හොරණ සමාජ දේශපාලන අන්දරය

බස් ජනසතු කෙරේ

1957 වසර උදා වූයේ 1956 ජන බලවේගයේ අරමුණු මල්ඵල ගන්වමිනි. අපි පෙර ලිපියක කුඹුරු පනත ගැන තොරතුරු සඳහන් කළෙමු. වමේ ව්‍යාපාරය ආරම්භ වූ තිහේ දශකයේ පටන් සියලු ධනෝපායන මාර්ග ජනතා සන්තක කළ යුතුය යන සමසමාජ ප්‍රතිපත්තිය අනුව ශ්‍රී ලංකාවේ බස්‌ රථ සමාගම් සියල්ල ජනසතු කළ යුතු යෑයි ප්‍රබල ජන මතයක්‌ 1957 වසර ආරම්භයේදී ම පෙළ ගැස්‌විණි.

මේ අවධිය වන විට හොරණ ප්‍රදේශයේ මඟී බස්‌ ධාවනය සිදු වූයේ බස්‌ රථ සමාගම් හතරක ඒකාධිකාරයක්‌ යටතේ ය. පානදුර මෝටර් ට්‍රාන්ස්‌පෝර්ට්‌ සමාගම (ඡගඵගඔ)ල ඔමිනි බස්‌ රථ සමාගම (ගාමිණී කොම්පැනිය), මුණගම බස්‌ රථ සමාගම, අතුර බස්‌ රථ සමාගම වශයෙනි. ඉදිරි කාලයේදී බස්‌ රථ සමාගම් සියල්ල ජනසතු කරන බවට රාවය පැතිර යත්ම බස්‌ රථ හිමියන්ගේ ශක්‌තිය පැවැති එක්‌සත් ජාතික පක්‍ෂයේ කඩිගුල ඇවිස්‌සුණේ ය. පානදුර බස්‌ රථ සමාගමේ අයිතිකරු වූයේ එවකට පරලෝ සැපත් බුත්තල පාර්ලිමේන්තු මන්ත්‍රීව සිටි ලියෝ ප්‍රනාන්දු මහතා ය. ගාමිණී බස්‌ රථ සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂ ධුරය හෙබවූයේ හිටපු වැල්ලවත්ත - ගල්කිස්‌ස පා. ම. ඇස්‌. ද ඇස්‌. ජයසිංහ මහතා ය. රට පුරාම බස්‌ රථ හිමියෝ රජයට එරෙහිව තනි කෙළින් සිට ගත්හ. එහෙත් මහජන මතය වඩාත් ප්‍රබල වූහ. ඉදිරියේදී තවත් ප්‍රගතිශීලී පනත් රාශියක්‌ ක්‍රියාත්මක කරන්නට සැලසුම් කර තිබුණි. කුඹුරු පනත ඉදිරිපත් කර තිබුණි. මෙම පසුබිම මත ලංකාවේ ඡන්ද කොට්‌ඨාස රාශියක එක්‌සත් ජාතික පක්‍ෂයෙන් ප්‍රචාරක රැස්‌වීම් මාලාවක්‌ දියත් කෙරිණි.

හොරණ ද එ.ජා.ප. ප්‍රචාරක රැලියක්‌ හොරණ පොදු පිට්‌ටනියේ ද සංවිධාන කෙරිණි. නගර සභාපති ඩබ්ලිව්. ඇම්. ෙµdන්සේකා මහතාගේ සහාය ද නොලැබුණා නොවේ. එවකට කොළඹ නියෝජ්‍ය නගරාධිපති ආර්. ප්‍රේමදාස මහතා එකල පාක්‍ෂිකයන් අතර චිර ප්‍රසිද්ධ වූයේ 'කොළඹ කතා සූරයා' යනුවෙනි. එ.ජා.ප.යෙන් ප්‍රචාරය වී බිත්තිවල අලවන ලද පෝස්‌ටර්වල ආර්. ප්‍රේමදාස මහතා හඳුන්වා තිබුණේ කොළඹ කතා ශූරයා වශයෙනි. හිටපු අමාත්‍ය ඇම්. ඩී. එච්. ජයවර්ධන, හිටපු පානදුර මන්ත්‍රී ඩී. සී. ඩබ්ලිව්. කන්නන්ගර ආදී එ.ජාප දේශපාලන නායකයෝ මෙම රැලියට සහභාගි වූහ. ව්‍යක්‌ත චතුර කථිකත්වයෙන් යුත් කොළඹ ආර්¾ ප්‍රේමදාස මහතාගේ උපහාසාත්මක වාග්මාලාව වැඩි හොඳක්‌ නොදුටු මහ පොළොවට වැටුණු මහා ජල කඳක්‌ සේ පාක්‍ෂිකයන්ගේ සිත් සතන් පිනවූ බව ද රහසක්‌ නොවේ. ආර්. ප්‍රේමදාස මහතා හොරණ දේශපාලන ප්‍රචාරක රැස්‌වීමකට සහභාගි වූ පළමුවැනි අවස්‌ථාවයි ඒ. කොළඹ නගර බල ප්‍රදේශයට සීමා වී සිටි නියෝජ්‍ය නගරාධිපති ආර්. ප්‍රේමදාස මහතා 1956 මැතිවරණයේදී රුවන්වැල්ල මන්ත්‍රී ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා සමඟ එ. ජා. පක්‍ෂ අපේක්‍ෂකයා වශයෙන් සටනට එළඹියේ ඇත්ත වශයෙන් ම ජයග්‍රහණය බලාපොරොත්තුවෙන් නොවේ. එහෙත් ඇන්. ඇම්. බඳු චිරප්‍රසිද්ධ වාමාංශික නායකයකුගේ ප්‍රතිපාක්‍ෂිකයා වශයෙන් ආර්. ප්‍රේමදාස මහතාට විශේෂ ප්‍රසිද්ධියක්‌ හිමි විය. මැතිවරණ පරාජයත් සමඟම ආර්. ප්‍රේමදාස මහතාට ද සුවිශේෂ ප්‍රසිද්ධියක්‌ ලැබුණු වග අසත්‍යයක්‌ නොවේ. ආර්. ප්‍රේමදාස මහතා ඉන් පසු පක්‍ෂයේ ජාතික මට්‌ටමේ කථිකයකු බවට පත් වූයේය. රට පුරා ආරම්භ කළ එ.ජා. පක්‍ෂයේ ප්‍රචාරක රැස්‌වීම් මාලාවත් සමඟ නිද්‍රාශිලීව සිටි පාක්‍ෂිකයන් තුළ නව උෙද්‍යාaගයක්‌ මතු විය.

ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත බස්‌ ජනසතු කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධ විවිධ මතවාදයන් රට පුරා ව්‍යාප්ත විය. බස්‌ සමාගම් හිමි එ.ජා.ප ප්‍රාදේශීය නායකයෝ මගී ජනතාවගේත් බස්‌ සේවකයන්ගේත් ප්‍රසාදය ලබා ගැනීම සඳහා විවිධ උප්පරවැට්‌ටිවල නිරත වුහ. මාර්ග අංක 120 හොරණ - කොළඹ මාර්ගයේ ධාවනය සඳහා ගාමිණී බස්‌ කොම්පැනිය මගින් ඉන්ටර්නැෂනල් බස්‌ 04 ක්‌ ම ධාවනයට යෙදවීය. එහෙත් ගාමිණී බස්‌වල ධාවනයට යොදන ලද මග දිගට කැඩිලැක්‌ බස්‌ රථවල තත්ත්වය ද සුළුවෙන් හෝ කිව යුතු වෙයි.

බස්‌ රථ ආසන ලෑලිවලට සීමා විය. රියෑදුරු හා කොන්දොස්‌තර දෙදෙනාගෙන් දිස්‌ වූයේ ඕනෑම අවස්‌ථාවක වලියට සූදානම් වූ පොර කකුළන් දෙදෙනකුගේ ස්‌වභාවයයි. මඟියා අන්ත අසරණ තත්ත්වයට පත්ව සිටියේය. පිජාමා හෝ පලයකාට්‌ සරමත් කමිසයත් හැඳ ගත් කොන්දොස්‌තර බොහෝ විට පලයකාට්‌ ලේන්සුවක්‌ හැඩයකට හිසේ ගැට ගසා ගෙන තිබුණේය. සමහර රියෑදුරන් පලයකාට්‌ ලේන්සුවක්‌ බෙල්ල වටේ ගැට ගසා ගැනීම විශේෂ විලාසිතාවක්‌ කර ගෙන තිබිණි. දෙදෙනාගේම ඉණෙහි උල් පිහිය වැරදුණේ නැත. ප්‍රදේශයේ පොලිස්‌ ස්‌ථාන ද බස්‌ කොම්පැනිකාරයන් සමඟ බැඳී සිටි නිසා මඟියා අන්ත අසරණ තත්ත්වයට පත් වූ වග කිව යුතු නොවේ.

කාබන් පැන්සල කනත් හිසත් අතර රඳවාගෙන ටිකට්‌ පොත කිහිල්ලේ හිර කරගෙන කටින් ටිකැට්‌ කඩා අතට මුදල් ගැනීම පුරුද්දක්‌ විය. ටිකැට්‌ පරීක්‍ෂාවට එන චෙකර්ට පොත දෙන්නේ ශත පනහේ මුදල් නෝට්‌ටුවක්‌ පිටු අතර තබමිනි. සියලු දෝෂයන් ඉන් භංග වේ. අද මෙන් ඉලෙක්‌ටි්‍රක්‌ බෙල් නැත.

රියෑදුරු අසුනට උඩින් ඇති සීනුවේ ලණු පොට ඇද්ද සැනින් 'ඩාං' ගා ශබ්දයක්‌ නැගේ. දෙවරක්‌ වැදුණොත් මගියාගේ කන පුපුරා යන්නට පහරක්‌ ගහන්නට කොන්දොස්‌තර මාරයා සූදානම් ය. හෝල්ට්‌ නැත. මඟී ආවරණ (සෙල්ටර්) නැත. කහ ඉරි නැත. දොරටු දෙකක්‌ නැත. ඉන්ටර්නැෂනල් බස්‌ හතරේ ද පිටුපස දොරක්‌ තිබුණා දැයි මට හරියට මතකයක්‌ නැත.

බස්‌ රථ සේවකයාගේ රැකියාව ද ස්‌ථිර නැත. උදේ පාන්දරම සේවයට නොගියොත් එදාට සේවයක්‌ නැත. ටිකක්‌ වේලා බලා සිට නැවත ආපසු එන්නට සිදුවන අවස්‌ථා ද ඇත. නිවට සේවකයෝ අදිසි බලධාරියාට කේලාම් කීම පුරුද්දක්‌ කර ගෙන සිටියහ. ඇස්‌. ද ඇස්‌. ජයසිංහ මහතාගේ සොහොයුරන් වූ 'ආරච්චි' සහ 'ගෝරිං' ගේ චණ්‌ඩි මුළු කොම්පැනියේම අදිසි බලධරයෝ වූහ. ලංකාවේ අනෙක්‌ බස්‌රථ සමාගම්වල ද තිබුණේ මෙම ප්‍රචණ්‌ඩ මැරවර පසුබිම ය. සමසමාජ පාක්‍ෂිකයන් මෙම බස්‌ සේවකයන්ට නයාට අඳු කොළ වූ බව රහසක්‌ නොවේ. මෙම මැර පිරිස සමඟ නිතරම ගැටුණේ කොළඹ වරායේ සමසමාජ පොරවල් ය.

මේ ඒකාධිකාරී ප්‍රචණ්‌ඩ මඟී ප්‍රවාහන සේවය රජය සතු කිරීමට එරෙහිව අවි මුගුරු ඔසවා ඉදිරියට පැමිණියේ කවුරුන්දැයි පුන පුනා කිව යුතු නොවේ. මතුවෙමින් පැවැති පසුබිම සහ බස්‌ ජනසතු සේවාව සම්බන්ධයෙන් උපදෙස්‌ ලබා ගැනීමට බ්‍රිතාන්‍යයේ ගමනා ගමන විශේෂඥ ඇල්. ඩී. හෝකින්ස්‌ මහතා රජය මගින් ගෙන්වා ගත්තේය. ඒ මහතා ලංකා ගුවන් විදුලි සේවාව මගින් පැවැත්වූ සාකච්ඡාව 1957 මාර්තු මස 11 වැනි සඳුදා දිනමිණ විශේෂ අතිරේකයේ සඳහන් කරන ලදී. එම දීර්ඝ සාකච්ඡාවේදී පළ කළ අදටත් ගැලපෙන කොටසක්‌ සිහිපත් කරමු.

"මගීන්ගේ ඕනෑ එපාකම් අනුව ඔවුන් සඳහා ගමනා ගමන පහසුකම් සැලසීම මහජන ගමනාගමන සේවා ඇති කිරීමේ මුල් පරමාර්ථයයි. ගමනා ගමන කටයුතු පිළිබඳව පොදු සංවිධානයක්‌ ඇති කිරීමේදී එයින් ඉටුවිය යුතු පළමුවන රාජකාරිය මඟීන්ට ඕනෑ අන්දමට සේවයක්‌ පිළියෙල කිරීමයි. එම සංවිධානයේ කටයුතු කරන නිලධාරි මණ්‌ඩලයේ ඕනෑ එපාකම් ගැන සැලකිලිමත් වීම ඊළඟට සිදුවිය යුතුයි. එම නිලධාරි පිරිසට සෑහෙන වැටුප් ගෙවීම හා අවශේෂ පහසුකම් සැලසීම අමතක නොකළ යුතුය. සංවිධානය මුදල් අතින් ලාබ ලබන එකක්‌ බවට පෙරළීම සිතිය යුත්තේ මින් පසුවය."

ලන්ඩන් නගරයත් ඒ අවටත් ගමනාගමනය පිළිබඳව කටයුතු කරන ලන්ඩන් ගමනාගමන මණ්‌ඩලය පිළියෙල වී ඇත්තේ ඉහත කී කරුණු අනුවය.

(මෙම ලියුම්කරු විසින් පළ කරන ලද 1958 - 2008 'ලංගමට පනහයි' ලංගම ඉතිහාසයේ කතා පොතේ තොරතුරු ආශ්‍රයෙනි.)

සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීමත් සමඟම අධිකරණ ක්‍ෂේත්‍රය තුළ ද විශේෂයෙන් උසාවි කටයුතු සිංහල භාෂාවෙන් කළ යුතු විය. මේ සම්බන්ධයෙන් ද විවිධ මතවාදයන් ප්‍රචලිත වන්නට විය. සිංහල භාෂාවෙන් උසාවි කටයුතු කළ හැකි බවට අධිනීතිඥ කෑගල්ලේ තිස්‌ස විජයරත්න මහතා පුවත්පත් මගීන් දැක්‌වූ අදහස්‌ යළිදු සිහිපත් කළ යුතු වේ. කළු කෝට්‌ හැඳගත් නීතිඥයන්ට අභියෝගයක්‌ කරමින් තිස්‌ස විජයරත්න මහතා ජාතික ඇඳුමෙන් සැරසී උසාවියේ සිය පාර්ශ්වකරුවන් වෙනුවෙන් පෙනී සිටීම සුවිශේෂි සිද්ධියක්‌ වේ.

අධිකරණ කටයුතු සිංහල භාෂාවෙන් සිදු කිරීමේදී මුහුණ දුන් බලගතුම අභියෝගයක්‌ වූයේ අදාළ අණපනත් සිංහලට පරිවර්තනය කිරීමය. නීති ක්‍ෂේත්‍රය පිළිබඳ හසල දැනුම් සම්භාරයකුත් සිංහල භාෂාව පිළිබඳ අතිප්‍රවීණතාවයකුත් සහිත විද්වතුන් සොයා ගැනීම ඒ තරම් පහසු නොවීය. මෙම අභියෝගය ජය ගන්නට හැකි එක්‌ විද්වතකු රයිගම් පුරවරයෙන්ම බිහි වී සිටීම විශිෂ්ට ජයග්‍රහණයකි. ආචාර්ය අධිනීතිඥවරුන් අදත් මේ රටේ ඒ තරම් සුලභ නැත.

එවකට සිංහල සාහිත්‍යධරයකු ලෙස සුප්‍රකටව සිටි හොරණ තලගල (කුරුප්පු ආරච්චිගේ දොන් පියසේන වික්‍රමසිංහ) ආචාර්ය අධිනීතිඥ කේ. ඩී. පී. වික්‍රමසිංහ මහතා නීති කෙටුම්පත් නිලධාරි වශයෙන් එවකටත් නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ සේවයෙහි නියුක්‌තව සිටියේය. ඒ පමණක්‌ නොවේ. රාජ්‍ය භාෂා කොමසාරිස්‌ වශයෙන් පත් වූයේ ද හොරණ උඩුවේ සෙනරත් වනිගතුංග විද්වතාණන් ය. රයිගම් පුරවරයේ හොරණින් බිහි වූ මේ වියත් විද්වත් බහුශ්‍රැතයන් දෙපළගෙන් සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීමේ අති උදාර කාර්ය භාරයට හිමි වූ යෝධ ශක්‌තිය අප්‍රමාණය.

මේ අවධියේදී හොරණ තක්‍ෂිලා මධ්‍ය මහා විදුහලේ විදුහල්පති ධුරයට පත් වූයේ ද අග්‍රගණ්‍ය ගත්කතුවරයෙකි. සිංහල ඉංග්‍රීසි භාෂාද්වයෙන් පරතෙරට පැමිණ සිටි ඔහු හොරණ මන්ත්‍රී සාගර පලන්සූරිය මහතාගේ සමීපතම හිතවතකු වූ. ඊ. ආර්. එරත්න මහතා ය. මේ වන විට හොරණ ශ්‍රීපාලි විදුහලේ විදුහල්පති ධුරය හොබවන ලද්දේ ෙ-. පී. ආරියරත්න මහතාණන් ය. හොරණ ශ්‍රීපාලි විදුහල ගැන බොහෝ තොරතුරු ලිවිය යුතුව ඇත. විශේෂයෙන් ශ්‍රීපාලි විදුහලේ පැවැති පාලන රටාව අනෙක්‌ විදුහල්වලට වඩා වෙනස්‌ වූ වග ශ්‍රීපාලි තොරතුරු මගින් අනාවරණය වේ. ශ්‍රීපාලියේ සතියේ නිවාඩු ක්‍රමයේ ද වෙනසක්‌ තිබිණි. අනෙකුත් පාසල්වල මෙන් මෙම විදුහලෙහි සෙනසුරාදා සහ ඉරිදා නිවාඩු නොවීය. ඒ වෙනුවට බදාදා සහ ඉරිදා නිවාඩු දින වූ අතර සෙනසුරාදා පාසල් දිනයක්‌ විය. ළමයා එක දිගටම පස්‌ දිනක්‌ වෙහෙස නොකර සතිය මැද දවසක්‌ නිවාඩු දීම නිසා සාර්ථක ප්‍රතිඵල ලැබෙන වග ශ්‍රීපාලි නිර්මාතෘ විල්මට්‌ ඒ. පෙරේරා මහතා විශ්වාස කළේය. මෙහි සත්‍යතාවක්‌ ඇති වග අධ්‍යාපන විශේෂඥයෝ පෙන්වා දෙති.

මේ අතර වාරයෙහි 1957 දෙසැම්බර් මාසය ද උදා වූයේ හොරණ ප්‍රදේශවාසී බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩක්‌ වූ හොරණ රාජ මහා විහාරයේ චෛත්‍යරාජයාණන්ගේ කොත් පැළඳවීමේ උත්සවය එළඹෙමින් තිබුණු හෙයිනි. කොත් පැළඳවීමේ පුෙණ්‍යාaත්සවයේ ප්‍රධාන ආරාධිත වශයෙන් අගමැති ඇස්‌. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්‌ඩාරනායක මහතා සහභාගිවීමට නියමිත නිසා හොරණට මහා ජනසන්නිපාතයක්‌ ඒකරාශී විය. 1956 මහා මැතිවරණයේ ජංගම ප්‍රචාරක රැලියට පසුව අගමැති වශයෙන් බණ්‌ඩාරනායක මහතා හොරණ නගර සභාවෙන් සංවිධාන කළ නගර සභා සම්මේලනයට පැමිණියේය. එහෙත් එම සම්මේලනය පැවතුණේ සමස්‌ත පළාත් පාලන නියෝජිතයන් වෙනුවෙන් පමණි. රාජමහා විහාරස්‌ථානයේ කොත් පැළඳවීමේ මහෝaත්සවය දහස්‌ සංඛ්‍යාත බෞද්ධ බැතිමතුන්ගෙන් පිරී ඉතිරී ගියේය. විද්‍යාරත්න පිරිවෙන කේන්ද්‍රස්‌ථානය කරගෙන පැවැති මහෝත්සවයක්‌ හෙයින් සුවිශේෂත්වයක්‌ ද දක්‌නට තිබිණි. දස දහස්‌ සංඛ්‍යාත බොදු බැතිමතුන්ගේ සාදුකාර නාද මධ්‍යයේ කොත් පැළඳවීමෙන් පසු මහා සභාවක්‌ පැවැත්විණි. අගමැති බණ්‌ඩාරනායක මහතා උත්සව සභාව ඇමතුවේ විනාඩි කිහිපයක්‌a පමණි.

පොලිස්‌ දුරකථන ඇමතුමක්‌ මගින් දැනුම් දුන්නේ 1957 රජරට වැව් දහසක්‌ කැඩී බැඳී ගිය මහා ගංවතුරේ ෙ€දවාචකයයි. අගමැති බණ්‌ඩාරනායක මහතා වහාම කොළඹ බලා පිටත්ව ගියේ ගුවන් යානාවෙන් රජරට බලා යැමටය.

1957 දෙසැම්බර් මස 12 දා මධ්‍යම රාත්‍රියේ ලංකාවේ බස්‌ සමාගම් 76 ක්‌ ම 1957 අංක 48 දරන මෝටර් වාහන පනත යටතේ ජනසතු කෙරිණි. මෙම සමාගම් 76 ට අයත් බස්‌ රථ සංඛ්‍යාව 3400 කි. සේවක සංඛ්‍යාව 15,226 කි. හොරණ ප්‍රදේශය තුළ ධාවනයෙහි යෙදුණු ප්‍රධාන බස්‌ සමාගම් හතර ජනසතු වීමත් සමඟÊඑහි සේවය කළ සියලු දෙනා ලංකා ගමනාගමන මණ්‌ඩලයට අනුqයුක්‌ත කෙරිණි.

1958 ජනවාරි මස 01 වැනි දින උදා වූයේ ලක්‍ෂ සංඛ්‍යාත ජනතාවගේ උණුසුම් උද්යෝගයත් සමගිනි. කොළඹ ගාලු මුවදොරදී ප්‍රධාන උත්සවය පැවැත්වෙද්දී ඊට සමගාමීව හොරණ ඇතුළු සියලු නගර ගම් නියම්ගම්හි බස්‌ ජනසතු කිරීම සමරමින් උත්සව මාලාවක්‌ පැවැත්විණි. හොරණ ප්‍රදේශයේ සේවක කණ්‌ඩායම් දේශපාලන නායකත්වයේද සහයෝගයෙන් හොරණ නගරයේ මහ කිරිබත් මංගල්‍යයක්‌ ද පැවැත්වීය. ඒ සමගම ගාමිණී බස්‌ සමාගම සම්බන්ධයෙන් විශේෂ පුවතක්‌ පැතිර ගියේය. මාස කිහිපයකට පළමු එම කොම්පැනිය මගින් ධාවනයෙහි යෙදවූ ඉන්ටර්නැෂනල් බස්‌ හතර රජයට භාර නොදී සඟවා ඇති පුවතයි ඒ. ලංගම විමර්ශන අංශයත් පොලිසියත් ඒ ගැන පරීක්‍ෂණ පවත්වන අතරතුරේදී සේවකයන්ගෙන් ලද ආරංචියක්‌ මත ඇරැව්වල පන්නිපිටිය බද පෙදෙසක තිබී මෙම බස්‌ හතරම සොයා ගන්නා ලද බව පසුව වාර්තා විය.

දීර්ඝ කාලයක්‌ පුරාම අඛණ්‌ඩව පැවැති කිසියම් සිද්ධි දාමයක්‌ දින දෙක තුනක්‌ ඇතුළත සම්පූර්ණ වෙනසකට භාජනය වන්නේ නැත. ජනතා සන්තක බස්‌ සේවය සම්බන්ධයෙන් ද එම න්‍යාය, එම ආකල්පය පොදු ය. මේ ගැන අවබෝධ කර ගත් හොරණ ප්‍රගතිශීලී ජනතාව ලංගම ආරක්‍ෂා කර ගැනීමට මූලිකත්වය ලබා දෙමින් හොරණ බස්‌ මගීන්ගේ සංගමය පිහිටුවා ගත්හ. හොරණ අඟුරුවාතොට පාරේ අංක 89 දරන ස්‌ථානයෙහි ලිපිනය දක්‌වමින් හොරණ බස්‌ මගීන්ගේ සංගමය මගින් මගී ජනතාව දැනුම්වත් කිරීමේ ප්‍රචාරක ව්‍යාපාරයක්‌ ද ආරම්භ කළේය. එම සංගමයේ පත්‍රිකා අංක 1 මගින් ලංගම ආරක්‍ෂා කර ගැනීමත්, බස්‌ සේවකයා හා මගියා අතර සුහද සම්බන්ධතාවක්‌ ඇති කර ගැනීමටත් අදාළ උපදෙස්‌ මාලාවක්‌ ද ලබා දී ඇත.

ලංකාව පුරාම මෙබඳු බස්‌ මගීන්ගේ සංගම් ආරම්භ කෙරිණි. රයිගම් - පස්‌යොදුන් කෝරළ දෙකට අයත් බස්‌ මඟීන්ගේ සංගම් දෙකෙහි නියෝජිතයන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකින් පසු රයිගම් - පස්‌යොදුන් එක්‌සත් බස්‌ මගීන්ගේ ඒකාබද්ධ සංගමය පිහිටුවා ගන්නා ලදී. ඒ සංගමයේ කාර්යාලයත් පැවතුණේ අඟුරුවාතොට පාරේ අංක 89 දරන ස්‌ථානයෙහි ය.

එම සංගමය මගින් හොරණ සිට ධාවනය කෙරෙන බස්‌ රථ මගින් ධාවනය කළ සටහනක්‌ මුද්‍රණය කර මගී ජනතාව අතර බෙදා දීමට ද ක්‍රියාත්මක විය.

මෙම අත් පත්‍රිකා කාල සටහන් පිටපත් අපට ලබා දුන් අදත් මිහිර මුද්‍රණ ශිල්පියෝ ප්‍රකාශන අංශය පවත්වාගෙන යන මෙතියස්‌ වෑවත්තගේ මහතාට ස්‌තුතිය පිරිනමමු.

තාක්‍ෂණය ප්‍රචලිත වූ මෙබඳු කාල පරාසයක ලංගම කාල සටහන් පත්‍රිකාවක්‌ නොව අවම වශයෙන් හොරණ බස්‌ නැවතුම්පළෙන් පිටත් වන මගී විස්‌තර පුවරු හෝ විධිමත්ව සකස්‌ කෙරුණු කාල සටහන් හෝ දක්‌නට නොමැති වීම ගැන අපි අපටම දොස්‌ පවරා ගනිමු.

බන්දුල ආර්. ගුලවත්ත

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.