විවිධ පැතිකඩ හෙළිකරන
මාර්ටින් වික්‍රමසිංහ සමාජ චින්තනය


මහාචාර්ය සිරිමල් රණවැල්ල

චින්තනය වඩාත් පෘථුලාර්ථ දනවන්නක්‌ නිසා විවිධ විෂයයන් ඔස්‌සේ පැතිකඩාශ්‍රිතව එම චින්තනය මෙහෙයවීම චින්තකයාගේ ස්‌වරූපයයි. චින්තනශීලිත්වයේ ප්‍රභාව වඩාත් ඉස්‌මතුවන්නේ චින්තකයාගේ අදීන ගමන් මග අනුවය.

එක විෂය ක්‍ෂේත්‍රයක පිහිටා ස්‌වකීය විඥානය මෙහෙයවීම ඇතැම් චින්තකයන්ගේ කාර්යයයි. එහෙත් ඇතැම් චින්තකයන් විවිධ විෂය ක්‍ෂේත්‍ර ඔස්‌සේ ස්‌වකීය චින්තාව වඩාත් උත්තලයකට ගෙනයැමට යොමුවෙයි. මාර්ටින් වික්‍රමසිංහ හෙවත් කොග්ගල ප්‍රාඥයාද ස්‌වකීය චින්තාව විවිධ ක්‍ෂේත්‍ර ඔස්‌සේ ගිය සමාජ චින්තකයෙකි.

විරල ගණයට ගැනෙන සමාජ චින්තකයකු වූ මාර්ටින් වික්‍රමසිංහ සිංහල සාහිත්‍ය ක්‍ෂේත්‍රය ඔප කළ, උත්ප්‍රේරණීය තලයකට ඇදගෙන ගිය මහා ගත්කරුවෙකි. ප්‍රාඥයෙකි. ස්‌වකීය සමාජ විඥානය විවිධ පැතිකඩාශ්‍රීතව මෙහෙයවීමේ අගය ආචාර්ය රංජිත් ඇල්. අබේවික්‍රම ස්‌වකීය MARTIN WICKRAMA SINGHE SOCIACIAL VISION නමැති ග්‍රන්ථයෙන් හුවාදක්‌වයි.

මාර්ටින් වික්‍රමසිංහ චින්තාව පෙර අපර දෙදිගටම ව්‍යාප්ත කිරීමට ඉංග්‍රීසි බසින් මේ ග්‍රන්ථය සැකසීමත් අති විශිෂ්ටය. මාර්ටින් වික්‍රමසිංහ සම්බන්ධයෙන් කළ පුළුල් පර්යේෂණයක ඵලයක්‌ ලෙස මේ ග්‍රන්ථය හැඳින්වීම සාධාරණය.

වික්‍රමසිංහ, නවකතාව, කෙටිකතාව, විචාරය, පරිණාම වාදය, සත්ත්ව සන්තතිය, පුරා විද්‍යාව, සංස්‌කෘතිය වාග් විද්‍යාව, භාෂාව, බෞද්ධ සංස්‌කෘතිය, බුදු සමය, පෙරදිග සාහිත්‍යය, බටහිර සාහිත්‍යය, විවිධ ආගමික සංකල්ප ආදී ක්‍ෂේත්‍ර කෙරෙහි අවධානය යොමුකොට පුළුල් විෂය දහරාවක ස්‌වකීය චින්තනය මෙහෙයවීම මත පාඨකයන්ට ඒ සම්බන්ධයෙන් පුළුල් අවබෝධයක්‌ ලබා ගැනීමට හැකිවිය.

මේ ග්‍රන්ථය පරිච්ඡේද 8 කින් උපයුක්‌තය. සමලංකෘතය. කාලත්‍රයටම පොදු බවක්‌ දනවන මේ චින්තාව කිසිසේත්ම ඉවත දැමිය නොහැකිය. නව කතාව යනු කුමක්‌ද? යන්න නොදැන සිටි සමාජයකට එහි යථාර්ථය හෙළි කළේ මාර්ටින් වික්‍රමසිංහයි. ඒ බව මේ ග්‍රන්ථයෙන් මනාව ඉස්‌මතු කරයි.

නවකතාව යනු අවවාද අනුශාසනා ගෙන දෙන්නක්‌ නොවේ. එයින් කියාපාන්නේ සිදුවන දේ ඇත්ත ඇති සැටියෙන් කියා පෑමය. බටහිර නවකතාකරුවන්ගේ ආභාසය ලබා නවකතාව කෙබඳු ගණයට ගැනෙන්නක්‌ද යන්න හෙළි කළේත් වික්‍රමසිංහය. ඔහුගේ ගම්පෙරළිය, කලියුගය, යුගාන්තය නමැති තුන් ඈඳුතු නවකතාවෙන් සමාජ පන්ති පරතරය මැනවින් විශ්ලේෂණය කොට ඇත.

කරුවල ගෙදර බවතරණය නවකතා ක්‍ෂේත්‍රයෙන් ඔබ්බට ගොස්‌ විරාගයෙන් තවත් එය ප්‍රතීත කළේය. ඒ තත්ත්වය මැවින් මේ ග්‍රන්ථයෙන් හෙළිකොට ඇත. නවකතාවේ භාෂාව, දෘෂ්ටිය, සංකේත භාවිතය, යථාර්ථය, සන්දර්භය ආදිය කෙරෙහි වික්‍රමසිංහ දැක්‌වූ ප්‍රතිභාව මේ ග්‍රන්ථයෙන් වඩාත් ඉස්‌මතුකොට ඇත.

පුද්ගල චරිතවල ස්‌වභාවය නවකතාකරුවා තම කෘතියෙන් හෙළිකරයි. ඒ හෙළි කිරීම මත එම චරිතවලට ඇබ්බැහිවු අය නවකතාකාරයාගේ නිවසට පැමිණ බැණ වැදුණු ආකාරය බටහිර සාහිත්‍යයෙන් අනාවරණය වේ. රුසියාවේ සම්භාව්‍යය ගණයට ගැනෙන නවකතාකාරයකු වූ ගොගල්ගේ නිවෙසට පැමිණ පාඨකයන් බැණ වැදුණු ආකාරය අනුව අපට තීරණය කළ හැක්‌කේ නවකතාකාරයා කරන්නේ ඇත්ත ඇති සැටියෙන් අනාවරණය කිරීමය. තත්ත්වය මෙබඳු නම් එම නවකතාකාරයාත්, නවකතාවත් ශ්‍රේෂ්ඨ ගණයට ගැනෙන්නකි.

කෙටිකතාවකින් කියා පාන්නේ අත්දැකීමක්‌, ධාරණවක්‌ නැත්නම් සිද්ධියක්‌ ආශ්‍රයෙන් කතාවක්‌ ගොඩනැඟිමය. කෙටිකතාවකින් හුවා දක්‌වන්නේත් එබන්දකි. ප්‍රංශයේ ගීද මෝපසං, වික්‌ටර් හියුගෝ ආදී කතාකරුවන්ද සෝවියට්‌ දේශයේ ලියෝ තොලොස්‌තෝයි, ඇන්ටන් චෙකෝෆ්, දොස්‌කව්ස්‌කි, මැක්‌සිම් ගෝර්කි ආදී නවකතාකරුවන්, කෙටිකතාකරුවන්ගේ ආභාසය ලබා කෙටි කතාවේ ස්‌වරූපය හඳුන්වාදුන් ආකාරය වික්‍රමසිංහ නිරූපණය කළ අන්දම මේ ග්‍රන්ථයෙන් හෙළිවේ.

සෝවියට්‌ සාහිත්‍යය කෙබඳු ගණයට ගැනෙන්නක්‌ද යන්න සිංහල පාඨක ලෝකයාට හඳුන්වා දුන්නේත් වික්‍රමසිංහ බව මේ ග්‍රන්ථයෙන් හෙළිකරයි. ශ්‍රේෂ්ඨ ගණයට ගැනෙන නවකතා කෙටිකතා සෝවියට්‌ සාහිත්‍යයේ අන්තර්ගත වූ ආකාරය හෙළි කොට සිංහල පාඨක ලෝකයාට ඒවායේ රස විඳින්නට, හරය උරගා බලන්නට අවකාශ සලසා දුන්නේත් වික්‍රමසිංහයි.

වික්‍රමසිංහ සමාජ දෘෂ්ටිය නැත්නම් චින්තනය ඩැනියෙල් ඩෙපෝ, ගස්‌ටව් ෆොලොබෙයා ආදීන්නේ කතා කලාවට යොමු වී සිංහල පාඨක ලෝකයාට ඒවායේ වටිනාකම, හරය හඳුන්වාදී ඒවා උරගා බලන්නට අවකාශ සලසා දීම මාර්ටින් වික්‍රමසිංහ චින්තාවයි.

සියලුම විෂයයන්ට සමත්කම් දක්‌වන්නට හැකිවන්නේ අල්ප දෙනකුට පමණි. යුරෝපයේ ටී. එස්‌. එලියට්‌ සාහිත්‍ය විචාරයට පමණක්‌ නොව නවකතා, කෙටිකතා ලියූ මහා ගත්කරුවෙකි. ඔහු වඩාත් ප්‍රකට වන්නේ සැබෑ ගණයට ගැනෙන විචාරකයෙක්‌ ලෙසය.

මාර්ටින් වික්‍රමසිංහ ද එම ගණයට ගැනෙන්නෙකි. නවකතාකාරයෙක්‌, කෙටිකතාකාරයෙක්‌ මෙන්ම විචාරකයෙක්‌ද වෙයි. 1964 සිංහල විචාර මග හෙළි කොට විචාරයේ පවත්නා ගාම්භීරතාව හෙළි කළේය.

විචාරකයාට ගුරු කුල නැත. නිකායන් නොමැත. හිතමිත්‍ර පරවම්භනයද ප්‍රතික්‍ෂේප කරයි. මැදහත් විචාරකයා කරන්නේ සැසඳීම විශ්ලේෂණය, ඇගැයීම, පැහැදිලි කිරීම යන වතුර්අංග යටතේ විචාරය, විචාරයට නැඹුරුවීමය.

සැබෑ විචාරකයාගේ ස්‌වරූපය හෙළි කළේත් මාර්ටින් වික්‍රමසිංහයි. ඒ තත්ත්වය මෙයින් මතු කරයි. නිර්මාණකාර්ය වඩාත් සාර්ථක වන්නේ සැබෑ විචාරය මතය. වික්‍රමසිංහ එය හෙළි කළේය. ආචාර්ය අබේවික්‍රමගේ මේ ග්‍රන්ථයෙන් මේ තත්ත්වය කදිමට නිරූපණය කරයි.

වාග් විද්‍යාවේ ස්‌වරූපය ප්‍රථමයෙන්ම හෙළි කළේත් වික්‍රමසිංහයි. ප්‍රාදේශීය වශයෙන් පවත්නා භාෂාමය ප්‍රභේද සම්බන්ධයෙන් කියා පෑවෙත් වික්‍රමසිංහයන්ය. ගැමි මිනිසුන් සමග එකට එක්‌ වී ඔවුන්ගේ ජීව භාෂාව ගැන මනා පරිචයක්‌ ලත් වික්‍රමසිංහගේ වාග් ශෛලිය ප්‍රගුණ වූයේ ගොම බෝල පසුපස ගොස්‌ ගැමියන්ගේ භාෂා විලාසය හඳුනාගෙන අත්තුක්‌කංසනය, පරවම්භනය, ධී ශක්‌තිය, අධිමමංකාරය ආදී වදන් සිංහල භාෂාවට එක්‌ කළේත් වික්‍රමසිංහයන්ය.

සංස්‌කෘතියේ උස්‌ පහත් භේදයක්‌ නැතැයි හෙළි කළේත් වික්‍රමසිංහයන්ය. එක්‌ එක්‌ සමාජමය වශයෙන් සංස්‌කෘතික ලක්‍ෂණවල ප්‍රභේදයක්‌ ජනිතවේ. සමාජය තමයි සංස්‌කෘතිය මතුකරන්නේ. බ්‍රිතාන්‍ය සංස්‌කෘතිය උසස්‌ය. ලංකාවේ සංස්‌කෘතිය පහත්ය යනුවෙන් කාටවත් පැවසීමට නොහැකිය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අයිවර් ජෙනිංස්‌ භාෂාමය සංස්‌කෘතික මානව විද්‍යා අංශයක්‌ නොපිහිට වූයේ මේ තත්ත්වය හේතු කොටගෙනය. මේ ස්‌වරූපය ප්‍රථමයෙන්ම පෙන්වා දුන්නේත් මාර්ටින් වික්‍රමසිංහයන්ය.

නවකතාවෙන්, කෙටිකතාවෙන් ඔබ්බට ගිය වික්‍රමසිංහ පුරාවිද්‍යා පැත්තටද ස්‌වකීය චින්තනය මෙහෙයවීය. අනුරාධපුරයට ගොස්‌ විශේෂයෙන් සඳකඩපහණට අත පොවා ඒ ගැන මැනවින් දෘෂ්ටිය යොමුකොට වික්‍රමසිංහ සෙසු පුරාවිද්‍යාඥයන් සඳකඩපහණට හෙළි කළ මතවලට වඩා වෙනස්‌ මතයක්‌ හෙළි කළේය.

වික්‍රමසිංහගේ මතය වූයේ සඳකඩ පහණේ සංකේත සරදමේ සංකේත බවයි. හින්දු බලපෑම්වලින් උපයුක්‌ත වූ සමාජයක ශිල්පියා හින්දු දහමේ සංකේත සඳකඩ පහණට යොදා ඒවා බෞද්ධයන් ලවා පෑගවීමට කටයුතු කළ බවයි. මේ ග්‍රන්ථයට මහාචාර්ය ජයදේව තිලකසිරි හොඳ පෙරවදනක්‌ද ලියා ඇත. වික්‍රමසිංහගේ සමාජ චින්තනය ආශ්‍රයෙන් එය වඩාත් සමාජ තලයකට කේන්ද්‍රගත කරන්නට ගත් උත්සාහය සෑම සමාජ පන්තියකටම විහිදීගිය ආකෘතිය මෙයින් මවිතවේ. චින්තාවේ පවත්නා සුවිශේෂීත තත්ත්වය සම්බන්ධයෙන් විවරණයක්‌ කරයි.

ආචාර්ය රංජිත් ඇල්. අබේවික්‍රම දැඩි පරිශ්‍රමයක්‌ දරා වික්‍රමසිංහ මෙහෙය වූ සමාජ පැතිකඩ ගැන ගැඹුරු විශ්ලේෂණයක්‌ සිදුකොට තිබීම මත කාලත්‍රයේදීම පවතින චින්තාවේ මහිම විශ්ලේෂණාත්මකව කියාපෑම ඵලදායි වූවකි.

වික්‍රමසිංහ චින්තාව ප්‍රබල නිම්නයකට ප්‍රවේශ කිරීම යුග කාරක අවශ්‍යතාවකි. අද්‍යතන සමාජයේ පවත්නා විචාරකාරීය අවරෝහණයට පාත්‍රවී ඇති හෙයින් වික්‍රමසිංහගේ විචාර චින්තාවෙන් අපට උගත හැකි පාඩම් අප්‍රමාණය.

MARTIN WICKRAMASINGNE SOCIAL VISION  නමැති ග්‍රන්ථය නිර්මාණකරුවන්ට හා විචාරකයන්ට පරිශීලනය කළ යුතු ග්‍රන්ථයක්‌ යෑයි මම සිතමි. නිර්මාණකරණයේ ශක්‌තිය රඳා පවතින්නේ සැබෑ හා තුලනාත්මක විචාරය මතය. වික්‍රමසිංහ චින්තාවේ හැම අංශයක්‌ම ආවරණය වනසේ ලියෑවුණු මේ ග්‍රන්ථය සාහිත්‍ය ක්‍ෂේත්‍රයේ පවතින අඩුපාඩු මකාගෙන ඉදිරියට යන්නට බලපාන සුවිශේෂිත ග්‍රන්ථයක්‌ ලෙස මම දකිමි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.