මුස්‌ලිම් අයිතීන් සුරැකීමේ සංවිධානයෙන් හර්තාල්

ප්‍රභාත් විතාන

මෙරට මුස්‌ලිම් ජනතාවට එල්ල වන හිරිහැරවලට විරෝධය පා සාමකාමී හර්තාල් ව්‍යාපාරයක්‌ සිදු කරන බව මුස්‌ලිම් අයිතීන් සුරැකීමේ සංවිධානයේ සභාපති බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා පැවසීය.

ඒ අනුව ලබන 25 වැනිදා (සඳුදා) මෙරට සියලුම මුස්‌ලිම් ජනතාව තම වෙළෙඳසල් වසා, ව්‍යාපාරවලින් ඉවත්වී මෙම හර්තාල් ව්‍යාපාරයේ යෙදෙන බව රහුමාන් මහතා කියා සිටියේය.

මෙරට මුස්‌ලිම් ජනතාවට එල්ල වන හිරිහැර පිළිබඳව ආණ්‌ඩුව නිශ්ශබ්දව සිටින බවත්, මුස්‌ලිම් ජනතාවගේ ආරක්‍ෂාව වෙනුවෙන් කිසිදු ක්‍රියාමාර්ගයක්‌ ගෙන නැති බවත් මුස්‌ලිම්වරුන්ට වන හිරිහැර උත්සන්න කිරීමට දේශපාලනඥයන් කටයුතු කරමින් සිටින බවත් ඒ මහතා පැවැසීය.

ඒ නිසා මුස්‌ලිම් ජාතිකයන් හැටියට මෙවැනි විරෝධතාවක්‌ පවත්වා ආණ්‌ඩුවට යම්කිසි ආකාරයේ පීඩනයක්‌ එල්ල කළ යුතු බවත් මේ රටේ මුස්‌ලිම් ජනතාවත් අද ජීවත්වෙනවාද කියන එක ආණ්‌ඩුවට අමතකවී තිබෙන බවත් මෙරට මුස්‌ලිම් ජනතාව සිටින බව ආණ්‌ඩුවට මතක්‌ කර දිය යුතු බවත් හෙතෙම පැවසීය.

මුස්‌ලිම් අයිතීන් සුරැකීමේ සංවිධානය විසින් ඊයේ (21 වැනිදා) පෙරවරුවේ කොම්පඤ්ඤවීදිය නිපොන් හෝටලයේ පැවැත් වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඒ මහතා මේ බව කියා සිටියේය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.