ඔබට තිබෙන ආදරය මගේ....
මං විතරයි දන්නේ....

තාමත් තරහින් නේද ඔයා
හඬලා හඬලා ඇස්‌ තෙමිලා
නැතුව ඉන්න බෑ මගේ රත්තරනේ
ඇයි ඔහොම තරහින් ඔයා
මගෙ හුස්‌ම කවදත් ඔයා

පොඩි දේටත් තරහ අරන්
රණ්‌ඩුවෙලා නොදරුවෙක්‌ ලෙසින්
ආයේ ටිකෙන් වෙනස්‌ වෙලා
පෙරසේම උන්නාම ඉතින්..
කවදාවත් නෑ මගෙ සෙනෙහේ
කිසිකෙනෙකුට දෙන්නේ
ඔබට තිබෙන ආදරය මගේ
මං විතරයි දන්නේ

හිත රිදුනත් නෙතු තෙමුනත්
අඩුවක්‌ නෑ හිත උනන සෙනේ
තරහ නොවී ඉමු මතුවත්
මියෙන තුරා ආදරයෙන්

ගායනය - රෝස්‌ අලගියවන්න
සංගීතය - ප්‍රියාන් කාරියවසම්
ගී පද - ඩිලාන් ගමගේ

රණ්‌ඩුවෙනවා.... තරහ වෙනවා.... ආයෙත් යාළුවෙනවා.... ආදරවන්තයන්ගේ පුරුද්දක්‌. තරහවෙවී යාළු වෙන තරමට ආදරය රසවත්.. දෙදෙනා අතරේ තිබෙන ආදරය වැඩි වෙනවා. අලුත් වෙනවා.

තාමත් තරහින් නේද ඔයා

හඬලා හඬලා ඇස්‌ තෙමිලා

නැතුව ඉන්න බෑ මගේ රත්තරනේ

ඇයි ඔහොම තරහින් ඔයා

මගෙ හුස්‌ම කවදත් ඔයා

ඔයා තවමත් මා එක්‌ක තරහින් නේද ඔයා... හොඳටෝම හඬලා නිල්පාට ඇස්‌ දෙක රතුපාට වෙලා. කඳුළුවලින් තවමත් ඇස්‌දෙක තෙමිලා. ඔයා ඇයි තවමත් ඔහොම තරහ වෙලා ඉන්නේ. බෑ මට ඔයා නැතුව ඉන්න බෑ. මගේ හුස්‌ම පොද තියෙන්නෙ ඔයා ළඟ. මගේ ප්‍රාණය ඔයා.

ඩිලාන් ගමගේ ලියූ තවත් අලුත් ගීයක්‌. මේ දවස්‌වල ජනප්‍රියයි. ගයන්නේ µaලෑෂ් බෑක්‌ සංගීත කණ්‌ඩායමේ සාමාජිකයෙක්‌.. ඔහු රෝස්‌ අලගියවන්න මෙලඩි එකත් අලුත් තරුණයකුගෙ ප්‍රියාන් කාරියවසම් හැදූ තනුවක්‌.

මේ සිංදුව ලියෑවුණේ ප්‍රියාන්ගේ තනුවට. තනුව මට ලැබිලා කාලයක්‌ ගත වුණත් පදටික ලියෑවුණේ නෑ. ගී පද රචක ඩිලාන් ගීයේ උපත විස්‌තර කළා.

පොඩි දේටත් තරග අරන්

රණ්‌ඩුවෙලා නොදරුවෙක්‌ ලෙසින්

ආයේ ටිකෙන් වෙනස්‌ වෙලා

පෙරසේම උන්නත් ඉතින්

මේක මගේ පෞද්ගලික අත්දැකීමක්‌. මගේ පෙම්වතිය එක්‌ක දවසක්‌ මම පුංචියට රණ්‌ඩු කළා. මට ඉක්‌මනටම කේන්ති යනවා. ඒ නිසා දවස්‌ කීපයක්‌ම මම එයාට කතා කළේ නෑ. ඒත් එක දවසක්‌ එයා මට එස්‌. එම්. එස්‌. එකක්‌ එව්වා. තවමත් තරහින් නේද ඔයා" කියලා. මේ වචන ටික මගේ හිතට වැදුණා. මට මතක්‌ වුණා අර මෙලඩි එක. මෙලඩි එකට හොඳට ගැළපෙන වචන ටිකක්‌. ඉන්පස්‌සේ වචන ටික ගලාගෙන ආවා. ඩිලාන් එහෙම පැවැසුවා.

පෙම් කරන කාලෙදි ඉතින් පුංචිම පුංචි දේටත් බොරුවට රණ්‌ඩු වෙනවා. ඉන් පස්‌සේ ඇය පුංචි දරුවෙක්‌ වගේ අඬනවා. ටික දවසකින් හැම දේම අමතකයි. යාළුවෙනවා. තරහ වුණේ නැති ගානයි.

කවදාවත් නෑ මගෙ සෙනෙහේ

කිසිකෙනෙකුට දෙන්නෙ

ඔබට තිබෙන ආදරය මගේ

මං විතරයි දන්නේ

තරහ වුණා කියලා ඔයාට තියෙන ආදරේ අඩුවක්‌ නෑ. මම මගේ හිත ඔයාගෙන් අරගෙන තවකෙනෙකුට දෙන්නෙ නෑ. ඒ ආදරේ කොයිතරම්ද කියලා දන්නේ මං විතරමයි.

රෝස්‌ අලගියවන්න... මගේ හොඳ මිත්‍රයෙක්‌. රෝස්‌ දවස්‌ ගානක්‌ මට කිව්වා සිංදුවක්‌ ලියලා දීපන් කියලා. මම ගණන් ගත්තේ නෑ. ඒ නිසාම රෝස්‌ මා එක්‌ක තරහා වෙලාත් හිටියා. මේ සිංදුව ලියෑවුණු ගමන් මම ඔහුට පෙන්නුවා.

හිත රිදුනත් නෙතු තෙමුනත්

අඩුවක්‌ නෑ හිත උනන සෙනේ

තරහ නොවී ඉමු මතුවත්

මියෙන තුරා ආදරයෙන්

පුංචිම පුංචි දේකට වුණත් ඔයා මගෙත් මං ඔයාගෙත් හිත රිද්දවනවා. ඒත් මගේ හිතේ ඔයා වෙනුවෙන් උපදින ආදරය එන්න එන්නම වැඩිවෙනවා මිසක්‌ අඩුවක්‌ නම් නෑ. ඇයි අපිට තරහ නොවී ඉන්න බැරි... අපි ආයෙත් කවදාවත්ම තරහ නොවී ඉඳිමු. සදහටම දැස පියවෙන තුරා... මම ආයෙ කවදාවත් ඔයාගෙ හිත රිදවන්නෙ නෑ. ඔයත් මගේ හිත රිදවන්නෙපා. අපි හැමදාමත් ආදරෙන් ඉමු.

අජිත් අලහකෝන්

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.