සිංහල සංයුක්‌ත කවියේ රුව

සංයුක්‌ත කවි ලෙස හැඳින්වෙන්නේ සිංහල කාව්‍ය සාහිත්‍යයේ දැකිය හැකි දෘෂ්ටිගෝචර කාව්‍ය වර්ගයකි. රටා කවි, චිත්‍ර කවි, ආකෘතික කවි, දෘෂ්ටිගෝචර කවි යනාදි ලෙස සිංහල සාහිත්‍යයේදී හඳුන්වනු ලබන 'සංයුක්‌ත කවි' ඉංග්‍රිසියෙන් හඳුන්වන්නේ Concrete Poetry යන නාමයෙනි. මෙයට අමතර ව Pattern, Shaped, Cubist Poetry යන පාරිභාෂිත නම්වලින් ද මෙම කවි වර්ගය එක්‌ එක්‌ කාල වකවානුවලදී හඳුන්වනු ලැබී ය. කිසියම් කවියක පද පේළි එහි එන වචනවල අරුත් පැහැදිලි වන ආකාරයට මෝස්‌තරයක ආකාරයෙන් සකසා ඇති කාව්‍ය ශෛලිය Pattern Poetry ලෙස හඳුන්වනු ලබයි. යම් හැඩයක්‌ සහිත කාව්‍ය හා ජ්‍යාමිතික රූපයන්ට අනුව සකස්‌ කරන ලද චිත්‍රමය කාව්‍ය Shaped සහ Cubist යනුවෙන් හැඳින්වේs. අජිත් තිලකසේන, කේ. කේ. සමන් කුමාර ආදීහු මෙම කාව්‍ය වර්ගය සංයුක්‌ත කවි ලෙසින් හැඳින්වූහ. මේ හැරුණු කොට ඇතැම් විද්වතුන් රටා කවි ලෙස ද උක්‌ත කවි විශේෂය හැඳින්විය.

Encyclopedia Americana විශ්වකෝෂයට අනුව සංයුක්‌ත කවි නිරූපණය වන්නේ 17 වැනි සියවසේ විසූ ජෝර්- හර්බට්‌ කවියා (George Herbert) විසින් කුරුලු පිහාටුවක, අල්තාරයක මෙන්ම නොයෙක්‌ වර්ණවල කුඩා ගල්වල හැඩය, ස්‌වරූපයට අනුකූලව රචනා කරන ලද රචනා මගිනි. The Oxford Companion to English Literature නම් ග්‍රන්ථය ද සංයුක්‌ත කවි පිළිබඳ ව අදහස්‌ දක්‌වන්නේ ජෝර්ඡ් හර්බට්‌ගේ ,Easter Wings, වැනි කවි, හැඩය හා ස්‌වරූපය ම`ගින් හැ`ගීම් දනවමින් කවියෙහි අන්තර්ගත අදහස්‌ ප්‍රකාශ කරන බව යි.

1953 දී ස්‌විස්‌ටර්ලන්තයේ Euden Gomringer මෙකී කාව්‍ය විශේෂය හැඳින් වූයේ 'තරු වැල්' අරුතැති Constellations ලෙස යි. එම වසරේ ම ස්‌වීඩන් ජාතික Oyvind Fahlstrom නම් චිත්‍ර ශිල්පියා විසින් Manifesto for Concrete Poetry නමින් කෘතියක්‌ සම්පාදනය කරන ලද්දේ ය. එකී කෘතිය මගින් කවියක්‌ සඳහා උපයෝගී කර ගන්නා වචන ආකෘතිය මත පින්තාරු කිරීම පිළිබඳ යම් විස්‌තරාත්මක විග්‍රහයක්‌ කර ඇත. මෙය මෙම නව කාව්‍ය විශේෂයේ මූලාරම්භය විය. එසේ ම ඒ වන විට Ezra Pound,Theao Van Doesburg, Gullaume Appollinaire, Stephane Mallarme, Charles L. Dodgson, (Lewis Carrol) George Herbert වැනි කවීන් ද මෙකී කාව්‍ය සඳහා ඔවුනොවුන්ගේ දායකත්වය සපයා තිබිණ. සංකේතමය කාව්‍ය රචකයෙකු වූ ප්‍රංශ ජාතික Stephane Mallarme 1887 දී ස්‌වකීය Throw of the Dice නම් කෘතියෙහි අන්තර්ගත කවි සඳහා විවිධාකාර වූ ස්‌වරූපයන් සහ හැඩයන් විවිධ ප්‍රමාණවලින් යොදා ගත්තේ ය. මුල් කාලයේ සංයුක්‌ත කවිය හඳුන්වා දීමට යොදා ගත් තවත් පාරිභාෂික වචනයක්‌ වූයේ Cubist Poetry ය. ඊට හේතු වූයේ එම කවි කිසියම් ජ්‍යාමිතික හැඩතල අනුව නිර්මාණය වීම ය. ජ්‍යාමිතික රූපයන්ට අනුව චිත්‍ර සකසන සිත්තරුන් යම් කිසි දෙයක්‌ චිත්‍රයට නැගීමේ දී එය විවිධ ඉරියව් ඔස්‌සේ, විවිධ පැති ඔස්‌සේ ඉදිරිපත් කරයි. එකී ශෛලිය ගුරු කොට ගනිමින් කාව්‍යකරණයේ යෙදුණු කවියෙක්‌ ලෙස Gullaume Apollenaire හැඳින්විය හැකි ය. ඔහුගේ කාව්‍ය නිර්මාණවල වූ විචිත්‍රවත්භාවය සහෘද මනස වඩාත් ඒ කෙරෙහි සමීප කළේ ය. 20 වැනි සියවසේ මුල් භාගයේ දී ඔහු විසින් විරචිත වැස්‌ස පාදක කොට ගත් කවියේ පද පෙළ ගස්‌වා ඇත්තේ ද වැහි බිඳු පතිත වන ආකාරයට මඳක්‌ ඇලව සිටින අයුරිනි. Gullaume ද මෙබඳු ආකාරයේ පර්යේෂණාත්මක කවි නිර්මාණය කරමින් සංයුක්‌ත කවියේ ප්‍රගමනයට දායක වූ රචකයෙකි.

මේ වකවානුවේ දී ම බ්‍රසීල ජාතික කාව්‍ය රචකයන් වූ Haroldo De Campos, Augusto de Camp සහ Decio Pignatari විසින් Noigander නමින් කණ්‌ඩායමක්‌ පිහිටුවා ගන්නා ලද අතර 1955 දී Haroldo De Campos මෙම කාව්‍ය විශේෂය Poesia Concrete යනුවෙන් හැඳින්වූයේ ය. මේ හඳුන්වා දීම පසුකාලීන ව Concrete Poetry යනුවෙන් විකාශනය වූ අතර පින්තූරමය කාව්‍ය කලාව මෙයින් පසු සංයුක්‌ත කවි ලෙසින් භාවිත වන්නට පටන් ගත්තේ ය. යම් කිසි කවියක ආකෘතිය, චිත්‍රමය වීමෙන් එය සංයුක්‌ත කවියක්‌ වීමට ආරම්භ වන බවත් එහි අදහස වටහා ගැනීම සිදු වන බවත් 1958 දී බ්‍රසීලයේ පළ කළ ,"Pilot Plan නම් ප්‍රකාශන පත්‍රය හෙළි කිරීමත් සම`ග ම මෙම කවි විශේෂය විවිධාකාරයෙන් අවධානයට පාත්‍ර වන්නට විය. වචනවල ප්‍රතිමූර්තියක්‌ බඳු වූ සංයුක්‌ත කවිය වනාහි ලේඛනයේ පරිණාමයක්‌ වැනි ය. එහෙත් එය වඩාත් ළං වන්නේ චිත්‍රණයට යි. මේ කවි විශේෂය අතිශයින්a ජනප්‍රියත්වයට පත් වූයේත් ව්‍යාප්ත වූයේත් 1920 - 1950 කාල වකවානුවේ දී ජර්මනිය, බ්‍රසීලය හා ප්‍රංශය ආදී රටවල යි.

මේ අනුව පැහැදිලි වන එක්‌ කරුණක්‌ වන්නේ සංයුක්‌ත කවි රචනා කිරීම සඳහා ලෝකයේ විවිධ රටවල්වල් නියෝජනය කරමින් ඊට අවතීර්ණ වූ සියලු ම කවීන් ඒ සඳහා තම තමන්ගේ දායකත්වය ලබා දී ඇත්තේ කිසියම් අභිප්‍රායකින් බව ය. ඒ වනාහි අවශේෂ කවිවල දැකිය හැකි ඒකාකාරී බවෙන් සංයුක්‌ත කවිය මුදවා ගැනීමේ අපේක්‌ෂාවෙන් වන බව යි.

මෙසේ ආරම්භ වූ සංයුක්‌ත කවිය වූකලි මුද්‍රණ ශිල්පයේ, වාණිජ චිත්‍ර කලාවේ නූතන රූප රටාවන්ගේ නව ප්‍රවණතා, ක්‍රියාකාරී චිත්‍ර කලාව, ජපන් රූපාක්‌ෂර කලාව ආදිය තාක්‌ෂණික වශයෙන් උකහා ගත් දෘශ්‍ය මෙන් ම මුද්‍රිත කාව්‍ය විශේෂයකි. මෙකී කවියේ මූලික පදනම වන්නේ අකුරු හා වචනවල රූපික මෙන්ම දෘශ්‍යමය ගුණය, අවකාශය සංවිධානය කිරීම යනාදිය යි. ගතානුගතික එළිසමයත්, විරිතත්, නිසඳැසේ රිද්මයත් ඇතැම් විට ව්‍යාකරණයේ වාක්‍ය රටාවත් යන පාරම්පරික බැමි බොහොමයකින් සංයුක්‌ත කවිය නිදහස්‌ වේ. සංයුක්‌ත කවියා ඇසුරු කරන්නේ භාෂාත්මක ද්‍රව්‍ය යි. භාෂාවේ දෘශ්‍ය සීමා ඇතුළත සිට වෙනස්‌ ම වූ ආකාරයකින් මෙකී කවියා නිර්මාණ කාර්යයේ යෙදේ.

ජෝර්- හර්බට්‌ - Easter Wings

ලෝක සාහිත්‍යයේ දී එසේ අවධානයට පාත්‍ර වූ මේ කාව්‍ය විශේෂය සිංහල සාහිත්‍යයේ මුල්වරට අත්හදා බැලූ කවියා වන්නේ මහගම සේකර යි. ස්‌වකීය කාව්‍ය රචනා මගින් අන්තර්ගතය, ආකෘතිය යනාදිය ඔස්‌සේ සමාජ යථාර්ථවාදී සම්ප්‍රදාය ආශ්‍රය කර ගනිමින් තමාට ම අනන්‍ය වූ කාව්‍ය සම්ප්‍රදායක්‌ සොයන්නට සේකර ප්‍රයත්න දැරුවේ ය. ''මේ කාව්‍ය ක්‍රමය කුමක්‌දැයි යමෙකු මගෙන් ඇසුවහොත් මේ මාගේ කාව්‍ය ක්‍රමය යි කීමට මට සිදු වෙයි.'' සේකර පවසන්නේ එබැවිනි. එසේ ම ඔහුගේ මේ ප්‍රයත්නය පොදුවේ සිංහල කාව්‍ය සම්ප්‍රදායේ නව්‍යතාවක්‌ ඇති කළේ ය. සිංහල කවියේ ආකෘතිය පිළිබඳ ව හෝ ඒ සම්බන්ධ මතෙරීද කෙරෙහි හෝ සේකර එතරම් අවධානයක්‌ යොමු කළේ නැත. මේ නිසා ම සේකර විසින් නිර්මාණිත කවි අවශේෂ කවි අතරින් වෙනස්‌ වූයේ ය. ඒ ආකෘතිය සම්බන්ධයෙන් ඔහු කරන ලද අත්හදා බැලීම් හේතුවෙනි. සහෘද හැ`ගීම් ජනනය කිරීම උදෙසා ආකෘතියේ හා අකුරු සැකැස්‌මේ වෙනස්‌කම් ඇති කිරීම මගින් කවි නිර්මාණය කිරීමට ඔහු උත්සුක වූයේ එබැවිනි. සේකරගේ මේ රටා ක්‍රමය පැරණි කවීන්ගේ චිත්‍ර බන්ධනවලට වඩා ළං වූයේ බටහිර සංයුක්‌ත කවියට බව එම කවි පරිශීලනයේ දී පැහැදිලි වේ. එසේ ම මේ පිළිබඳ ව ඔහු කිසිවිටෙකත් කිසිවක්‌ සඳහන් කරන්නේ ද නැත. යම් කිසි අනුභූතියක්‌ ඉදිරිපත් කිරීමේ දී දක්‌ෂ කවියෙකුට ආකෘතිය සම්බන්ධ ව අමුතුවෙන් ගැටලුවක්‌ මතු නො වේ. එය අනෙක්‌ කාව්‍යාංග මෙන් ම කාව්‍යානුභූතිය හා අෙන්‍යාන්‍ය වශයෙන් බැඳී පවතින්නකි. මේ අනුව සිංහල කවියට ආගන්තුක වු සංයුක්‌ත කවියේ දෘෂ්ටිගෝචර රටාව සේකර සිය කවිය උදෙසා ආකෘතිය මෙන් ම අකුරු සැකැස්‌ම අනුව ද කවියට හානියක්‌ නො වන පරිදි යොදා ගත්තේ ය.

මෙම දෘෂ්ටිගෝචර රටාව සිංහල කවියට උපයෝගී කොට ගන්නා කාල වකවානුව වන විට ලාංකේය මුද්‍රණ ශිල්පය වර්තමානයේ මෙන් දියුණු තත්ත්වයක නො පැවතිණ. Offset මුද්‍රණ නො මැති, Computer Graphics යොදා ගත නො හැකි මේ යුගයේ දී එකී තාක්‌ෂණික ගුණාංග මත පදනම් වූ සංයුක්‌ත කවිය ලාංකේය සිංහල කවියට අනුගත කිරීම මහත් අභියෝග ජය ගැනීමක්‌ බඳු විය. එවක ලිතෝ නමින් හැඳින් වූ Offset මුද්‍රණ පැවතියේ ද මහරගම සමන් මුද්‍රණාලයේ පමණකි. ලේක්‌හවුස්‌, ගුණසේන වැනි අතිශය ජනප්‍රිය මුද්‍රණාල පවා ඒ යුගයේ මුද්‍රණ ශිල්පීය ගුණාංගවලින් නම් පොහොසත් නො වුණි. මෙබඳු දුෂ්කර කාල වකවානුවක්‌ පවතින අවස්‌ථාවක දී සේකර මෙකී කාව්‍ය සම්ප්‍රදාය පිළිබඳ අත්හදා බැලීම් සඳහා ස්‌වකීය පන්හිඳ මෙහෙය වූයේ ය. ''හෙට ඉරක්‌ පායයි'' එකී අභිනව පර්යේෂණ කාර්යයේ අවසාන ප්‍රතිඵලය විය.

අකුරු පිටු මත අතුරවමින් ද, අකුරුවල ප්‍රමාණය වෙනස්‌ කරමින් ද ආකෘතිය තුළ අකුරු විසුරුවමින් ද සේකර මෙම පෙළහර පෑමට තැත් දැරුවේ ය. එනමුදු කිසි විටෙකත් දෘෂ්ටිගෝචර ආකෘතිය ස්‌වකීය කාව්‍යානුභූතීන් කරා බලහත්කාරයෙන් ආරෝපණය කිරීමට ඔහු ප්‍රයත්න දැරුවේ නැත. එ නිසා ම පූර්වෝක්‌ත කෘතියෙන් ඉදිරිපත් කළ දෘෂ්ටිගෝචර රටාවෙන් කවිය නීරස, අප්‍රියජනක මාධ්‍යයක්‌ බවට කිසිවිටෙකත් පත් නො කිරීමට ඔහු වග බලා ගත් බව මතු සඳහන් නිදසුන්වලින් ප්‍රත්‍යක්‌ෂ වේ.



කුසලානේ

ලු

මිදි යුෂ

කුසලානේ

හැඩය ගනී

කුසලානේ

ලු

විෂ වුව

කුසලානේ

හැඩය ගනී

හෙට ඉරක්‌ පායයි - 3 කවිය

යට කී කවිය උඩුකුරු ව සිටුවන ලද කුසලානයක ස්‌වරූපයක්‌ දිස්‌වන අයුරින් අර්ථය තීව්‍ර වන සේ වචන පෙළ ගැස්‌වීමෙන් නිර්මාණය කර ඇත.

උපයුක්‌ත කාව්‍ය ආකෘතිය මත කාව්‍ය අන්තර්ගතය පිළිබිඹු වන ආකාරයෙන් වචන හසුරුවමින් නෙතට දැනෙන සේ නිර්මාණය කර ඇති මෙ බඳු තවත් කවි ''හෙට ඉරක්‌ පායයි'' කෘතියෙහි දැකිය හැකි ය. දෘෂ්ටිගෝචර කවි නිර්මාණයෙහිලා සේකර දැක්‌ වූ කුසලතාවට ඔහු සහජයෙන් ම චිත්‍ර ශිල්පියෙකු වීම ම පිටිවහලක්‌ වන්නට ඇත. මෙනයින් බලන කල සේකර මුල් කොට ගනිමින් සිංහල කාව්‍ය සාහිත්‍යයට සංයුක්‌ත කවිය නම් වූ කාව්‍ය ප්‍රවණතාවේ සම්ප්‍රාප්තිය සිදු වූ බව පැහැදිලි ය. එහෙත් සේකර කිසි විටෙකත් තමා අතින් නිර්මාණය වු කවි සංයුක්‌ත කවි යෑයි හැඳින්වූයේ නැත. එසේ ම නැවත සංයුක්‌ත කාව්‍ය රචනා කිරීමට තැත් නො දැරූ ඔහු එම කාව්‍ය හෝ එබඳු කාව්‍ය විශේෂයක්‌ පිළිබඳවත් කිසිදු සඳහනක්‌ කළේ ද නැත. කෙසේ වෙතත් සිංහල පද්‍ය සාහිත්‍යයට නව ප්‍රවණතාවක්‌ හඳුන්වා දෙමින් සේකර විසින් ප්‍රාරරීධ සංයුක්‌ත කවිය පෝෂණය කොට ස්‌ථාපිත කරන ලද්දේ අජිත් තිලකසේන විසිනි.

අජිත් තිලකසේනගේ කවි සඳහා භාවිත භාෂාව බොහෝ සරල ය, සංක්‌ෂිප්ත ය. බොහෝ විට ඔහු එක්‌ වචනයක්‌ පාදක කොට ගනිමින් කවි නිර්මාණය කළේ ය. මේ නිසා තිලකසේනගේ කවි සේකරගේ කවිවලට වඩා හාත්පසින් ම වෙනස්‌ ස්‌වරූපයක්‌ උසුලන්නේ ය. ''වචනයේ දෘශ්‍ය ස්‌වරූපය සතු ව ඇති හැ`ගීම් දැනවීමේ ශක්‍යතාව නො දකින්නට මම කිසි විටෙකත් සංයුක්‌ත කවි නිර්මාණයෙහි නොයෙදෙන බව මෙහිලා සඳහන් කරන්නට ඕනෑ.'' යයි රැළි සුළි කෘතියේ ප්‍රස්‌තාවනාවේ දී ඔහු පවසන්නේ ය. ඔහුගේ සියලු ම කාව්‍ය ග්‍රන්ථවල අන්තර්ගත වී ඇත්තේ පර්යේෂණාත්මක සංයුක්‌ත කවි පමණකි.

මල් වැනි ගල් - 25 පිටුව

ආදරය තේමා කොට ගත් මතු සඳහන් කවිය තිලකසේනගේ පරිකල්පන ශක්‍යතාව මැනවින් ප්‍රකට කරන්නකි. විවිධාකාර හැල හැප්පීම්වලට මුහුණ දෙන ආදරය කෙමෙන් කෙමෙන් වියෑකී යන අන්දම මෙකී කවියෙන් ද්වනිතාර්ථවත් වේ. ආදරය යන අකුරු හතරෙන් අවසානයේ ශේෂ වන්නේ දෙපැත්තකට විසි වී ඇද වූ ''අ'' හා ''ද'' අකුරු දෙක පමණි.

සංයුක්‌ත කාව්‍ය නිර්මාණයේ දී අජිත් තිලකසේනයන් ප්‍රකට කරනුයේ අකුරු හා වචන හරඹයෙහි ලා ඔහු සතු නෛසර්ගික නෛපුණ්‍යතාව යි. බොහෝ විට කාව්‍ය ප්‍රස්‌තූතය ම ඔහුගේ කාව්‍යයෙහි අන්තර්ගත වේ. තිලකසේන විෂයෙහි සංයුක්‌ත කාව්‍ය බොහෝ සරල ය, සංක්‌ෂිප්ත ය, බෙහෙවින් දෘෂ්ටිගෝචරය, නිර්මාණාත්මක ය. සේකර ස්‌වකීය කාව්‍ය තුළින් ර`ග දැක්‌වීමට අභිප්‍රේත වූ චිත්‍ර ශිල්පියාගේ භූමිකාව තිලකසේන ඉතා මැනවින් ර`ග දැක්‌වීය. ඔහු සිය පන්හිඳ තෙලිකූරක්‌ බවට පත් කරමින් ස්‌වකීය කාව්‍යයමය මනෝභාවයන් ඇසුරෙන් මනහර සිතුවමක්‌ නිර්මාණය කරන්නේ ය. බටහිර සංයුක්‌ත කවියේ ආභාසය නො මද පිටිවහලක්‌ කර ගත් තිලකසේනගේ සංයුක්‌ත කවි සිංහල කවියට ගෙන දුන්නේ විචාරක අවධානයට වෙසෙසින් පාත්‍ර වන තරමේ නවමු මුහුණුවරකි.

මහගමසේකර හා අජිත් තිලකසේන විසින් වල් කපා එලි පෙහෙළි කර දුන් කාව්‍ය කෙතට මීළ`ග දායකත්වය සැපයූ කවීන් අතර ආරියවංශ රණවීර, ජනක මහබෙල්ලන, කේ. කේ. සමන්කුමාර ආදීහු වෙත්.

ඒ අතරින් සිංහල සංයුක්‌ත කාව්‍ය සාහිත්‍යයට විශේෂ දායකත්වය ලබා දෙන කවියා වන්නේ ජනක මහබෙල්ලන ය. සිය කුළුඳුල් කාව්‍ය ග්‍රන්ථය වන ''උපාසක මුහුද'' හරහා කාව්‍යකරණයට අතපොත් තැබූ මේ තරුණ කවියා නිසඳැස්‌ සහ සංයුක්‌ත කවි ලෙසින් සිය දෙවැනි කාව්‍ය ග්‍රන්ථය වන ''රුයිත දහය'' හඳුන්වා දෙන්නේ ය. තිලකසේන අනුදත් කාව්‍ය රීතිය ම මහබෙල්ලන ද සංයුක්‌ත කාව්‍ය රචනා කිරීමේ දී ගුරු කොට ගෙන ඇති බව ඔහුගේ කවි පරිශීලනය කිරීමේ දී පැහැදිලි වේ. තිලකසේන සේ ම වර්තමානයේ දී ද සංයුක්‌ත කාව්‍ය රචනයේ නියුතු වන කවියා වන්නේ ඔහු යි.

සංයුක්‌ත කවියේ දෘෂ්ටිගෝචර ආකෘතියෙන් ජනනය කළ හැකි බුද්ධිමය සංවේදනය තුළට ප්‍රේමය ප්‍රවිෂ්ට කරවන්නට මහබෙල්ලන දැක්‌ වූ කුසලතාව මතු සඳහන් කවියෙන් පැහැදිලි වේ. මෙකී චින්තන සෞන්දර්යයේ අවසන් ප්‍රතිඵලය වූයේ කවිය සිත්කලු මනෝහර සිතුවමක්‌ බවට පත් වීමෙනි.

'

'රුයිත දහය'' - 66 පිටුව

සංයුක්‌ත කවි වැනි නූතනවාදී කාව්‍ය ප්‍රවණතාවන් තවමත් ආගන්තුක වු සිංහල සහෘදයා තුළ එකී ප්‍රවණතාව ජනප්‍රිය කිරීමේ කර්තව්‍යයට බට තරුණ කවියෙකු ලෙස ජනක මහබෙල්ලන හඳුන්වා දිය හැකි ය.

කේ. කේ. සමන් කුමාර මෙකී කාව්‍ය ව්‍යාපාරය හා සබැඳුණු අනෙක්‌ කවියා වේ. ඒ, සමන් කුමාර විසින් නවකථාවක්‌ යයි නම් කරන ලද ''නේරංජනේ ඉස්‌නානේ'' කෘතියෙහි අන්තර්ගත කර ඇති කෙටි කාව්‍ය රචනා කීපයක්‌ නිසා ය. එම කවි වනාහී ස්‌වරූපයෙන් නෑකම් කියනුයේ සංයුක්‌ත කවියට යි. එහෙත් සමන් කුමාර ද එකී කවි පිළිබඳ කිසිදු හැඳින්වීමක්‌ එම කෘතියෙහි සඳහන් කරන්නේ නැත. මාතෘකා විරහිත එම කවි මගින් වචන කිපයක අකුරුවල වෙනස්‌කම කිරීමෙන් එකිනෙකට සම්පූර්ණයෙන් ම වෙනස්‌ වූ අර්ථ නිරූපණය වන පරිදි දෘශ්‍යමාන කිරීමට තැත් දරා ඇති බව පෙනේ. එම කවි හා නෑකම් කියන ආකාරයේ කවියක්‌ මෙයට පෙර තිලකසේන අතින් ද රචනා වී ඇත්තේ ය. ඒ රමණය තුළ වූ මරණය ගැන කියෑවෙන්නකි.



අජිත් තිලකසේන, මල්වැනිගල්, 20 පකේ. කේ.

සමන්කුමාර, නේරංජනේ ඉස්‌නානේ, 36 පිටු

උක්‌ත කවීන් අතුරින් අදටත් සංයුක්‌ත කාව්‍ය නිර්මාණයේ යෙදෙන කවීන් වේ නම් ඒ වනාහි, අර්ත් තිලකසේන හා ජනක මහබෙල්ලන පමණකි. තිලකසේනගේ සංයුක්‌ත කවි ද ඇතුළත් නවත ම කාව්‍ය සංග්‍රහය වන 'මාරියාව' සඳහා 2008 වසරේ හොඳ ම කාව්‍ය ග්‍රන්ථයට හිමි රාජ්‍ය සාහිත්‍ය සම්මානය ද ගොඩගේ සාහිත්‍ය සම්මානය ද හිමි විය. මහබෙල්ලන ද සංයුක්‌ත කවි ඇතුළත් කළ සිය පස්‌ වැනි කාව්‍ය සංග්‍රහය වන 'කම්මුල් පහර' 2009 වසරේ දී ප්‍රකාශයට පත් කළේ ය. විචාරක සහෘද ආශ්‍රයෙන් තොර වූව ද සංයුක්‌ත කවිය අත්හදා බැලීමේ කර්තව්‍යයට පිළිපන් තරුණ අංකුර කවීන් නැතුවා ම නො වේ. ඊ. ඇම්. ඩී. උපාලි, දයා සිරිමාන්න හා ප්‍රකාශ් ජයතිලක ඉන් කිහිපදෙනෙකි.

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය

හංසමාලා රිටිගහපොළ

සිංහල හා ජනසන්නිවේදන අධ්‍යයනාංශය

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.