූ අමාත්‍ය පිලිප් ගුණවර්ධන, විලියම් සිල්වා, දහනායක ප්‍රධානව ඇන්. ඇම්. ප්‍රමුඛ ලංකා සමසමාජ පක්‍ෂයේන් දොස්‌තර වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ කොමියුනිස්‌ට්‌ පක්‍ෂයේත් සියලු ප්‍රගතිශීලීන්ගේත් දැවැන්ත විජයග්‍රහණයක්‌ කුඹුරු පනතෙන් සනිටුහන් කෙරිණි. ශ්‍රී ලංකාවේ ගොවි ජනතාවගේ ගැටලු සම්බන්ධයෙන් රාජ මන්ත්‍රණ සභා අවධියේ පටන්ම පෙරමුණේ ක්‍රියාත්මකව සිටි දොස්‌තර එස්‌. ඒ. වික්‍රමසිංහ මහතා කුඹුරු පනත සම්මත කර ගැනීමෙන් අතිශය ප්‍රමෝදයට පත්වූයේය.

හොරණ මන්ත්‍රී සාගර පලන්සූරිය මහතාගේත් ප්‍රදේශයේ ගොවි පෙරමුණේ නායක මුණිදාස වික්‍රමනායක මහතාගේත් ප්‍රීතිය නිම්හිම් නැත. ඒ සමගම හොරණ ප්‍රධානම රයිගම් කෝරළයේ කුඹුරු ඉඩම් හිමි එක්‌සත් ජාතික පක්‍ෂයේ ප්‍රාදේශීය නායකයෝ අතිශය වේදනාවට පත්වූහ. ඔවුන්ට වුවමනා වූයේ අඳ ගොවියා සදාකාලික වහලෙකු කර ගැනීමටය. සමහර කුඹුරු යායවල ශ්‍රමය වැය කරමින් සිටි එජාපයට හිතවත් මෝඩ අසරණ ගොවීන් කුඹුරු පනතේ ප්‍රතිලාභ ලබා ගන්නට ඉදිරිපත් නොවූ වගද රහසක්‌ නොවේ.

1957 දෙසැම්බර් 19 වැනි දින ගරු අගමැති බණ්‌ඩාරනායක මහතා කුඹුරු පනත් කෙටුම්පත දෙවැනි වරට කියමින් විවාදයට සහභාගි වෙමින් දීර්ඝ කතාවක්‌ පැවැත්වීය. ඉංගී්‍රසි භාෂාවෙන් කරන ලද එම කතාවේ හැන්සාඩ් වාර්තා පිටපත 1958 අංක 01 දරන කුඹුරු පනත මැයෙන් ම.එ.පෙ. 50 වසර සැමරීමේ උත්සව කමිටුව මගින් 2006 වර්ෂයේදී මුද්‍රණය කර ඇත.

එම විවාදයේදී ආහාර සහ කෘෂිකර්ම අමාත්‍ය පිලිප් ගුණවර්ධන මහතා විසින් සිංහල සහ ඉංගී්‍රසි භාෂාවෙන් කළ දීර්ඝ සාරගර්භ කතාව එම පොතෙහි පිටු 36 ක්‌ පුරා සඳහන්ව ඇත.

අපි අමාත්‍ය පිලිප් ගුණවර්ධන කුඹුරු පනත ගැන කළ සඳහන පමණක්‌ සංක්‍ෂිප්තව ඉදිරිපත් කරමු.

කුඹුරු වගා කරන අඳ ගොවීන්ගේ අඳය රැක දීමටත් අඳ ගොවීන් විසින් කුඹුරු හිමියන්ට ගෙවිය යුතු බද්ද නියම කිරීමටත්, කුලී ගොවීන්ගේ පඩිය (කුලිය) ගොවි සභා මගින් නියම කරවීමට සහ කුලී ගොවියන් අඳ ගොවියන් සහ සමූහ ගොවීන් ලෙස පත් කිරීමටත්, කුඹුරු කැබලි එකතුකර මහ යායවල් ඉදිකිරීමටත් වී ගොවිතැන සඳහා සමූහ ගොවි පළවල් පිහිටුවීමටත් ගොවීනට දෙන ණය සඳහා ගෙවිය යුතු පොලිය හා ගොවීන් විසින් කුලියට ගන්නා ගොවි උපකරණ සහ මීහරකුන්ට ගෙවන ගාස්‌තු නියම කිරීමටත් ගොවි සභා පිහිටුවීමට විධිවිධාන යෙදීමටත් එකී ගොවි සභාවල බලතල සහ යුතුකම් නියම කිරීමටත් ආහාර නිෂ්පාදන අධ්‍යක්‍ෂවරයා වෙත ඇතැම් බලතල හා යුතුකම් පැවරීමටත් වර්ෂ 1946 අංක 32 දරන වාරි මාර්ග ආඥ පනත යටතේ කුඹුරු හිමියන් වෙත පැවරෙන වගකීම් අවලංගු කිරීමටත් වර්ෂ 1953 අංක 1 දරන කුඹුරු පනත අවලංගු කිරීමටත් ඉහත කී කරුණු හා සම්බන්ධ වූ හෝ ඊට අදාළ වන කරුණු උදෙසා විධි විධාන පැනවීමටත් පනවන පනතයි.

ලබන සතියට

බන්ධුල ආර්. ගුලවත්ත

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.